මිස්බා – යුනිස් පැතුම් පැතුම් පොදිබඳිති

සුරංගනා කතාවක ඇති කුතුහලයත්, ත්‍රාසයත් සිහිගන්වමින් ආරම්භ වූ පාකිස්තාන – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගමාලාව ජයගනිමින් කොදෙව් දේශයේදී එවැනි හපන්කමක් කළ පළමු පාකිස්තානු කණ්ඩායම බවට පත්වීමට සංචාරක පාකිස්තානු ක්‍රිකට් පිල කුරුමානම් අල්ලමින් සිටී. මේ තරගමාලාවෙන් පසුව ටෙස්ට් පිටියෙන් සමුගැනීමට බලා සිටින පාකිස්තානු පිලේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකුට ස්වර්ණමය සමුගැනීමක් ලබාදීමේ බලාපොරොත්තුවෙන් පාකිස්තානුවෝ අද (10) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට සාන්ත ජෝර්ජ් දූපතට අයත් ඩොමිනිකා රාජ්‍යයේ රොසියු නගරයේ වින්ඞ්සර් උද්‍යාන ක්‍රීඩාංගණයේදී දෙපිල අතර තීරණාත්මක තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය සඳහා පිවිසෙති.

වේලාසනින්ම මේ ඓතිහාසික ටෙස්ට් තරගමාලා ජයග්‍රහණය අත්පත් කරගැනිමට තිබූ පාකිස්තානුවන්ගේ බලාපොරොත්තුව දෙවැනි ටෙස්ට් තරගයේදී සිඳී බිඳී ගියේ ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 81 කට බිඳ වැටුණ හෙයිනි. එහිදී සත්කාරක කොදෙව් පිල තරගමාලාව 1-1 කින් සමකරගැනිමට සමත්විය. ඉන් නොනැවතුණු කොදෙව්වෝ දැන් අවසන් ටෙස්ට් තරගයේදීත් සංචාරකයන්ගේ සිහිනය බොඳ කිරීමට මාන බලමින් සිටිති.

දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණයට පාකිස්තානුවන්ට ලැබී තිබූ ලකුණු 188 ක් වුවත් තරගය උඩුයටිකුරු කළ කොදෙව් පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ෂැනොන් ගේබි්‍රයෙල් කඩුලු 5ක් දවාලමින් නොතිබූ ජයක් කොදෙව්වන්ට හිමි කර දුන්නේය. තරගයෙන් පසුව කොදෙව් පිලේ පුහුණුකරු ස්ටුවර්ට් ලෝ එම තණතීරුව පාකිස්තානුවන්ට වාසිදායකව තණකොළ රහිතව සකස් කොට තිබු එකක් බවට දෝෂාරෝපණය කළේය.

එබැවින් අද තරගයේදී පිටියේ වාසිය හැම අතින්ම කොදෙව්වන්ට සරිලන එකක් බවට පත්වනු නිසැකය.

පාකිස්තානු පිලේ වේගපන්දු යවන මොහොමඞ් අමීර් සහ දඟපන්දුවෙන් කොදෙව්වන් කරකවා අතහැරිය යසීර් ෂා අද තරගයේදිත් සිය දස්කම් ඉස්මතු කරන්නට බලාපොරොත්තුවෙන් සිටිති. මීට අමතරව සිය මංගල ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා කරන වේගපන්දු යවන මොහොමඞ් අබ්බාස් ද කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටින බැවින් එක් අතකට සත්කාරකයන්ට වැඬේ ලෙහෙසි වන්නේ නැත.

අනිත් අතින් දෙවැනි ටෙස්ට් තරගයේදී පිත්තෙන් දස්කම් පෑ කොදෙව් පිලේ රොස්ටන් චේස් සහ ෂායි හෝප් සමග තුන්ඉරියව්වෙන් දස්කම් දක්වන කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පාකිස්තානු පන්දු යවන්නන්ට අද තරගයේදිත් අභියෝගයක් වනු ඇත.

අද තරගය පැවැත්වෙන වින්ඞ්සර් පාක් ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් තරගයක් පැවැත්වෙන 5 වැනි අවස්ථාව මෙය වේ. එමෙන්ම එය පාකිස්තානුවන් ක්‍රීඩා කරන පළමු අවස්ථාව ද වේ. එබැවින් තණතීරුවේ හැසිරීම දෙපිලටම එකසේ ආගන්තුක එකක් වනු ඇතැයි විචාරකයෝ කියති.

