Category Archives: WI PAK

වසිම් කොදෙව් පිල වනසයි

වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ඉමාඞ් වසිම් ලකුණු 14 කට කඩුලු 5 ක් දවාගත් හෙයින් විස්සයි:20 ලෝක ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව් පිල පරදවා කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තානුවෝ ඊයේ (23 වැනිදා) සමත් වූහ. ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ලබාගත් ජයක් සමගින් තරග 3 කින් සමන්විත වි:20 තරගාවලියේදී 1-0 ක් ලෙසින් පාකිස්තානුවෝ පෙරමුණ ගත්හ.

මෙම ක්‍රීඩාංගණයේ ඉතිහාසය පුරාම වි:20 තරග වලදී වාර්තා වී ඇත්තේ අඩු ලකුණුය. දැඩි සූර්ය රශ්මිය නිසා තණතීරුව ඉරිතැළුණු ස්වභාවයක් ගෙන තිබූ අතර පන්දුව ගලා ඒම මන්දගාමී වූ හෙයින් ලකුණු රැස්කිරීම ඉතාමත් අසීරු විය. එහෙත් තරගය පැවැතියේ මැද පෙරදිග රටවලට නිවාඩු ලැබෙන සිකුරාදා දිනයක වූ බැවින් ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරී තිබිණ.  

කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායකයා කිසිදු පැකිළීමකින් තොරවම පන්දු යැවීම තෝරා ගත්තේ රාත්‍රියේ පින්න වැටීමත් සමගින් කොදෙව්වන්ට පන්දු යැවීම අසීරු වන බව දන්නා බැවිනි. අනෙක් අතට ක්‍රිස් ගේල්, ඇන්ඩි්‍ර රසල් සහ ඩැරන් සැමී වැනි පළපුරුදු ක්‍රීඩකයන්ගෙන් තොර කොදෙව් කණ්ඩායම නවකයන් රැසකගෙන් සමන්විත විය.

තරගයේ මුල් ඕවර 5 නිමා වන විට කොදෙව් පිතිකරුවෝ පස් දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියද අනෙක් අන්තයේ තනිවී බලා සිටි ජොන්සන් චාල්ස්ට කරගත හැකි දෙයක් නොවීය. කෙසේ වෙතත් කරන් පොලාර්ඞ් සහ ඞ්වේන් බ්‍රාවෝ එක්වීම නිසා කඩුලු 8 ට ලකුණු 48 ක් වූ ලකුණු පුවරුවේ 9 වැනි කඩුල්ල වැටෙන විට ලකුණු සංඛ්‍යාව 114 ක් සේ ඉහළ ගියේ 9 වැනි කඩුල්ලට එක්වූ ලකුණු 66 ක සම්බන්ධතාවට පින්සිදු වන්නටය.

විස්සයි:20 තරගයකදී ලකුණු 115 ක් යනු පරාජයම මිස අනෙකක් නොවන බැව් සනාථ කළ පාකිස්තානුවෝ ඕවර 14.2 කදී කඩුල්ලක් පමණක් දෙමින් සිය ඉලක්කය කරා අවතීර්ණ වූහ. බාබර් අසාම් ඊයේ ලබාගත්තේ ඔහුගේ මංගල වි:20 අර්ධ ශතකයයි.


බටහිර ඉන්දීය කොදෙව් ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 115
(ඩ්වේන් බ්‍රාවෝ 55, ජෙරම් ටේලර් 21, ඉමාඩ් වසිම් 14/5, සොහේල් තන්වීර් 26/2)

පාකිස්තානය ඕවර 14.2 කදී කඩුල්ලක් දැවී 116
(බාබර් අසාම් නොදැවී 55, කාලිඞ් ලතීෆ් නොදැවී 34, සැමුවෙල් බද්‍රි 27/1)