Category Archives: PAK in ENG 2016

යසීර් ෂා එංගලන්තය දණගස්වයි

වසර දහයකට පසුව ලෝඞ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කඩුලු 5ක් බිඳ දැමූ පළමු පාකිස්තාන පන්දු යවන්නා ලෙස වාර්තා පොත අලුත් කළ යසීර් ෂාගේ විශිෂ්ට පන්දු යැවීමෙන් දැඩි අසීරුතාවට පත්වූ සත්කාරක එංගලන්තය දෙපිල අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වන විට කඩුලු 7ක්ම බිඳ වැටී රැස්කොට තිබුණේ ලකුණු 253ක් පමණි. බිඳ වැටුණු කඩුලු 7 න් 5 කටම වගකී දකුණතින් පා දඟ පන්දු යවන යසීර් ෂා දිනයේ වීරයා වී සිටියේය.

පළමු දිනය නිමාවනවිට කඩුලු 6 ක් දැවී ලකුණු 282ක් ලබා සිටි පාකිස්තාන පළමු ඉනිම ඊයේ දිවා ආහාරයට පෙර තවත් ලකුණු 57 ක් එක්වීමෙන් පසුව ලකුණු 339 කට සීමා වූයේ ක්‍රිස් වෝක්ස් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් එක්ව කඩුලු 2 බැගින් බෙදා හදා ගත් බැවිනි.

අනතුරුව ඉනිම ඇරැඹූ එංගලන්තයට සාර්ථක ආරම්භයක් ලබාදීමට ඇලෙක්ස් හේල්ස් අසමත්වූවත් ජෝ රූට් හා එක්ව වේගවත් පිතිහරඹයක නිරතවූ නායක ඇලෙස්ටෙයාර් කුක් 29 වැනි ඕවරය වෙද්දී සිය කණ්ඩායම ලකුණු 118 දක්වා ඉහළට ඔසවා තැබුවේ දෙවැනි කඩුල්ලට ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩ නගා වේගවත් අර්ධ ශතකයකට ද හිමිකම් කියමිනි.

මොහොමඞ් අමීර්ගේ පන්දු හමුවේ දුන් උඩපන්දු දෙකක්ම ගිළිහී යාම නිසා වාසනාව ලද එංගලන්ත නායකයා ශතකය සොයා ගියද වසරක් ඇතුළතදී තුන්වැනි වතාවටත් එය අහිමි කරගත්තේය. අමීර්ගේම පන්දුවක් පිත්තේ ඇතුළත වැදී කඩුල්ල සොයා ඇදී ගිය හෙයින් ඇලිස්ටෙයාර් කුක්ගේ ඉනිම ලකුණු 81 කට අවසන් විය.

එහෙත් ලකුණු 48 ක් ලබා සිටි රූට් යසීර් ෂාගේ පන්දුවකට මොහොමඞ් හෆීස් වෙත උඩපන්දුවක් දී ආපසු ක්‍රීඩාගාරයට යාමෙන් පසුව මැදපෙළ කඩා බිඳ දැමූ යසීර් ෂා තේ පානය වෙද්දී සිවුවැනි කඩුල්ලත් දවාලනවිට එංගලන්ත පළමු ඉනිම දිස්වූයේ කඩුලු 4 කට ලකුණු 153 ක් ලෙසිනි. රූට්ගෙන් පසුව පිටියට පැමිණි ජේම්ස් වින්ස්ට සහ ගැරී බැල්න්ස්ට තැන්පත්වීමට ඔහු ඉඩ දුන්නේම නැත.

ජොනී බෙයාර්ස්ටෝ තරමක් සාර්ථකව යසීර් ෂාට මුහුණු දුන්නත් මුලු ලකුණු සංඛ්‍යාව 173 ක්ව තිබියදී නායක කුක්ගේ කඩුල්ල බිඳ දැමීමට මොහොමඞ් අමීර් සමත්වීමෙන් ඒ සම්බන්ධතාව බිඳ වැටිණි. මෙම තරගය ආරම්භ වීමට පෙර සිටම වැඩිම අවධානයට ලක්වූ පාකිස්තාන වේගපන්දු යවන්නා වසර 6 කට පසුව නැවත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමෙන් පසුව දවාගත් මුල්ම කඩුල්ලද එය විය.