වසර 2015 අවසන් වතාවට ඕස්ට්‍රේලියාව මේ ක්‍රීඩාංගණයේදී සත්කාරකයන් පරාජයට පත්කළ අතර ඔවුන්ගේ වේගපන්දු යවන්නන් අතර කඩුලු 16 ක්ම බෙදී ගොස් තිබිණි. ඒ අතින් බැලූවිට අද ඇරැඹෙන තරගය වේගපන්දු යවන්නන්ට උචිත එකක් වනු ඇතැයි අනුමාන කළ හැකිය.

 

- 077

 

පන්ජාබ් පිලට ලකුණු 14 ක ජයක්

 

දහවැනි වරටත් පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ 49 වැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව මොහාලිහිදී අද (9 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 14 ක් ජයක් අත්කරගැනීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය.


ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 153 ක් පමණි.


ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ ක්‍රිස් ලින් පන්දු 52 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 84 ක් රැස්කිරීමට සමත් වුවද, සහායට කිසිවකු නොසිටීම නිසා ඔහුට කොල්කටා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.


දක්ෂ පන්දුයැවීමක නිරත වූ මෝහිත් ශර්මා සහ රාහුල් තේවතියා කඩුලු 2 බැගින් දවාගනිමින් කොල්කටා කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල කළහ.


කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ගෞතම් ගම්භීර්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 167 ක් ලබාගත්තේය.


වේගවත් පිතිහරඹයක නිරත වූ නායක ග්ලේන් මැක්ස්වෙල් පන්දු 25 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 44 ක් රැස්කළේය.


රිධිමන් සාහා (38) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මැක්ස්වෙල් සමත් විය. පන්දු 33 කදී වාර්තා වූ සාහාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.


කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 6 කට 167

(මනන් වෝරා 25, රිධිමන් සාහා 38, ග්ලේන් මැක්ස්වෙල් 44, රාහුල් තේවතියා නොදැවී 15, ක්‍රිස් වෝක්ස් 20/2, කුල්දීප් යාදව් 34/2)


කොල්කටා නයිට් රයිඩර්ස් පිල – ඕවර 20 කදී කඩුලු 6 කට 153

(සුනිල් නරේන් 18, ක්‍රිස් ලින් 84, මනීෂ් පාණ්ඬේ 18, රාහුල් තේවතියා 18/2, මෝහිත් ශර්මා 24/2)

 

-036

 

අයි.පී.එල් කඩුලු 150ක් දවාගත් පළමු වැන්නා මාලිංග

අයි.පී.එල්. තරගාවලි ඉතිහාසයේ කඩුලු 150 සිමාව පසු කළ පළමු ක්‍රීඩකයා විමට ලසිත් මාලිංග පසුගියදා සමත්විය. දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී 150 වන කඩුල්ල ලෙස ශ්‍රියාස් අයියර් දවාගනිමින් මෙම දස්කම කිරීමට ලසිත් මාලිංග සමත් වූයේය.


2009 වසරේ සිට මුම්බායි පිලේ නිත්‍ය සාමාජිකයකු බවට පත්වු ලසිත් මාලිංග මේ වනවිට තරග 106 කට ක්‍රීඩාකරමින් ලකුණු 2824 කට කඩුලු 152 ක් දවාගැනීමට සමත්වී තිබේ. ඊට කඩුලු පහ බැගින් ලබාගත් එක් අවස්ථාවක් සහ කඩුලු හතර බැගින් දවාගත් අවස්ථා හතරක් ඇතුළත් වෙයි.


2016 වසරේදී ආබාධයක් හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්විමට ලසිත් මාලිංගට සිදුවීම හේතුවෙන් පසුගිය වසරේදී මෙම දස්කම පෙන්වීමට තිබූ අවස්ථාව ඔහුගෙන් ගිලිහී ගියේය.


මේ වනවිට විස්සයි20 තරග 235 කට ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග කඩුලු 320 ක් දවාගෙන ඇති අතර වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවෙයි. තරග 344 කදී කඩුලු 367 ක් දවාගෙන ඇති ඞ්වේන් බ්‍රාවෝ පළමු ස්ථානයේ සිටී.


