කොල්කටා පිලට කඩුලු 7 ක ජයක්

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා හිදී පැවැති 32 වන තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල අද (28 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් ඕවර 16.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත්විය. දෙවැනි කඩුල්ල සදහා පන්දු 66 කදී ලකුණු 108 ක් සම්බන්ධතාවයක් ගොඩනැගූ ගෞතම් ගාම්බීර් සහ රොබින් උතප්පා කොල්කටා නයිට් රයිඩර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියෝය.

ගෞතම් ගාම්බීර් පන්දු 52 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 71 ක් සහ රොබින් උතප්පා පන්දු 33 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 59 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
පළමුව පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු හයක් දැවී ලකුණු 160 ක් රැස්කිරීමට සමත්විය.

දෙවැනි කඩුල්ල සදහා පන්දු 55 කදී ලකුණු 75 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සංජු සැම්සන් සහ ශ්‍රියාස් අයියර් සමත්වූහ. පන්දු 38 කට මුහුණදුන් සංජු සැම්සන් හයේ පහර තුනක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 60 ක් රැස්කිරීමට සමත්විය.

කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ වෙනස්කම් දෙකක් සිදුකරමින් ඩැරන් බ්‍රාවෝ සහ පියුස් චව්ලා වෙනුවට නේතන් කූල්ටර්නයිල් සහ ශෙල්ඩන් ජැක්සන් කණ්ඩායමට කැඳවා ඇති අතර දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ එක් වෙනස්කමක් සිදුකරමින් ආදිත්‍ය තාරේ වෙනුවට අන්කිට් බව්නි කණ්ඩායමට කැඳවා ඇත.
කාසියේ වාසිය ලැබූ කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ නායක ගෞතම් ගාම්බීර් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.


දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් – ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 160
(සංජු සැම්සන් 60, ශ්‍රියාස් අයියර් 47, නේතන් කූල්ටර්නයිල් 34/3)

කොල්කටා නයිට් රයිඩර්ස් – ඕවර 16.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 161
(ගෞතම් ගාම්බීර් නොදැවී 71, රොබින් උතප්පා 59, කගිසෝ රබාඩා 20/2)

 

ගාල්ලට ලකුණු 221 ක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 221 ජයක් හිමිකරගත් ගාල්ල කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (27 වැනිදා) සමත්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 363 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට ඕවර 31.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 141 ක් පමණි. ගාල්ල කණ්ඩායමේ පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයකට දඹුල්ල පිලේ පිතිකරුවන් ලක්වුවද තරමක් දුරට සාර්ථක වන්නට අශාන් ප්‍රියංජන්ට හැකිවිය. පන්දු 67 කට මුහුණදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට අශාන් ප්‍රියංජන් සමත්විය.


චතුරංග ද සිල්වා ලකුණු 20 කට කඩුලු තුනක්ද අකිල ධනංජය ලකුණු 23 කට කඩුලු දෙකක් සහ දසුන් ශානක ලකුණු 24 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 362 ක් රැස්කිරීමට සමත්විය. විශිෂ්ට පිතිහරඹයක නිරතවූ සධීර සමරවික්‍රම පන්දු 104 කදී ලකුණු 120 ක් රැස්කිරීමට සමත්වූ අතර ඔහුගේ ඉනිම හයේ පහර දෙකකින් සහ හතරේ පහර 10 කින් අලංකාර විය.


සම්මු අශාන් පන්දු 48 කදි හයේ පහර තුනක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 52 ක් රැස්කළ අතර වේගවත් පිතිහරඹයක නිරතවූ දසුන් ශානක පන්දු 27 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 49 ක් සහ සීකුගේ ප්‍රසන්න පන්දු 17 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 36 ක් රැස්කරමින් ගාල්ල කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.


අසිත ප්‍රනාන්දු ලකුණු 62 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුද ගාල්ල කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කරමින් අඩු ලකුණු සංඛ්‍යාවකට ඔවුන් සීමා කිරීමට අපොහොසත් විය.