මුලුමනින්ම හැනා මරතෝන්ඩියෙන් සිය හිසකෙස් පාට ගන්වා සිටි අමීර්ගේ පන්දුවකට කඩුල්ල බිඳ වැටෙද්දී කුක් ටෙස්ට් ලකුණු 4000 සීමාව පසුකළ පළමු එංගලන්ත ක්‍රිකට් නායකයා ලෙසත් වාර්තාවත් තබා තිබිණි.

අනතුරුව මුලු ලකුණු 193 දිත්, ඊළඟට 232 දිත් පිළිවෙළින් බෙයාර්ස්ටොව් සහ මුයීන් අලී ආපසු ක්‍රීඩාගාරයට හරවා යවමින් යසීර් ෂා සිය කඩුලු පහ සම්පූර්ණ කරගත්තේය. එය 1996 දී මුෂ්තාක් අහමඞ් කඩුලු 5ක් බිඳ දැමීමෙන් පසුව ලෝඞ්ස් පිටියේ කඩුලු  5ක් සම්පුර්ණ කළ පළමු පාකිස්තානුවාගේ වාර්තාව මෙන්ම වසර 1967 දී ඉන්දියාවේ භගවාත් චන්ද්‍රසේකර්ගෙන් පසුව ලෝඞ්ස් පිටියේ පළමු ඉනිමක කඩුලු 5 ක් සම්පූර්ණ කළ ලොව පළමු පාදඟ පන්දු යවන්නාගේ වාර්තාවත් ඔහුට ගෙන දුන්නේය.

පළමු දිනය නිමාවනවිට කඩුලු 6 ක් දැවී ලකුණු 282 ක් ලබා සිටි පාකිස්තාන පළමු ඉනිම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේ වාර්තාගත ශතකයකට හිමිකම් කියමින් සිටි නායක මිස්බා උල් හක් සහ සර්ෆ්‍රාස් අහමඞ්ය.

ඉනිමේ 95 වැනි ඕවරය යැවූ වෝක්ස් අහමඞ් සහ නවක පිතිකරු වහාබ් රියාස් දෙදෙනාම නැවත හරවා යවමින් සිය කඩුලු සංඛ්‍යාව 6 දක්වා ඉහළ දමාගත්තේය. එය ඔහු ටෙස්ට් කඩුලු 5 ක් දවාලූ පළමු අවස්ථාවය. අනතුරුව ලකුණු 114 ක් ලබා සිටි නායක මිස්බාගේ කඩුල්ල බිඳ දැමූ බ්‍රෝඞ් ඊට ඕවර තුනකට පසුව ආමීර් දවාලමින් ප්‍රතිවාදී ඉනිම දිවා ආහාරයට පෙර අවසන් කළේය.


පාකිස්තානය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 339යි.
(මොහොමඞ් හෆීස් 40, යූනිස් ඛාන් 33, මිස්බා උල් හක් 114, අසාඞ් ශෆීක් 73, සර්ෆ්‍රාස් අහමඞ් 25, ස්ටුවර්ට් බ්‍රොඞ් 71/3, ක්‍රිස් වෝක්ස් 70/6)

එංගලන්තය පළමු ඉනිම – කඩුලු 7ක් දැවී ලකුණු 253යි.
(ඇලෙස්ටෙයාර් කුක් 81, ජෝ රූට් 48, ජොනී බෙයාර්ස්ටොව් 29, මුයින් අලී 23, ක්‍රිස් වෝක්ස් නොදැවී 31, මොහොමඞ් ආමීර් 65/1, රහත් අලී 68/1, යසීර් ෂා 64/5)


- 077

යසීර් ෂා එංගලන්ත ක්‍රීඩක ජේම්ස් වින්ස්ගේ කඩුල්ල දවාගත් අවස්ථාව…

 

අපේ අය අවතක්සේරු කරන්න එපා

යුරෝපා සංගමයේ රැඳී සිටීමේ එක්සත් රාජධානියේ ඉරණම තීන්දු කළ ආන්දෝලනාත්මක ජනමත  විචාරණයේ ප‍්‍රතිඵලයේ උණුසුම එංගලන්තය පුරා පැතිරෙද්දී කී‍්‍රඩකයන් 17 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සිය කළමනාකාරීත්වය සමග ඔවුන් මෑත කාලයේ කී‍්‍රඩා නොකළ තරම් දුෂ්කර ටෙස්ට් තරගමාලාවකට මුහුණදීමට කාර්යබහුල ලෙස සූදානම් වෙමින්  සිටී.

