Category Archives: IPL2016

සුපර්ජයන්ට්ස් පිලට කඩුලූ 9 ක ජයක්

අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායිහී වන්කඬේ ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව කඩුලූ 9 ක ජයක් අත්කර ගැනීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අද (09 වැනිදා) සමත්විය.

ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල ඕවර 14.4 කදී කඩුල්ලක් පමණක් දැවී තම ඉලක්කය පසු කිරීමට සමත්විය.

දකුණතින් පන්දුවට පහරදෙන අජින්ක්‍යා රහනේ පන්දු 42 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 66 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

ෆෆ් ඩු ප්ලෙසී (34) සමග එක්ව පළමු කඩුල්ල සදහා පන්දු 58 කදී ලකුණු 78 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට අජින්ක්‍යා රහනේ (නොදැවී 66) සමත්වූ අතර දෙවන කඩුල්ල සදහා කෙවින් පීටර්සන් (නොදැවී 21) සමග එක්ව පන්දු 30 කදී ලකුණු 48 ක නොබිදුණු සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්විය.

පන්දු 30 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැස්කරමින් තම කණ්ඩායම යම්තාක් දුරට ගොඩගැනීමට හර්බජන් සිං සමත්වූයේය.
අවසන්  ඕවර 3 තුළදී ලකුණු 41 ක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිතිකරුවෝ සමත්වූහ.

දකුණතින් මද වේගපන්දු යවන රාජත් භාතියා නිළකුණු ඕවරයක් සමගින් ලකුණු 10 කට කඩුල්ලක් දවාගනිමින් සිය  ඕවර 4 නිම කිරීමට සමත්විය.

පළමු  ඕවර 5 අවසානයේදී මුම්බායි ඉන්දියන්ස් පිලට ලබාගත හැකිවූයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 30 ක් පමණි.

පස්වැනි  ඕවරය යැවූ මිචෙල් මාෂ් විසින් හර්දීක් පාණ්ඩ්‍යා සහ ජොස් බට්ලර් දවාගනිමින් මුම්බායි ඉන්දියන්ස් පිල තවත් අසරණ කිරීමට සමත්විය.

මුම්බායි ඉන්දියන්ස් පිලේ දෙවැනි  ඕවරයේදී රෝහිත් ශර්මා සහ සිව්වැනි  ඕවරයේදී ලෙන්ඞ්ල් සිමන්ස් දවාගනිමින් තරගයේ පාලනය තම කණ්ඩායමට ලබාගැනීමට ඉශාන්ත් ශර්මා සමත්විය.

කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් පිලේ නායක රෝහිත් ශර්මා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

 


මුම්බායි ඉන්දියන්ස් –  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 121
(අම්බටි රයියදු 22, හර්බජන් සිං නොදැවී 45, මිචෙල් මාෂ් 21/2, ඉශාන්ත් ශර්මා 36/2)

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් –  ඕවර 14.4 කදී කඩුල්ලක් දැවී 126
(අජින්ක්‍යා රහනේ නොදැවී 66, ෆෆ් ඩු ප්ලෙසී 34, කෙවින් පීටර්සන් නොදැවී 21)

 

 

කෝඩුකාරයෝ ජයග‍්‍රහණයම සොයති

නම වැනි වරටත් පැවැත්වෙන ඉන්දියන් ප‍්‍රීමියර් ලීග් හෙවත් අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලිය හෙට (9 වැනිදා) ආරම්භ වෙයි. මුම්බායි ඉන්දියන්ස් සහ රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම් හෙට පැවැත්වෙන පළමු තරගයේදී තරග වදිති.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙය වන අතර රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝණි විසින් මෙහෙය වනු ලබයි.

අයි. පී. එල්. තරගාවලියේදී පළමු වරට තරග වදින රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයින් වැඩි දෙනෙක් චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් වල එකතුවක් ලෙස හැදින්විය හැකිය. ස්ටීවන් ෆලේමින් මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ඊට හේතුව වූයේ තරග පාවාදීමට සම්බන්ධ වීම නිසා චෙන්නායි සුපර් කිංග්ස් පිලත් රාජස්ථාන් රෝයල්ස් පිලත් අයි. පී. එල්. තරගාවලියෙන් ඉවත් කිරීමට පියවර ගැනීමයි.