තරග 123 කදී කඩුලු 133 ක් ලබාගත් අමිත් මිෂ්රා අයි.පී.එල්. තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

ධවාන් – හෙන්රිකස් හයිද්‍රාබාද් පිලට ජය ගෙනෙති

දහවැනි වරටත් පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ 48 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 18.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර පන්දු 46 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 62 ක් රැස්කළ ශිකර් ධවාන් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

හයිද්‍රාබාද් ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක ඬේවිඞ් වෝනර් ලකුණු 6 කට දැවීයෑමෙන් පසු දෙවැනි කඩුල්ල වෙනුවෙන් මොයිසස් හෙන්රිකස් (44) සමග එක්ව පන්දු 66 කදී ලකුණ 91 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ධවාන් සමත් විය. පන්දු 35 කදී වාර්තා වූ හෙන්රිකස්ගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත විය.

මිචෙල් මැක්ලෙනගන්, ලසිත් මාලිංග සහ ජස්ප්‍රීත් බුම්රා කඩුල්ල බැගින් දවාගත්තද, ධවාන්ගේ ඉනිම නිමා කිරීමට ඔවුන් කිසිවෙකුටත් නොහැකි විය.

කාසියෙන් වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 138 ක් ලබාගත් අතර මුම්බායි ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ රෝහිත් ශර්මා සෙසු ක්‍රීඩකයන් අසාර්ථක වෙද්දී, නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

පන්දු 45 කදී වේගවත් අර්ධ ශතකයක් ලබාගත් රෝහිත් ශර්මා (67) එය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් අලංකාර කළේය. මුම්බායි ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ සිද්ධාර්ත් කෞල් ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගනිමින් මුම්බායි පිතිකරුවන් මෙල්ල කළ අතර ඒ සඳහා කෞල්ට අනගි සහායක් දුන් බුවනේෂ්වර් කුමාර් ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගත්තේය.

මුම්බායි ඉන්දියන්ස් පිල – ඕවර 20 කදී කඩුලු 7 කට 138
(පාර්තිව් පටේල් 23, රෝහිත් ශර්මා 67, හර්දික් පාණ්ඩ්‍යා 15, සිද්ධාර්ත් කෞල් 24/3, බුවනේෂ්වර් කුමාර් 29/2)

සන්රයිසස් හයිද්‍රාබාද් පිල – ඕවර 18.2 කදී කඩුලු 3 කට 140
(ශිකර් ධවාන් නොදැවී 62, මොයිසස් හෙන්රිකස් 44, විජය ශංකර් නොදැවී 15)

-036

 

මහේල ලැන්කෂයර් ප්‍රාන්ත පිලට

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එංගලන්තයේ විස්සයි-20 තරගාවලියේදී ලැන්කෂයර් ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ. ‘නැත්වෙස්ට් ටී-20 බ්ලාස්ට්’ යනුවෙන් හැඳින්වෙන මෙම තරගාවලිය එංගලන්තයේ ප්‍රාන්ත අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියයි.

මේ වන විට 39 හැවිරිදි මහේල ජයවර්ධන 2015 දී අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත් අතර පසුව එංගලන්තයේ සසෙක්ස් සහ සමර්සෙට් පිල වෙනුවෙන්ද ක්‍රීඩා කළේය.

ටෙස්ට් තරග 149 කට ක්‍රීඩා කර ඇති මහේල, ටෙස්ට් ලකුණු 12,000 කට ආසන්න ප්‍රමාණයක් රැස්කර ඇති අතර සීමිත ඕවර තරග වලදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 14,000 ඉක්මවයි.

“එළබෙන ග්‍රීස්ම කාලයේදී ලැන්කෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් නැත්වෙස්ට් ටී-20 බ්ලාස්ට් තරගාවලියට සහභාගි වීමට ලැබීම සම්බන්ධයෙන් මම හුගක් සතුටට පත්වෙනවා.” යැයි ලැන්කෂයර් ප්‍රාන්තය නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මහේල සඳහන් කර තිබේ.

“ලැන්කෂයර් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලොකු ඉතිහාසයක් තියෙන ප්‍රන්තයක්. ලැන්කෂයර් කණ්ඩායමේ හුගක් තරුණ ක්‍රීඩකයෝ ඉන්නවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ඒ අයත් එක්ක ඉදිරියේදී එකට ක්‍රීඩා කරන්න.” යැයිද මහේල පැවසූ බව එම නිවේදනයේ සඳහන් වේ.