පෙරහුරු තරග සඳහාත් තව කාලයක් තිබෙද්දිත් මිස්බා උල් හක්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තාන කි‍්‍රකට් කණ්ඩායම එංගලන්තයට පැමිණියේ සිය කණ්ඩායමේ සගයන්ගේ දස්කම් එංගලන්ත සීත දේශගුණයට ගැළපෙන ලෙස මුවහත් කරගැනීමට ඇති අභිලාෂයෙනි.

පාකිස්තානු පිලට අලූතින් පත්වූ ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහත් උද්යෝගයෙන් යුතුව සිය කණ්ඩායම ඉදිරියේ මුහුණදීමට ඇති අභියෝගවලට සූදානම් කරවමින් සිටී. ඔවුන් අද දිනය ඉක්ම යනතුරු හැම්ෂයර් ප‍්‍රාන්තයේ රැඳී සිටින අතර කළමනාකරු ඉන්ටිකාබ් අලාම් ඒ අතරතුර විශේෂ සම්මුඛ සාකච්ඡුාවකට සහභාගි විය.

සිය කණ්ඩායමට එංගලන්තය හුරුපුරුදු කරවීමට වේලාසනින්ම පිටත්කොට හැරීමට මෑතකදී පත්වූ පාකිස්තාන තේරිම් කමිටුවේ ප‍්‍රධානී ඉන්සමාම් උල් හක් ගත් තීන්දුව නිෂ්ඵල දෙයක් හැටියට ඇතැමුන්ගේ විවේචනයට ලක්වූවත් පාකිස්තානු කී‍්‍රඩකයන් හැම්ෂයර් හී මේ ගත කරමින් ලබාගන්නා වූ අත්දැකීම් ඉදිරියේදී කදිම අත්වැලක් වෙනවාට කිසිදු සැකයක් නැති බව ඉන්ටිිකාබ් අලාම් මහතාගේ අදහසවී තිබේ.

”හැම්ෂයර් ආපු දවසෙ ඉඳලා අපිට හොඳයි”

”අපි දවස් තුනේ පුහුණු තරගයකටත් කී‍්‍රඩා කළා. කරදර වෙන්න කිසිම දෙයක් නෑ කොල්ලො ටික එයාලගේ ශාරිරික යෝග්‍යතාව හොඳින් පවත්වාගෙන යනවා. ව්‍යායාම ශාලාවේ සෑහෙන කාලයක් ගත කරන නිසා අපේ කඳවුරේ තත්ත්වය ආදා ඉඳලා සතුටුදායක මට්ටමකයි තිබෙන්නේ” යයි ඉන්ටිකාබ් අලාම් මහතා කියයි.

ප‍්‍රධානතම මාතෘකාවක් බවට පත්වී ඇත්තේ තහනමට පෙර 2010 දී සිය අන්තිම ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළ තණතීරුවේදීම මොහමඞ් අමිර් යළි දෙවැනි ගමන ආරම්භ කිරීමයි. එය මාධ්‍ය හා කී‍්‍රඩාලෝලීන් අතර වැඩි කතාබහට ලක්වූ කාරණාවක් බව කණ්ඩායම් කළමනාකරීත්වයත් දැන සිටී.

කෙසේ වෙතත් පාකිස්තාන කළමනාකාරීත්වය වැඩි අවධානයක් යොමුකොට ඇත්තේ ජූලි 14 වැනිදා ලෝඞ්ස් පිටියේ දී ඇරැුඹෙන ටෙස්ට් තරගයට අමීර් සූදානම් කරවීම පිළිබඳව බව අලාම් මහතා කියයි.