 

ගාල්ල කණ්ඩායම – ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 362
(සධීර සමරවික්‍රම 120, දිමුත් කරුණාරත්න 22, මිනෝද් භානුක 25, සම්මු අශාන් 52, දසුන් ශානක නොදැවී 49, සීකුගේ ප්‍රසන්න 36, අසිත ප්‍රනාන්දු 62/4)

දඹුල්ල කණ්ඩායම – ඕවර 31.3 කදී සියලුදෙනා දැවී ලකුණු 141    
(කුසල් මෙන්ඩිස් 23, අශාන් ප්‍රියංජන් නොදැවී 50, චතුරංග ද සිල්වා 20/3, අකිල ධනංජය 23/2, දසුන් ශානක 24/2)

 

 

ඉන්දියාව හිතුවක්කාර තීන්දුවකට සැරසෙයි

ජූනි මස 1 වැනිදා සිට එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන තරගාවලියට ඉන්දියාවේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පවතින බවට වාර්තා වෙයි- ශූරයින්ගේ කුසලාන සඳහා කණ්ඩායම නම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් දෙන ලද අවසන් දිනය අප්‍රේල් 25 වැනිදා වූවද එම දිනයට පෙර ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තම කණ්ඩායම නම් කර නොතිබිණ.


අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මහ බලවතුන් තිදෙනා වන ඕස්ටේ්‍රලියාව, එංගලන්තය සහ ඉන්දියායට හිමි වැඩි වාසි කප්පාදු කරමින් සියල්ලන්ටම සාමානව සැලකිය යුතු යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකත්වය තීන්දු කළේය. මෙම රැස්වීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් මූලස්ථානයේදී පැවැත්විණ.


අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම වෙනස්කම් හේතුවෙන් ශුරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉන්දියාව ඉවත් වනු ඇතැයිද ඇතැම්හු මත පළකරති.


“සියලු විකල්ප විවෘතයි- මීට පෙර අත්සන් කරන ලද සාමාජික  සහභාගීත්ව ගිවිසුම ඔවුන් මූලිකවම හෑල්ලුවට ලක්කරලා තියෙනවා” යැයි ඩුබායී හි ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පී.ටී.අයි. පුවත් සේවයට පැවසීය-


දැනට උද්ගත වී ඇත් තත්ත්වය හමුවේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සමලේකම්වරයා වහාම ඉන්දියාවට යා යුතුය. අනතුරුව හදිසි වීශේෂ මහ සභා රැස්වීමක් කැඳවා වෙනස්කම් පිළිබඳව මහ සභාව දැනුවත් කරනු ඇත. ඉන්පසු සුදුසු තීරණයක් ගැනීම මහ සභාවේ අදහස අනුව සිදුවනු ඇත.


“කොහොම වුණත් ඒ සම්බන්ධයෙන් දැන්ම ස්ථිරව යමක් කියන්න බෑ. මේ තරගාවලියට තවත් මාසයක පමණ කාලයක් තියෙනවා. ඒත් කිසිම දෙයක් වෙන්නේ නෑ කියන්න බෑ…..අපි ඉඳලා බලමු” යයි ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරියෙක් ඒ.එෆ්.පී. පුවත් සේවයට පැවසීය.


“අපට දැන් වුණත් කණ්ඩායම නම් කරන්න පුළුවන්. සතියකින් හෝ දෙකකින් වුණත් පුළුවන්. මොකද අපේ මනසේ කණ්ඩායම ඉන්නවා”


“මේක මේ කණ්ඩායම නම් කිරීමේ ප්‍රශ්නයක් නෙමේ. කණ්ඩායමට නිල අනුමැතිය දීම පිළිබඳ තත්ත්වයක්. කොහොම වුණත් අපේ කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පිළිගනීවි කියලා මා බලාපොරොත්තු වෙනවා” යයිද නම හෙළිකිරීමට අකමැතිවූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීයා පැවසීය.


අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම වෙනස්කම් අනුව ඉදිරි වසර 8 ක කාලයේදී ඉන්දියාවට හිමිවිය යුතු මුදලින් ඩොලර් මිලියන 277 ක් අඩුවන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කළේය. ශූරයන්ගේ කුෂලාන තරගාවලියට කණ්ඩායම නම් කිරීමේ අවසන් දිනය ලෙෂ මේ මස 25 වැනිදා නියම කර තිබුණද ඒ සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමේ අවසන් තීරණය ලැබෙන දිනය තෙක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කල්බලමින් සිටියේය.

ඇන්ඩ්‍ර්ව් ටේ – ඒරන් ෆින්ච් ගුජරාට් පිලට ජය ගෙනෙති

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ බැංගලෝර් හිදී පැවැති 31 වන තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනිමට ගුජරාට් ලයන්ස් පිල අද (27 වැනිදා) සමත්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ලයන්ස් පිල ඕවර 13.5 කදී කඩුලු 3 ක් දැවී එම ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.


විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ඒරන් ෆින්ච් පන්දු 34 කදී හයේ පහර හයක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 72 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර තෙවැනි කඩුල්ල සදහා සුරේෂ් රයිනා සමගින් එක්ව පන්දු 48 කදී ලකුණු 92 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්විය.


පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ඕවර 20 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 134 ක් පමණි. ගුජරාට් ලයන්ස් පිලේ පන්දු යවන්නෝ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ පිතිකරුවන්ට සාර්ථක විමට අවස්ථාවක් ලබානොදුන්නද තරමක් දුරට සාර්ථක පිතිහරඹයක නිරතවීමට කේදර් ජාදව් සහ පවන් නෙග සමත්වූහ.


කේදර් ජාදව් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 31 ක් සහ පවන් නෙගි පන්දු 19 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 32 ක් රැස්කිරීමට සමත්වූහ.


විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ඇන්ඞ්්‍රව් ටේ ඕවර හතරක් යවමින් ලකුණු 12 කට කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


කාසියේ වාසිය ලැබූ ගුජරාට් ලයන්ස් පිලේ නායක සුරේෂ් රයිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

 

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – ඕවර 20 කදී සියලුදෙනා දැවී ලකුණු 134
(කේදර් ජාදව් 31, පවන් නෙගී 32, ඇන්ඞ්්‍රව් ටේ 12/3, රවින්ද්‍ර ජදේජා 28/2)

ගුජරාට් ලයන්ස් – ඕවර 13.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 135
(සුරේෂ් රයිනා නොදැවී 34, ඒරන් ෆින්ච් 72, සැමුවෙල් බද්‍රි 29/2)

 

කොළඹට කඩුලු 4 ක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී මහනුවර කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකරගත් කොළඹ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (26 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායම ඕවර 25.5 කදී කඩුලු හයක් දැවී එම ඉලක්කය පසුකිරීමට සමත්විය. ලකුණු 47 කට කඩුලු 5 ක් දැවී අසීරු තත්වයක සිටි කොළඹ කණ්ඩායම් ඉනිම නැවත ගොඩනගමින් හයවැනි කඩුල්ල සදහා පන්දු 85 කදී ලකුණු 68 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ශෙහාන් ජයසූරිය (නොදැවී 30) සහ වනිඳු හසරංග (29) සමත්වූහ.

අමිල අපෝන්සු  සහ සචිත් පතිරණ කඩුලු දෙක බැගින් දවාගැනිමට සමත්වුහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායමට ඕවර 31 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136 ක් පමණි. මහනුවර කණ්ඩායමේ පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් ලබානොදීමට කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නෝ වගබලාගත්හ. වමතින් වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු දැඩි පහරදීමකට ලක්වුවද ඕවර අටක් යවමින් ලකුණු 61 කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය. පිටදඟ පන්දු යවන ශෙහාන් ජයසූරිය ඕවර හතක් යවමින් ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

ලකුණු 96 කට කඩුලු හයක් දැවී තිබියදී අවසන් කඩුල්ල සදහා පන්දු 42 කදි ලකුණු 40 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට අමිල අපෝන්සු (නොදැවී 22) සහ නුවන් ප්‍රදීප් (14) සමත්වූහ.


මහනුවර කණ්ඩායම – ඕවර 31 කදී සියලුදෙනා දැවී ලකුණු 136
(මහේල උඩවත්ත 22, අමිල අපෝන්සු නොදැවී 22, විශ්ව ප්‍රනාන්දු 61/4, ශෙහාන් ජයසූරිය 14/3, වනිඳු හසරංග 19/2)

කොළඹ කණ්ඩායම – ඕවර 25.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 139    
(කිත්රුවන් විතානගේ 26, ශෙහාන් ජයසූරිය නොදැවී 30, වනිඳු හසරංග 29, සචිත්‍ර සේනානායක නොදැවී 22, අමිල අපෝන්සු  34/2, සචිත් පතිරණ 35/2)

 

ගාම්බීර් – උතප්පා කොල්කටා පිලට ජය ගෙනෙති

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ පූනේ හිදී පැවැති 30 වන තරගයේදී රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල අද (26 වැනිදා) සමත්විය. ජයග්‍රහණය සදහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 18.1 කදී කඩුලු 3 ක් දැවී ඉලක්කය පසු කිරීමට සමත්විය.


පළමු කඩුල්ල ලෙස ප්‍රහාරාත්මක පිතිකරු සුනිල් නරේන් අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුව ලකුණු 16 කට දැවියාමෙන් අනතුරුව ගෞතම් ගාම්බීර් සමගින් එක්වූ රොබින් උතප්පා දෙවැනි කඩුල්ල සදහා පන්දු 85 කදී ලකුණු 158 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.