“මහේල කියන්නේ ඉතාමත් උසස් මට්ටමේ පිතිකරුවෙක්. ඔහුට පිටිය පුරාම පහරවල් එල්ල කරමින් ලකුණු ලබාගැනීමට හොඳ හැකියාවක් තියෙනවා.” යැයි ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්ලේන් චැපල් මහතා ප්‍රකාශ කර තිබේ.

“ඔහු සමග ක්‍රීඩා කරන්න ලැබීම අපේ නවක ක්‍රීඩකයන්ට අනගි අවස්ථාවක් වෙයි. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයෙක් ක්‍රීඩා කරන අයුරු සියැසින්ම දැක බලා ගැනීමට තමයි අපේ රසිකයන්ට ඉදිරියේදී අවස්ථාවක් ලැබෙයි.” යැයි චැපල් මහතා වැඩිදුරටත් කියා සිටියේය.


- 036

 

ඉන්දීය ක්‍රිකට් සංගම් ඒකමතික තීන්දුවක

අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ලැබෙන මුදල සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝකයේ මහ බලවතා සමග කඹ ඇදීමක නිරතව සිටියද 2017 ශූරයන්ගේ කුසලාන තරගාවලියට ඉන්දියාව සහභාගි විය යුතු යයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අනුබද්ධිත ක්‍රිකට් සංගම් ඒකමතිකව තීරණය කර තිබේ. එබැවින් නියමිත දිනයට දෙසතියක් ප්‍රමාද වී ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නම් කරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද (8 වැනිදා) පියවර ගත්තේය.

ලබන මස 1 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම නම් කිරීමේ අවසන් දිනය වූයේ අප්‍රේල් 25 වැනිදා නමුත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී තමන්ට ලැබෙන කොටස පිළිබඳ තීන්දුව ලැබෙන තුරු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කල්මරමින් සිටියේය.

පසුව තමන්ට ලැබෙන කොටස පිළිබඳ අප්‍රසාදය පළ කළ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශුරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත්වන බවට අන්තර්ජාතික ක්‍රිකට් සභාවට අනතුරු ඇඟවීය.

ලෝකයේ වඩාත්ම ධනවත් ක්‍රිකට් පාලක මණ්ඩලය වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය ඉරිදා (7 වැනිදා) අතිවිශේෂ මහ සභා රැස්වීමක් කැඳවූයේ ඒ පිළිබඳව තීරණයක් ගැනීමේ අරමුණ ඇතිවය. කෙසේ වෙතත් එහි සාමාජිකයන්ගේ ඒකමතික තීන්දුව වූයේ ඉන්දියාව ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි විය යුතු බවයි.

මුදල් ඇපයට තබාගනිමින් ශුරයන්ගේ කුසලාන වර්ජනය කිරීමට සැරසුන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ තදබල විවේචනයට ලක්විය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නව වෙනස්කම් හේතුවෙන් වසර 8 ක කාලයක් තුළදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඩොලර් මිලියන 277 ක් අහිමි වෙයි.

ශුරයන්ගේ කුසලානයේ වත්මන් හිමිකරුවන් වන ඉන්දියාව මෙවර සිය ශූරතාව රැකගැනීමට යන්නේ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් පමණක් කරමිනි. එංගලන්තයට එරෙහිව මේ වසර මුලදී පැවැති එක්දින තරගාවලියේදී ක්‍රීඩා කළ ඉන්දීය පිලෙන් මෙවර එංගලන්ත සංචාරයට ඇතුළත්ව නැත්තේ අමිත් මිශ්රා සහ ලෝකේෂ් රාහුල් දෙදෙනා පමණි. මිශ්රා වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් සාමිද ලෝකේෂ් රාහුල් වෙනුවට පිතිකරු රෝහිත් ෂර්මාද ඉන්දීය පිලට එක්ව සිටිති.

ආබාධයක් හේතුවෙන් අයි. පී. එල්. තරගාවලියට ක්‍රීඩා නොකරන නමුත් රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දීය පිලට එක්ව සිටී. 2013 දී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන්  මහ තරගයේදී එංගලන්තය පරාජය කරමින් ශූරතාව දිනාගැනීමට ඉන්දියාව සමත් වූයේය.