”ලෝඞ්ස් ටෙස්ට් තරගයට පෙර තවත් පෙරහුරු තරග දෙකකටම කී‍්‍රඩා කරන්නට තිබෙන නිසා එක අතකට ඒ ගැන කතා කිරීමට වේලාසන වැඩියි කියලත් හිතෙනවා”

”අමීර් ලෝඞ්ස් තරගයට හොඳින්ම සූදානම් වී ඇතැයි අපිට සිතෙනවා. ඔහු නැවත ටෙස්ට් පිටියට පා තැබීම ගැන වටපිටාවේ සෑහෙන කතාබහ කෙරෙන නිසා ඔහුට මේ සංචාරයට මනස හදාගන්න සිදුවුණා. ඒ වගේම ඔහුට තමා ගැන බලාගන්න හැකිවේවි කියලා අපි විශ්වාස කරනවා” යයි කී අලාම් මහතා, ”මොහොමඞ් අමීර් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට නැවත පිවිසීමෙන් පසුව ඔහුගේ මුල්ම එංගලන්ත සංචාරය මෙය නෙවෙයි. ඔහු මීට කලිනුත් ඔහු එංගලන්තට ආවා….” යයිද පැවසීය.

ආබාධයක් හේතුවෙන් ජේම්ස් ඇන්ඩර්සන්ට නිසැකයෙන්ම පළමු ටෙස්ට් තරගයට කී‍්‍රඩා කිරීමට නොැලැබීම ඇතැම් පාකිස්තානු පිතිකරුවන්ට තරමක අස්වැසිල්ලකි. නමුත් කණ්ඩායමට ධනාත්මක ප‍්‍රතිඵලයක් මේ සංචාරයෙන් ලබාගැනීමට තරම් අවශ්‍ය පසුබිමක් ඇති කරලීමට පාකිස්තානු පන්දු යවන්නන්ට හැකිවේවිදැයි පැනයක් ඉතිරිව තිබේ.

අමීර්ට අමතරව පාකිස්තානු වේගපන්දු බලඈණියට ඇතුළත්ව සිටින වහාබ් රියාස්ට අත්දැකිම් අඩුය. එහෙත් අලාම් මහතා පවසනුයේ තමන් සිය ප‍්‍රතිවාදින් විමතියට පත් කිරීමට සූදානම බවයි.

”මීට කළින් එංගලන්තයේ සංචාරය කළ පාකිස්තානු කණ්ඩායම්වල වගේම මෙවරත් අපේ වේගපන්දු බලඈණිය අත්දැකීම් අඩු අය බවට සැකයක් නෑ තමයි. ඒත් එයාලගේ හැකියාවන් අවතක්සේරු කිරිම ගැන නම් මම අනතුරු අගවනවා”

”මෑත කාලයේ ඔවුන් හොඳින් පන්දු යැව්වා. ඒ වගේම ඔවුන් ශාරිරික යෝග්‍යතාව අතිනුත් ඉහලින් ඉන්නේ. ඉංගී‍්‍රසි පිතිකරුවන් ඔවුන්ගේ දැඩි පරීක්ෂාවට ලක්වෙනවාට සැකයක් නෑ” යයිද පාකිස්තානු පිලේ හිටපු නායකයකුද වන අලාම් මහතා පවසයි.

පාකිස්තානු පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර්ට කළහැකි දේ කුමක්දැයි යන්න ඔහු දකුණු අපි‍්‍රකානු පිලේ පුහුණුකරු ලෙස වැඩ කළ කාලයේ ඇතිකරගත් දීප්තිමත් වාර්තාව මත රඳා පවතින්නකි. මෑතකදී පත්වුණු මේ පුහුණුකරු දැනටමත් කණ්ඩායමේ යම් වෙනසක් ඇති කරලීමට සමත්වී ඇතැයි අලාම් මහතා කියයි.