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝණි සහ පුහුණුකරු ස්ටීවන් ෆලේමිං අතර සම්බන්ධතාවය ඉන්දියන් ප‍්‍රීමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ආරම්භය දක්වා දිවයන අතර ඔවුන් දෙදෙනා 2008 වසරේ සිට 2015 වසර දක්වා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සාර්ථකත්වය සදහා විශාල දායකත්වයක් දුන්හ.

පසුගිය තරගාවලදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පිළිවෙලින් අනුශූරතාවය, අවසන් පූර්ව, ශූරතාවය, ශූරතාවය, අනුශූරතාවය, අනුශූරතාවය, තීරණාත්මක වටය, අනුශූරතාවය යන දක්ෂතා දැක්වීමට මහේන්ද්‍ර සිං දෝණිගේ සහ ස්ටීවන් ෆලේමින්ගේ සාර්ථක සම්බන්ධතාවය බෙහෙවින් ඉවහල් විය.

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට ක‍්‍රීඩා කරන කෙවින් පීටර්සන්, ස්ටීවන් ස්මිත්, ෆෆ් ඩූ ප්ලේසී, මිචෙල් මාෂ් සහ තිසර පෙරේරා අතර ඉන්දියන් ප‍්‍රීමියර් ලීග් ක‍්‍රිකට් තරග 165 කට වඩා පළපුරුද්දක් ඇති අතර මෙවර තරගාවලියට සහභාගීවන කණ්ඩායම් අතරින් සාර්ථකම කණ්ඩායම බවට ඔවුන් පත්වුවහොත් එය අරුමයක් නොවේ.

”අපි මෙතන ඉන්නේ තරගාවලියට සහභාගීවන කණ්ඩායම් ගණන වැඩිකරන්න නම් නෙවෙයි. අපේ පළමු තරගාවලිය ජයගන්න අපි බලාපොරොත්තු වෙනවා”
”අපි යථාර්ථවාදීව හිතනවා කොහොමද තරගාවලිය ජයගන්නේ කියලා” යයි රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමේ පුහුණුකරු ස්ටීවන් ෆලේමින් මහතා පැවැසීය.

ස්ටීවන් ෆ්ලෙමින් – මහේන්ද්‍ර සිං දෝනි සම්බන්ධතාව එසේ මෙසේ එකක් නොවේ.

මේ දක්වා පැවැති අයි. පී. එල්. තරගාවලි 8 දී ජයග‍්‍රහණ 78 කට නායකත්වය දීමට මහේන්ද්‍ර සිං දෝණි සමත්වී ඇත. ඒ සෑම අවස්ථාවකදීම දෝනිට ගුරුහරුකම් දුන් පුහුණුකරුවා අන් කිසිවකු නොව ෆ්ලෙමින්ය.

අයි. පී. එල්. තරගාවලියේදී දෝනිට දෙවැනිව, සාර්ථකම නායකයා වූ කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ ගෞතම් ගාම්බීර් ජයග‍්‍රහණ 58 කට නායකත්වයදී ඇත.

තමන්ගේ සත්කාරක ක‍්‍රීඩාංගණය ලෙස රයිසින් පූනේ සුපර්ජියට්ස් කණ්ඩායම විසින් මහාරාෂ්ඨ ක‍්‍රිකට් සංගම් ක‍්‍රිඩාංගණය තෝරාගෙන ඇත. එම ක‍්‍රිඩාංගණයේදී අවසන් වරට පැවැති විස්සයි20 තරගයෙන් ඉන්දියාව පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය.

මහේන්ද්‍ර සිං දෝණිගේ විසින් ලෝක කුසලාන විස්සයි20 අර්ධ අවසන් තරගයේදී අජින්ක්‍යා රහනේ යොදාගත් අතර ඔහු මුල් පෙළ පිතිකරුවන් අතර සාර්ථක පිතිකරුවකු ලෙස සැලකෙයි. රහනේ 2008 සිට 2010 දක්වා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක‍්‍රීඩා කළ අතර 2011 සිට 2015 දක්වා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක‍්‍රීඩා කළේය.

වමතින් වේගපන්දු යවන 30 හැවිරිදි රුද්‍රා ප‍්‍රතාප් සිං වසර දෙකකට පසුව නැවතත් ඉන්දියන් ප‍්‍රීමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සදහා එක්ව සිටී. ගුජරාට් ප‍්‍රාන්තයේ පැවැති අන්තර් සමාජ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියකදී කඩුලූ 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දක්වා ඇත.