පන්දු 26 කදි අර්ධ ශතකය වාර්ථා කළ රොබින් උතප්පා ජයග්‍රහණයට ලකුණු 5 ක් තිබියදී ජෙයිදේව් උනද්කට් පන්දුවක් හමුවේ රාහුල් ත්‍රීපති අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 87 කට දැවී ගියේය. රොබින් උතප්පා දැවී යන විටදී පන්දු 47 කට මුහුණදී හයේ පහර හයක් සහ හතරේ පහර හතකින් ඉනිම අලංකාර කිරීමට සමත්විය. ගෞතම් ගාම්බීර් පන්දු 46 කදි හයේ පහරක් සහ හතරේ පහර හයක් සමගින් ලකුණු 62 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්විය.


පළමු පන්දුවට පහරදුන් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු හතරක් දැවී ලකුණු 182 ක් රැස්කිරීමට සමත්විය.


පළමු කඩුල්ල සදහා පන්දු 47 කදී ලකුණු 65 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට අජින්ක්‍යා රහනේ (46) සහ රාහුල් ත්‍රීපති (38) සමත්වූහ. අජින්ක්‍යා රහනේ පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 46 ක් රැස්කළ අතර නායක ස්ටීවන් ස්මිත් පන්දු 37 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 51 න් රැස්කළේය.


නේතන් කූල්ටර්නයිල් සහ සූර්යකුමාර් යාදව් වෙනුවට ඩැරන් බ්‍රාවෝ සහ පියුස් චව්ලා කොල්කටා නයිට් රයිඩර්ස් පිලට කැඳවා තිබූ අතර බෙන් ස්ටෝක්ස් වෙනුවට ෆෆ් ඩූප්ලේසී රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලට කැඳවා තිබුණේය.


කාසියේ වාසිය ලැබූ කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ නායක ගෞතම් ගාම්බීර් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

 

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් – ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 182
(අජින්ක්‍යා රහනේ 46, රාහුල් ත්‍රීපති 38, ස්ටීවන් ස්මිත් නොදැවී 51, මහේන්ද්‍ර සිං දෝණි 23, කුල්දීප් යාදව් 31/2)

කොල්කටා නයිට් රයිඩර්ස් – ඕවර 18.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 184
(ගෞතම් ගාම්බීර් 62, රොබින් උතප්පා 87)

 

කොදෙව්වෝ වර්ෂාවට ආවඩති

ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා උද්‍යාන ක්‍රිකට් ක්‍රීඩාංගණය තෙතබරිත කරමින් සංචාරක පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය එහෙම පිටින්ම වාගේ නාස්ති කළේ වර්ෂාවය. එබැවින් මුල් දින කිහිපයේදිම සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සිටියේ කාලගුණයට දොස් පවරමිනි.

එහෙත් දැන් හිටි හැටියේම මහත් කැමැත්තකින්  වර්ෂාව බලාපොරොත්තු වන තැනට සත්කාරකයන් ඇද වැටී ඇත්තේ අනපේක්ෂිත ලෙස දඟ කැවෙන්නට පටන් ගෙන ඇති යසීර් ෂාගේ පන්දුව තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ  කොදෙව් පිලේ දෙවැනි ඉනිමේ පළමු කඩුලු 4ම බිඳ දමා ඇති බැවිනි.

තරගයේ සිවුවැනි දිනයේ තරගයේ මුලු ගෞරවයත්, පාලනයත් අතට ගත් සංචාරකයන් සිය පළමු ඉනිමට ලකුණු 407 ක්ම රැස් කළා මදිවට හවස්භාගයේදී කොදෙව් දෙවැනි ඉනිමේ කඩුලු 4 ම බිඳ දමා තවමත් ලකුණු 28 ක් ඉදිරියෙන් පසුවෙති. එබැවින් අද දිනය දෙපිලටම තීරණාත්මක එකකි.

පෙරේදා කඩුලු 4ක් දැවී ලකුණු 201 ක් ලබා සිටි පාකිස්තානු පිල ඊයේ සිය ඉනිම ලකුණු 400න් ඔබ්බට ඇදගෙන ගියේ නායක මිස්බා උල් හක්ය. ඔහු ඊයේ ඉනිම පුරාම පිත්ත හසුරුවමින් නොදැවී සිටියේ ඉතා කණගාටුදායක ලෙස ශතකයට එක් ලකුණක් අඩුවී තිබියදීය. අනෙක් අන්තයේ සිටි අන්තිම පිතිකරු මොහොමඞ් අබ්බාස් කඩුල්ල මුවා කිරීමේ වරදට රොස්ටන් චේස්ට හසුවීම තවත් මොහොතක් පමා වූවා නම් මේ තරගාවලියෙන් පසුව ටෙස්ට් පිටියට සමුදීමට කල්පනා කරන මිස්බාට අමතක නොවන ශතකයකට හිමිකම් කියන්නට ඉඩ තිබිණි.