”පාකිස්තාන පිලේ ප‍්‍රධාන පුහුණුකරු හැටියට මිකී ආතර් වගේ කෙනෙක් පත් කරගැනීමට ලැබීම අපේ වාසනාවක්. අපේ ළමයි ටික ඔහු සමග හොඳින් වැඩ කරන බව මම සතුටින් කියනවා. ඔහු කණ්ඩායමත් එකක් ඉතා කැපවීමෙන් පුහුණුවීම්වල යෙදෙනවා. කොල්ලො ටික ඔහුට කීකරුයි”

බොහෝ ප‍්‍රවීණයන්ට අනුව මේ පාකිස්තාන කණ්ඩායමට මෙවර ටෙස්ට් තරගාවලියේ දී  සිය අරමුණු කරා ළගාවීමට අවශ්‍ය අධිෂ්ඨානශීලීත්වය ඉහලින්ම පෙනෙන්නට තිබේ. එහෙත් අලාම් මහතාගේ අදහස වී ඇත්තේ කණ්ඩායමේ සැබෑ අරමුණ ඉස්මතු වෙන්නේ ඔවුන් ලෝඞ්ස් පිටියට පා තැබුවාට පසුව බවය.

”අපි අවශ්‍ය ඉලක්කයට යන්න හොඳ සූදානමකිනුයි ඉන්නේ. දෙවියන්ගෙ පිහිටෙන් හරි වෙලාවට අපේ කොල්ලෝ ටික පාකිස්තානු ජාතියම ඉහළට ඔසවලා තියාවි” යයි අලාම් මහතා සිය විශ්වාසය පළකරයි.

 

- 077

 

මොහොමඞ් අමීර් නින්දෙන් අවදිවෙයි

ක්‍රිකට් තරග පාවාදෙන්නවුන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනැවිය යුතු යයි මොහොමඞ් අමීර් කියයි.
එසේ කියන මොහොමඞ් අමීර් අන් කවරෙකු හෝ නොව, වසර 2010 දී කූප්‍රකට තරග පාවාදීමකට වැරැදිකරුවකු වී වසර 5 ක තරග තහනමකට සහ සිර දඬුවමකට යටත්ව සිටි පකිස්තානයේ වේගපන්දු යවන්නාමය.


එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් යළි ටෙස්ට් ක්‍රිකට් පිටියට අවතීර්ණවීමට බලා සිටින අමීර් මෙසේ කීවේ තරග පාවාදෙන්නවුන් ක්‍රීඩාවේ නාමයෙන් එළියට ඇද දැමිය යුතු බවට එංගලන්ත පිලේ නායක ඇලෙස්ටෙයාර් කුක් ඊයේ පෙරේදා කළ ප්‍රකාශයකට සහය පළ කරමිනි.


“තරග පාවාදීම් තවමත් සිද්ධවෙනවානම් එය අනතුරුදායකයි” ආමීර් එසේ කීවේ ටෙස්ට් තරග 4 කින් සමන්විත එංගලන්ත සංචාරයට පිටත්වයාමට පෙර පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.


“තරග පාවාදෙන්නවුන්  ජීවිතාන්තය දක්වා තහනම් කළ යුතුබවට පළවෙන මතයට මම සම්පූර්ණයෙන්ම එකඟයි” යයි කීවද එංගලන්තයේ ටැබ්ලොයිඞ් පුවත්පතකින් විස්තර ඇතුව හෙළිදරවු කරන ලද ආමීර්ගේ නිපන්දු යැවීම සිදුවූ ලෝඞ්ස් පිටියේ දීම නැවත ටෙස්ට් ක්‍රිකට් ක්ෂේත්‍රයට එක්වන 24 හැවිරිදි මේ වමත් වේගපන්දු යවන්නාට එහි දී සතුටුදායක ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය.


සිය තරග තහනම නිමාවට පත්වීමෙන් පසුව පසුගිය ජනවාරියේ යළි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි අමීර්ට එරෙහිව ක්‍රීඩා කිරීම පිළිබඳ තමාට කිසිදු ගැටළුවක් නොමැති බව එංගලන්ත ටෙස්ට් නායක ඇලිස්ටෙයාර් කුක් මීට පෙර කියා තිබිණි.


අමීර් සහ ඔහුගේ නව පන්දුවේ සහකරු මොහමඞ් අසීෆ් එදා නිපන්දු යැව්වේ එවකට සිය නායකයාව සිටි සල්මාන් බට්ගේ උපදෙස් අනුවය. මේ තිදෙනාම වසර 5 ක තරග තහනමකට ලක්වූ අතර තරග පාවාදීමේ මහමොළකරු වූ මසාර් මජීද් සිරගත කෙරිණි.