ඉන්දීය සංචිතය
විරාට් කෝලි (නායක), ෂිකාර් ධවාන්, රෝහිත් ෂර්මා, අජින්ක්‍යා රහනේ, මහේන්ද්‍ර සිං දෝනි, යුවරාජ් සිං, කේදර් ජාදව්, හාර්දික් පාණ්ඩ්‍යා, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජදේජා, මොහොමඞ් සාමි, උමේෂ් යාදව්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රීට් බුම්රා සහ මනීශ් පාණ්ඬේ

 

ඩ්වේන් ස්මිත් ගුජරාට් ලයන්ස් දිනවයි

ඩ්වේන් ස්මිත්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ දහවැනි වරටත් පැවැතිවෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ මොහාලී හිදී පැවැති 47 වන තරගයේදී කිංග්ස් XI පන්ජාබ් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට ගුජරාට් ලයන්ස් පිල අද (07 වැනිදා) සමත්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ලයන්ස් පිල ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.


පළමු කඩුල්ල සදහා ඉෂාන් කිෂාන් (29) සමගින් එක්ව පන්දු 56 කදී ලකුණු 91 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ඩ්වේන් ස්මිත්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ගුජරාට් ලයන්ස් පිලට ජයග්‍රහණය කරා යෑමට හැකිවිය. ඩ්වේන් ස්මිත් දැවී යනවිටදී පන්දු 39 කට මුහුණ දෙමින් හයේ පහර හතරක් සහ හතරේ පහර අටක් සමගින් ලකුණු 74 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


හසීම් අම්ලා මෙවර තරගාවලියේදී රැස්කළ දෙවැනි ශතකය හේතුවෙන් ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 189 ක ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට කිංග්ස් XI පන්ජාබ් පිලට හැකිවිය.


පන්දු 60 කට මුහුණදුන් හසීම් අම්ලා හයේ පහර පහක් සහ හතරේ පහර අටක් සමගින් ලකුණු 104 ක් රැස්කළ අතර ෂෝන් මාෂ් පන්දු 43 කදි හතරේ පහර හයක් සමගින් ලකුණු 58 ක් රැස්කිරීමට සමත්විය.


ෂෝන් මාෂ් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 89 කදි ලකුණු 125 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ හසීම් අම්ලා තෙවැනි කඩුල්ල සදහා ග්ලේන් මැක්ස්වෙල් සමගින් එක්ව පන්දු 25 කදී ලකුණු 60 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්විය.


කාසියේ වාසිය දිනූ ගුජරාට් ලයන්ස් පිලේ නායක සුරේෂ් රයිනා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

 

කිංග්ස් XI පන්ජාබ් – ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 189
(හසීම් අම්ලා 104, ෂෝන් මාෂ් 58, ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 20)

 

ගුජරාට් ලයන්ස් – ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 192
(
ඩ්වේන් ස්මිත් 74, ඉෂාන් කිෂාන් 29, සුරේෂ් රයිනා 39, ඩිනේෂ් කාර්තික් නොදැවී 35, සංදීප් ශර්මා 29/2)

 

නරේන් – ලයන් කොල්කටා පිලට ජය ගෙනෙති

සුනිල් නරේන් සහ ක්‍රිස් ලයන්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල අද (07 වැනිදා) සමත්විය. දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 46 වන තරගය බැංගලෝර් හිදී පැවැතිවිණි.

ජයග්‍රහණය සදහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 15.1 කදී කඩුලු හතරක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

විශිෂ්ට පිතිහරඹයක නිරතවූ සුනිල් නරේන් අයි.පී.එල්. ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සමකරමින් පන්දු 15 කදී අර්ධ ශතකය ලබාගැනීමට සමත්විය. 2014 වසරේ පැවැති අයි.පී.එල්. තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව පන්දු 15 කදී වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමින් ඊට හිමිකම් කීමට යුසූෆ් පතාන් සමත්වී සිටියේය.

සුනිල් නරේන් දැවීයන විටදී පන්දු 17 කට මුහුණ දෙමින් හයේ පහර හතරක් සහ හතරේ පහර හයක් සමගින් ලකුණු 54 ක් ලබා ගැනීමට සමත්විය. නරේන්ට අනගි සහයක් ලබාදුන් ක්‍රිස් ලයන්ද වේගවත් පිතිහරඹයක නිරතවෙමින් පන්දු 22 කදී ලකුණු 50 ක් ලබාගත් අතර ඊට හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් ඇතුළත් විය.