විස්සයි:20 කි‍්‍රකට්  පිිටියටම උපන් කී‍්‍රඩකයකු ලෙස සැලකිය හැකි කෙවින් පීටර්සන් නැවතත් ඉන්දියාවට පැමිණීමට පුල පුලාබලා සිටී.

”මට කාලෙකින් ඉන්දියාවට එන්න බැරිවුණා. මම හරි ආසාවෙන් ඉන්නේ ඉන්දියාවට එන්න…”

”අපේ කණ්ඩායමට එකතුවෙලා ඉන්න ‘මෙල්බර්න් ස්ටාර්ස්’ කොල්ලො ටික රත්තරන් වගේ. පුහුණුකරුවා ඉතින් සුපිරිම තමයි. කණ්ඩායමට නායකත්වය දෙන්නේ කවදත් ‘ලොක්කා’ එම්. එස්. ඞී. නියමයි…මේ පාර නියම තරගාවලියක් තියෙයි” යයි කෙවින් පීටර්සන් කියයි.

එසේ වුවත් පරහක් තිබේ.

මහේන්ද්‍ර සිං දෝණි සහ සුරේෂ් රයිනා 2008 වසරේ සිට 2015 දක්වා එකම කණ්ඩායමකට ක‍්‍රීඩා කළහ. අයි.පී.එල් තරග 129 ක් එක්ව කී‍්‍රඩා කිරීම යනු පහසුවෙන් බැහැර කළ හැකි වාසියක් නොවේ. එහෙත්  පළමු වරට මෙම තරගාවලියේදී කණ්ඩායම් දෙකකට ක‍්‍රීඩා කරනු ඇත.

කී‍්‍රඩකයන් වෙනුවෙන් සල්ලි විසිකිරීමටද පූනේ සුපර්ජයන්ට්ස් අයිතිකරුවෝ මැළි නොවූහ. රයිසින් පූනේ සුපර්ජියට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 4.5 කට මුරුගන් අශ්වින් මිළදී ගෙන ඇත. එය මෙම තරගාවලියේදී ක‍්‍රිඩකයෙකු වෙන්දේසීවු වැඩිම මිලයිි.


රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම

මහේන්ද්‍ර සිං දෝණි (නායක), බාබා අපරජිත්, රවිචන්ද්‍රන් අශ්වින්, රාජත් භතියා, දීපක් චාහා, ෆෆ් ඩු ප්ලෙසී, ජස්කරන් සිං, ඉර්ෆාන් පතාන්, කෙවින් පීටර්සන්, ඉශාන්ත් ශර්මා, ස්ටීවන් ස්මිත්, ඇඩම් සම්පා, අන්කීත් ශර්මා, මුරුගන් අශ්වින්, අන්කුශ් බේන්ස්, ස්කොට් බෝලන්ඞ්, අශොක් දින්දා, පීටර් හැන්ඞ්ස්කොම්බ්, මිචෙල් මාෂ්, ඊශ්වර් පාන්ඬේ, තිසර පෙරේරා, අජින්ක්‍යා රහනේ සහ ආර්.පී. සිං.


මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම

රෝහිත් ශර්මා (නායක), කෝරී ඇන්ඩර්සන්, ජස්පී‍්‍රට් බුම්රා, ජොස් බට්ලර්, උන්ක්මුත් චන්ද්, මර්චන්ට් ඞී ලෑන්ග්, ශ්‍රීයාස් ගෝපාල්, හර්බජන් සිං, කිශෝර් කමත්, සිද්දේශ් ලැඞ්, මිචෙල් මැක්ලෙනගන්, ලසිත් මාලිංග, හර්දීක් පාණ්ඩ්‍යා, කෘනල් පාණ්ඩ්‍යා, පාර්තිව් පටෙල්, කරන් පොලාඞ්, දීපක් පුනියා, නිතිෂ් රානා, අම්බටි රයියදු, ජිතේෂ් ශර්මා, ලෙන්ඞ්ල් සිමන්ස්, නතු සිං, ටිම් සවුති, ජගදීෂ් සුචිත්, විනේ කුමාර් සහ අක්ෂේ වාකරේ.