සිය තහනම නිමාවට පත්වීමෙන් පසුව මෙතෙක් අන්තර්ජාතික එක්දින තරගවලට පමණක් ක්‍රීඩා කළ අමීර්ට යළි ටෙස්ට් පිටියේ දොරටුව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදීම විවරවීමත් දෛවෝපගත කාරණාවකි.


“ඇත්තම කියනවානම් මම කවදාවත් හිතුවේ නෑ ආපහු ක්‍රීඩාවට එක්වෙන්න පුළුවන් වෙයි කියලා. ආපහු ටෙස්ට් ක්‍රිකට්වලට එන්න ලැබීම මගේ වාසනාවක්” ඔහු කීවේය.


“ටෙස්ට් ක්‍රිකට්වලට එන්න මම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ. මේක මට තවමත් විශ්වාස කරන්නත් බෑ….මේක දෛවෝපගත සිද්ධියක් හරි වෙන මොකක් හරි කියලා ඔයාලා බාගවිට කියාවි. ඒත් 2010 දී මගේ ක්‍රිකට් ක්‍රීඩාව නැවතුණු ලෝඞ්ස් පිටියෙන්ම ආපහු ටෙස්ට් ක්‍රීඩාවට එන්න ලැබීම මට නම් ආශිර්වාදයක්” යයි මොහොමඞ් අමීර් කියයි.


“මම නැවත අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පා තැබුවේ මීට මාස ගණනකට උඩදී වුණත් ඇත්තටම නියම ක්‍රිකට් ක්‍රීඩාව හැටියට සැලකෙන ටෙස්ට් ක්‍රිකට්වලට එන්න ලැබීම තමයි මගේ පුනරාගමනය කියලා මම හිතන්නේ” යයිද  අමීර් කීවේය.


“මම අතීත සිදුවීම් අමතක කරලාවත්, ඒවා මගේ හිතේ හොල්මන් කරන්නේ නෑ කියලවත් මම කියන්නෙ නෑ. ඒත් ඒ දිහා සුබවාදී විදිහට බලලා සාර්ථක අනාගතයකින් ඒ අතීතය වළලා දමන්නයි මගේ බලාපොරොත්තුව”
“ආපහු සැරයක් ලෝඞ්ස් පිටියේ ගෞරවනීය පුද්ගලයන්ගේ නාමපුවරුවේ මගේ නම ලියා තබන අන්දමේ දස්කම් පෙන්වන්නයි මට ඕන කරන්නේ” යයි අමීර් කීවේය.


ඉනිමකින් සහ ලකුණු 225 කින් එංගලන්තයට පරාජය වූ ඒ තරගයේ දී සිය හොඳම පන්දු යැවීම වාර්තා කළ අමීර් ලකුණු 84 කට කඩුලු 6 ක් දවා ගැනීමෙන් පසුව ලෝඞ්ස් පිටියේ ගෞරවනීය ක්‍රීඩකයන්ගේ නාමපුවරුවට එක්විය.


එළැඹෙන ටෙස්ට් තරගය අතරතුර ක්‍රීඩාංගණය තුලදී ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගෙන්ද, ඉන් පිටත දී එරට ක්‍රීඩාලෝලීන්ගෙන් ද අඩුවැඩි නොමැතිව එල්ලවිය හැකි ගර්භාවට මුහුණදීමට තමා දැනටමත් සූදානම් බවත් ආමීර් කීවේය.


“ක්‍රිකට් පිටියේදී ප්‍රතිවාදීන්ගෙන් ඇනුම්පද එල්ලවීම ක්‍රීඩාවේ කොටසක්. ඒ වගේම ඒක අලුත් දෙයක් නෙවෙයි. නමුත් මම ඒ ගැන වැඩිය හිතන්න යන්නෙ නෑ. මම හිතන්නේ මගේ දස්කම් ගැන විතරයි”


අවසන් වතාවට 2010 දී ලෝඞ්ස් පිටියේ ක්‍රීඩා කළ කාලයට වඩා තමා දැන් බෙහෙවින් ශක්තිමත් බවත් පවසන අමීර් “එතකොට මං ගොඩාක් පොඩියි” කීවේ තමන් වරදට පෙළඹුනේ නොදන්නා කම නිසා යන්න නොකියා කියමිනි.