පළමු කඩුල්ල සදහා සුනිල් නරේන් සහ ක්‍රිස් ලයන් එක්ව පන්දු 37 කදී ලකුණු 105 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට සමත්වූහ.

අයි.පී.එල්. ඉතිහාසයේ පළමු ඕවර 6 තුළඳී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද බිඳ හෙළීමටද කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමත්වූ අතර ලකුණු 100 ක් ලබාගනිමින් මීට පෙර එම වාර්තාවට හිමිකම් කීමට චෙන්නායි සුපර්කිංග්ස් පිල සමත්වී සිටියේය.

පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 158 ක් ලබාගැනීමට සමත්විය.

තරගයේ යවන ලද පලමු පන්දුවෙන්ම ක්‍රිස් ගේල් දවාගැනීමට උමේෂ් යාදව් සමත්වූ අතර අනෙක් ආරම්භක පිතිකරුවූ මංදීප් සිං පන්දු 43 කට මුහුණදෙමින් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 52 ක් රැස්කිරීමට සමත්විය.

ඉනමි අවසන් වනතුරු කඩුල්ලේ රැඳි සිටි ට්‍රැවිස් හෙඞ් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 47 කදි හයේ පහර පහක් සහ හතරේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 75 ක් රැස් කිරීමට සමත් වූයේය.

සිවුවැනි කඩුල්ල සදහා පන්දු 63 කදී ලකුණු 71 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට මංදීප් සිං සහ ට්‍රැවිස් හෙඞ් සමත්වූ අතර උමේෂ් යාදව් ලකුණු 36 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ නායක ගෞතම් ගාම්බීර් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.


රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 158
(මංදීප් සිං 52, ට්‍රැවිස් හෙඞ් නොදැවී 75, උමේෂ් යාදව් 36/3, සුනිල් නරේන් 29/2)

කොල්කටා නයිට් රයිඩර්ස් – ඕවර 15.1 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 159
(ක්‍රිස් ලයන් 50, සුනිල් නරේන් 54, පවන් නෙගී 21/2)

 

මුම්බායි පිලට ලකුණු 146 ක දැවැන්ත ජයක්

දහවැනි වරටත් පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ 45 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව දිල්ලිහිදී අද (6 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 146 ක දැවැන්ත ජයක් අක්තරගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ඕවර 13.4 ක් අවසානයේ ලකුණු 66 කට සීමා කිරීමමට මුම්බායි ඉන්දියන්ස් පන්දුයවන්නෝ සමත් වූහ.

එහිදී හර්බජාන් සිං සහ කරන් ශර්මා කඩුලු 3 බැගින් දවාගනිමින් දිල්ලි ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ලකුණු 5 කට කඩුලු 2 ක් දවාගත් ලසිත් මාලිංග දිල්ලි කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සඳහා ඔවුන්ට අනිගි සහායක් දුන්නේය.

දිල්ලි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කරුන් නායර් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 21 ක් රැස්කළ අතර පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙරම දැවී යෑම දිල්ලි කණ්ඩායමට විශාල පාඩුවක් විය.

කාසියේ වාසිය දිනූ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නායක සාහිර් ඛාන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 212 ක් ලබාගත්තේය.

එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ කරන් පොලාඞ් පන්දු 35 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 63 ක් ලබා මුම්බායි ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.  

හර්දික් පාණ්ඩ්‍යා (නොදැවී 29) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 59 ක වේගවත් නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් මුම්බායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙනයෑමටද පොලාඞ් සමත් විය. පන්දු 14 කදී වාර්තා වූ පාණ්ඩ්‍යාගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහරකින් සමන්විත විය.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලෙන්ඞ්ල් සිමන්ස් (66) සහ පාර්තිව් පටේල් (25) මුම්බායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 43 කදී වාර්තා වූ සිමන්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 22 කදී වාර්තා වූ පටේල්ගේ ඉනිමට හතරේ පහර 3 ක් අන්තර්ගත විය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 212
(ලෙන්ඞ්ල් සිමන්ස් 66, පාර්තිව් පටේල් 25, කරන් පොලාඞ් නොදැවී 63, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 29)

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම – ඕවර 13.4 කදී සියලු දෙනා දැවී 66
(කරුන් නායර් 21, කරන් ශර්මා 11/3, හර්බජාන් සිං 22/3, ලසිත් මාලිංග 5/2)

-036