කෙසේවුවත් පාකිස්තානු පිලේ නායකයා ආපසු ක්‍රීඩාගාරයට හැරී ගියේ ටෙස්ට් ඉනිමක ලකුණු 99 දී නොදැවී සිටි පළමු පාකිස්තානුවා විමේ වාර්තාවත් කරපින්නාගෙනය. පන්දු 223 කට මුහුණ දුන් මිස්බාගේ ඉනිමට හතරේ පහර 5 කුත්, හයේ පහර 3 කුත් ඇතුළත් විය. ඉනිමේ මැද හරියේදී ඔහුට අනගි සහයක් දුන් කඩුලු රකින පිතිකරු සර්ෆ්‍රාස් අහමඞ් 6 වැනි කඩුල්ලට ලකුණු 98ක් එක් කළේ අර්ධ ශතකයකට හිමිකම් කියමිනි. මුල් දින කිහිපයේදී වර්ෂාව නිසා ඇල්මැරුණු ස්වරූපයක් ගත් මේ තරගයට ඊයේ පස්වරුවේ ජීවය කැව්වේ යසීර් ෂාය.

පාකිස්තානයට වඩා ලකුණු 121 ක් පසුපසින් සිටිමින් පස්වරු තේ පානයෙන් පසුව ඊයේ ඉනිම ආරම්භ කළ කොදෙව්වන්ගේ පළමු කඩුල්ල ලකුණු 22 කදී බිඳ වැටුණේ ක්‍රෙග් බ්‍රැත්වේට්ගේ දැවීයාමත් සමගිනි. අනතුරුව කිරන් පවෙල් සහ ශිම්රොන් හෙට්මීර් එක්ව කොදෙව් ඉනිම ගොඩනැගූ අතර යසීර් ෂා ගේ මැජික් පන්දුව ක්‍රියාත්මක වන්නට වූයේ මුලු ලකුණු සංඛ්‍යාව 72 ක්ව තිබියදීය. ඉන් පසුව ඔහු ලකුණු 21ක් ඇතුළත පිතිකරුවන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැව්වේය.

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම – ඕවර 95කදී සියලුදෙනා දැවී ලකුණු 286

පාකිස්තානය පළමු ඉනිම – ඕවර 138.4කදී සියලුදෙනා දැවී ලකුණු 407
(අසාර් අලි 15, අහමඞ් ශෙහ්සාඞ් 31, බාබර් අසාම් 72, යූනිස් ඛාන් 58, මිස්බා උල් හක් නොදැවී 99, අසාඞ් ශෆීක් 22, සර්ෆ්‍රාස් අහමඞ් 54, ෂැනොන් ගේබි්‍රයෙල් 92/3, අල්සාරී ජෝශප් 71/3)

බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම – ඕවර 28කදී කඩුලු 4ක් දැවී ලකුණු 93
(කිරන් පොලාඞ් 49, ශිම්රොන් හෙට්මිර් 20, යසීර් ෂා 33/4)

-077

 

පූනේ සුපර්ජයන්ට්ස් පිලට ලකුණු 3 ක තියුණු ජයක්

අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ 10 වැනි අදියරේ 28 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (24 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් අත්කර ගැනීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 157 ක් පමණි. වේගවත් පිතිහරඹයක නිරත වූ නායක රෝහිත් ශර්මා පන්දු 39 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 58 ක් රැස්කිරීමට සමත් වුවද, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔහු අපොහොසත් විය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ බෙන් ස්ටොක්ස් ලකුණු 21 කට කඩුලු 2 ක් දවාගනිමින් සහ මුම්බායි ඉනිමේ අවසන් භාගයේදී විශිෂ්ඨ උඩ පන්දුවක් රැකගනිමින් තරගයේ වීරයා බවට පත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 160 ක් ලබාගත් අතර සුපර්ජයන්ට්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රාහුල් ත්‍රිපාති පන්දු 31 කදී ලකුණු 45 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

අජින්ක්‍යා රහනේ (38) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රාහුල් ත්‍රිපාති, සුපර්ජයන්ට්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. පන්දු 32 කදී වාර්තා වූ අජින්ක්‍යා රහෙන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

ජස්ප්‍රීත් බුම්රා සහ කරන් ශර්මා කඩුලු 2 බැගින් දවාගනිමින් සුපර්ජයන්ට්ස් කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් වූහ.

කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල – ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 160
(අජින්ක්‍යා රහනේ 38, රාහුල් ත්‍රිපාති 45, ස්ටීවන් ස්මිත් 17, බෙන් ස්ටොක්ස් 17, මනෝජ් තිවාරි 22, ජස්ප්‍රීත් බුම්රා 29/2, කරන් ශර්මා 39/2)

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 157
(පාර්තිව් පටේල් 33, ජොස් බට්ලර් 17, රෝහිත් ෂර්මා 58, හර්දික් පාණ්ඩ්‍යා 13, බෙන් ස්ටොක්ස්, 21/2, ජයදේව් උනාඞ්කට් 40/2)

-036

ලසිත් මාලිංගගේ සහභාගිත්වය වැට උඩ


එංගලන්තයේදී ලබන ජූනි මස පැවැත්වෙන අයි.සී.සී. ‘ශූරයන්ගේ කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ‘ශූරයන්ගේ කුසලාන’ තරගවලට සහභාගි වීමේ තීරණය පුහුණු තරගවලදී ඔහු පන්දු යවන ආකාරය අනුව රඳා පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. එම තරග වලදී ලසිත් මාලිංග ඕවර 10 යවන ආකරය අනුව ‘ශූරයන්ගේ කුසලාන’ තරගවලට සහභාගි වන්නේද නැද්ද යන්න තීරණය වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

 

ආබාධය සුවවීමෙන් පසුව නැවත සංචිතයට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් නැවතත් එක්දින පිලේ නායකත්වයට පත්කර ඇති අතර උප නායකත්වය උපුල් තරංගට හිමිවී තිබේ. අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටි ඇන්ජලෝ මැතිව්ස් තරගාවලිය අතහැර පෙරේදා රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය.  

නිත්‍ය උප නායකත්වයට පත්කර සිටි දිනේෂ් චන්දිමාල් පසුගිය සංචාරවලදී අසාර්ථක වීම හේතුවෙන් සාමාන්‍ය ක්‍රීඩකයකු ලෙස සංචිතයට ඇතුළත් කර තිබේ.

අයි.සී.සී. ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (24) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී සුමතිපාල මහතා වැඩි දුරටත් මාලිංග සම්බන්ධයෙන් මෙසේ පැවසීය.  

“ඔහුගේ ශාරීරික යෝග්‍යතාවයේ ප්‍රශ්නයක් නෑ. ඒත් ඔහු ඕවර 10 ක් යවන්න හොඳ තත්ත්වයක නෑ. ඔහු ඕවර තුනක් හෝ හතරක් යවන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. ඔහු අයි.පී.එල්. තරගාවලියට පිටත්ව යෑමට පෙර කිව්වා ඕවර 10 යවන්න තරම් ඔහු හොඳ තත්ත්වයේ ඉන්නවා කියලා”

“ඔහු මේ වන විට ඕවර 10 ක් යැවීමේ තත්ත්වයට පත්වෙමින් ඉන්නවා. අයි.පී.එල්. තරගාවලිය තුළ ඔහුට පුහුණුවීම්වලට හොඳ පරිසරයක් තිබෙනවා. ඒ දෙස අපි බලාගෙන ඉන්නවා”

“අපි බලාගෙන ඉන්නවා මාලිංගට තරග පුහුණුව ලබා දෙන්න. පුහුණු තරග හතරක් තියෙනවා.

ස්කොට්ලන්තයට එරෙහිව පුහුණු තරග දෙකක්, නවසීලන්තයට සහ ඕස්ටේ්‍රලියාවට එරෙහිව අපි පුහුණු තරගවලට සහභාගි වෙනවා. මාලිංගට ඕවර 10 දාන්න මේ පුහුණු තරග හතර ඉතාමත් වැදගත්”

“මාලිංගගේ ශාරීරික යෝගයතාවයේ ප්‍රශ්නයක් නෑ. පුහුණු තරගවලදී ඔහුගේ තරග ශාරීරික යෝග්‍යතාව පිළිබඳව බලන්න ඕනේ. මාලිංග කියන්නේ ඉතාමත් වැඳගත් ක්‍රීඩකයෙක්. අපි මාලිංගගේ තරග තත්ත්වය පිළිබඳව බලාගෙන ඉන්නවා”

“ඔහු අනිවාර්යෙන් සංචිතයත් සමඟ ඉන්නවා. ප්‍රශ්නය තියෙන්නේ ඔහුගේ තරග යෝග්‍යතාව පමණයි. තරග හතක් ක්‍රීඩා කරන්න තියෙනවා. අපි ඔහුව කළමනාකරණය කරමින් සිටිනවා” යැයි සුමතිපාල මහතා වැඩි දුරටත් පැවසීය.

 ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසුවේ ලසිත් මාලිංග යනු අමුතුවෙන් දස්කම් පරීක්‍ෂා කිරීමේ අවශ්‍යතාවක් ඇති ක්‍රීඩකයකු නොවන බවයි.

“මාලිංග කියන්නේ ගොඩක් අත්දැකීම් සහ ලොකු වටිනාමක් ඇති ක්‍රීඩකයෙක්. මාලිංග බලාපොරොත්තුවෙන් ඉන්නවා එක්දින තරගාවලියකට සහභාගි වෙන්න. ඔහු ඒ බව අපිට ලිඛිතව දැනුම්දීලා තියෙනවා”
“මාලිංග දැන් 100% ක්ම හොඳ තත්ත්වයේ ඉන්නවා. මම හිතනවා මාලිංග මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනී කියලා” යැයි ජයසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ මෙම තරගාවලිය සඳහා තමන්ට ශ්‍රී ලංකාවේ සිටින හොඳම කණ්ඩායම ලැබී ඇති බවයි.

“අපි මේ තරගාවලිය ලංකාවේදීම ආරම්භ කරනවා. ඉදිරි සති දෙක තුන ඉතාම වැඳගත්. එංගලන්තයට අපි කලින් යන නිසා එහි ගත කරන දින 12 හෝ 14 ඉතාමත් වැඳගත්. අපි මීට පෙරත් එංගලන්තයට කලින් ගිහින් තමයි තරග ජය ගත්තේ”

“අයි.සී.සී. කුසලානයක් ලංකාවට ගෙන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

මෙම තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් සංචිතයට නිත්‍ය පිට දඟ පන්දු යවනන්නකු සහ නිත්‍ය වමතින් දඟ පන්දු යවනන්කු නොමැතිවීම පිළිබඳව කළ විමසුමේදී තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා මෙසේ පැවසීය.

“මෙය මගේ තේරීම් කමිටු සේවයේ තෝරාගත් වඩාත් අමාරුම කණ්ඩායමයි. දීර්ඝතම සාකච්ඡාවක් කරලයි සංචිතය නම් කළේය”

“මෙහිදී පිට දඟ පන්දු යවන්නාගේ කාර්ය අසේල ගුණරත්නට බාරදීලා තියෙනවා. පා දඟ පන්දු යවන්නා හැටියට සීකුගේ කටයුතු කරනවා. අපි දැක්කා පසුගිය සංචාරවලදී සඳකැන් ඉනිම මැදදී කඩුලු දවාගත්තා. ඒ නිසයි ඔහුව සංචිතයට ඇතුළත් කළේ”

මෙම සංචාරය සඳහා 17 දෙනකුගෙන් යුත් සංචිතයක් සහභාගි වන අතර ඉන් පළමු 15 දෙනා පමණක් ‘ශූරයන්ගේ කුසලාන’ තරගවලියේ නිල සංචිතයට ඇතුළත් කෙරේ. පිට දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා සහ ඉදිරි පෙළ පිතිකරුවකු වන ධනුෂ්ක ගුණතිලක කිසියම් ක්‍රීඩකයකු ආබාධයකට ලක්වුවහොත් කණ්ඩායමට ඇතුළත් කිරීම සඳහා අතිරේක ක්‍රීඩකයන් ලෙස  සංචිතයට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා සංචිතය මැයි මස 2 වැනිදා පුහුණුවීම් ආරම්භ කරන අතර 9 වැනිදා විශේෂ පුහුණු සැසියක් සඳහා පල්ලෙකැළේ බලා පිටත්ව යෑමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 17 වැනිදා එංගලන්තය බලා පිටත්ව යයි.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පුහුණු තරග දෙක මැයි මස 21 සහ 23 දෙදින කෙන්ට්හිදී පැවැත්වේ. ඕස්ටේ්‍රලියාවට එරෙහිව පුහුණු තරගය මැයි මස 26 වැනිදා ද, නවසීලන්තයට එරෙහිව පුහුණු තරගය මැයි මස 30 වැනිදා ද, පැවැත්වීමට නියමිතය.  


ශූරයන්ගේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ලක්‍ෂාන් සඳකැන් සහ සීකුගේ ප්‍රසන්න
සංචාරයට සහභාගි වන අතිරේක ක්‍රීඩකයෝ: ඩිල්රුවන් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක

 

පාකිස්තානය තවමත් ලකුණු 85 ක් පසුපසින්

පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10,000 සීමාව සම්පුර්ණ කළ පළමු පිතිකරු ලෙස වාර්තාපොතට එක්වූ යූනිස් ඛාන්ගේ සහ බාබර් අසාම් අගනා ශතක සම්බන්ධතාව ගොඩනැංවූහ. මෙම සම්බන්ධතාව නිසා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා උද්‍යාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමාවනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් කඩුලු 4 ක් දැවී ලකුණු 201ක් ලැබූ පාකිස්තාන කණ්ඩායම කිසියම් ස්ථාවර තත්ත්වයකට ඉනිම ගොඩනංවා ගත්තේය.


වර්ෂාවෙන් බාධා පැමිණුන මෙම තරගයේ දින තුනක් නිමා වූවද තවමත් දෙපිලම සිය මුල් ඉනිම අහවර කර නැත. පාකිස්තානයද කොදෙව් පළමු ඉනිමට වඩා දැන් සිටින්නේ ලකුණු 85ක් පමණක් පසුපසිනි. මෙසේ හෙයින් මෙම තරගයේ විසඳුමක් නම් තවමත් පෙනෙන තෙක් මානයේ නැත. 

වසර 7කට පසුව සිය පළමු ටෙස්ට් කඩුලු 5 සම්පූර්ණ කළ මොහොමඞ් අමීර්ට 6 වැනි කඩුල්ලත් අත්කර දෙමින් කොදෙව් පිලේ අවසන් පිතිකරු ෂැනොන් ගේබ්‍රියල් දැවීයද්දී කොදෙව් පළමු ඉනිම ඊයේ උදෑසන ඕවර 3 ක් ඇතුළත ලකුණු 286 කට නිමාවිය.  

අනතුරුව පාකිස්තානු ඉනිමේ දී මනා පාලනයකින් යුතුව පන්දු යැවූ කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සහ අල්සාරී ජෝශප් ආරම්භක පිතිකරු යුගලය මෙල්ල කිරීමට සමත්වූහ. මුලු ලකුණු සංඛ්‍යාව 23ක්ව තිබියදී අසාර් අලිත්, ලකුණු 54 දී අහමඞ් ශෙහ්සාඞ්ගෙත් දැවීයාමෙන් පාකිස්තානුවෝ ඇද වැටුණේ අනපේක්ෂිත තත්ත්වයකටය. එහෙත් ඉන් පසුව එක්වූ බාබර් අසාම් සහ සිය අවසන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන ජ්‍යෙෂ්ඨ පිතිකරු යූනිස් ඛාන් ඉනිම මැනවින් පිළිසකර කළහ. 

දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 131 ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූ අතර යූනිස් ඛාන්ගේ ටෙස්ට් තරග දිවියේ ලකුණු 10,000 වාර්තා වූයේ ඒ අතරතුරදීය. ටෙස්ට් ලකුණු 10,000 ක් සම්පූර්ණ කළ පළමු පාකිස්තානුවා බවට පත්වූ යූනිස් ඛාන් එවැනි දස්කමක් කළ ලොව 13 වැනි පිතිකරු ලෙසත් වාර්තාපොතට එක්විය. 

උදෑසන සිට හවස්වන තුරුම කොදෙව් පන්දු යවන්නන් සහ පන්දු රකින්න් දැඩි වෙහෙසට පත් කළ අසාම් සහ යූනිස් ඛාන් අර්ධ ශතකය බැගින් රැස් කරමින් පාකිස්තානු ඉනිම ගොඩ නැගූ අතර දිනයේ ඉතිරි ඕවර කිහිපය පුරාත් සිය කඩුලු ආරක්ෂා කරගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවූහ. එහෙත් පාකිස්තානුවන්ගේ අරමුණ බිඳ දැමූ ෂැනොන් ගේබ්‍රියෙල් මේ දෙදෙනාවම පිට පිට ඕවර 2කදී දවාලමින් කොදෙව්වන්ගේ වෙහෙස තරමක් සංසිඳවිය. 


බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම – ඕවර 95කදී සියලුදෙනා දැවී ලකුණු 286යි. 
(කිරන් පවෙල් 33, රොස්ටන් චේස් 63, ශේන් ඩවුරිච් 56, ජේසන් හෝල්ඩර් නොදැවී 57, දේවේන්ද්‍ර බිෂූ 28, මොහොමඞ් අමීර් 44/6, යසීර් ෂා 91/2)

පාකිස්තානය පළමු ඉනිම – ඕවර 78.2කදී කඩුලු 4ක් දැවී ලකුණු 201යි.
(අසාර් අලි 15, අහමඞ් ශෙහ්සාඞ් 31, බාබර් අසාම් 72, යූනිස් ඛාන් 58, ෂැනොන් ගේබි්‍රයෙල් 37/2, අල්සාරී ජෝශප් 35/1, ජේසන් හෝල්ඩර් 40/1)

 

- 077