ලෝක ශූරයන්ට 3-0 ක සම්පූර්ණ සුද්දයක්

විස්සයි20 ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් පිල සිය දඟපන්දුවෙන් අන්ද මන්ද කළ වමතින් දඟපන්දු යවන ඉමාඞ් වසීම් අබුඩාබි නුවර ෂේක් සෙයිඞ් ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි විස්සයි20 තරගයෙන් කඩුලු 8 ක ජයක් පාකිස්තානයට අත්කර දූන්නේය. ඒ සමගම තරග 3 කින් සමන්විත මේ තරගාවලිය 3-0 කින් ජයගනිමින් විස්සයි:20 ලෝක ශූරයන්ට සම්පූර්ණ සුද්ධයක් දීමට පාකිස්තානුවෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ පාකිස්තානු නායක සර්ෆ්‍රාස් අහමඞ් සිය පන්දු යවන්නන්ගේ තරම ගැන ඇති අවබෝධය මත පළමුව පන්දුවට පහරදීම කොදෙව් පිලට පිරිනැමුවේය. විස්සයි20 ලෝක ශූරයන් වුණත් ඒ වනවිටත් 2-0 කින් විස්සයි20 තරගාවලිය පරාජයට පත්ව සිටි ප්‍රතිවාදීන් බිමට සමතලා කරදැමීමේ පොටක් පාදා ගැනීමට පාකිස්තානු නායකයාට එය හොඳටම ප්‍රමාණවත් විය.

ආරම්භක පන්දු යවන්නා ලෙස නැවතත් පන්දුව අතට ගත් ඉමාඞ් වසීම් සිය දෙවැනි ඕවරයේදීම ජොන්සන් චාල්ස්ගේ කඩුල්ල බිඳ දැමූ අතර ඊළඟ පන්දුවෙන් චැඞ්වික් වෝල්ටන්ගෙත් කඩුල්ල බිඳ දැමුවේ කොදෙව්වන්ගේ බලාපොරොත්තු වැලිකතරේ කුණාටුවට වීසිකර දමමිනි. මුලු ලකුණු  සංඛ්‍යාව 17 දී ඇන්ඩි්‍ර ෆ්ලෙචර් දුවද්දී දැවීගිය අතර වසීම්ට තුන්වැනි කඩුල්ලත් හිමිකර දෙමින් ඞ්වේන් බ්‍රාවෝත් දැවී යන විට ඕවර 8 ක් නිමා වී තිබුණත් ලකුණු සංඛ්‍යාව වූයේ 31 කි.

මාලන් සැමුවෙල්ස් සහ නිකොලස් පූරන් එක්ව කොදෙව් ඉනිම යාන්තමින් ලකුණු 66 දක්වා ඇදගෙන යාමට සමත්වූහ. මොහොමඞ් නවාස්ගේ පන්දුවකින් පූර්න් දැවීයාමෙන් පසුව සැමුවෙල්ස් සමග එක්වූ කරන් පොලාඞ් සිය කණ්ඩායම ලකුණු සියයෙන් ඔබ්බට ගෙනගොස් තැබුවේය.

කොදෙව්වන් විසින් පාකිස්තානුවන්ට දෙනු ලැබූ ඉලක්කය පන්දු යවන්නන්ට සටනක් දීමට අපහසු ලකුණු ප්‍රමාණයක් වුවත් කොදෙව් වේගපන්දු යවන්නන් සිය වගකීම් කොටස නොපිරිහෙලා ඉටු කරමින් මුල් ඕවර කිහිපයේදී පාකිස්තානුවන් ඇද බැඳ තබාගැනීම කැපී පෙනුණි.

මුලු ලකුණු සංඛ්‍යාව 40 වෙද්දී කෙස්රික් විලියම්ස් පාකිස්තානයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමට සලසා හමාරය. එහෙත් බාබර් අසාම් සහ ෂොයිබ් මලික් එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 68ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නගමින් සිය කණ්ඩායමට අමතක නොවන ජයග්‍රහණයක් කරා රැගෙන ගියහ.


බටහිර ඉන්දීය කොදෙව් පිල – කඩුලු 5ක් දැවී ඕවර 20 කදී ලකූණු 103යි
(මාලන් සැමුවෙල්ස් නොදැවී 42, නිකොලස් පූරන් 16, කීරොන් පොලාර්ඞ් නොදැවී 16, ඉමාඞ් වසීම් 21/3, මොහම්මඞ් නවාස් 16/1)

පාකිස්තානය – කඩුලු 2ක් දැවී ඕවර 15.1කදී ලකුණු 108යි.
(කාලිඞ් ලතීෆ් 21, බාබර් අසාම් නොදැවී 27, සොයිබ් මලික් නොදැවී 43, කෙස්රික් විලියම්ස් 15/2)


- 077

 

වි:20 ලෝක ශූරයෝ ගැලවීමේ මං සොයති

පාකිස්තානුවන් පිළිබඳ අනාවැකි කීම අසීරු බව සැබෑම සත්‍යයකි.

පාකිස්තානු පිල වසර කිහිපයක් තිස්සේම සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිහරඹය සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය කුමක් විය යුතුද යන්න සිතාගත නොහැකි වූ කණ්ඩායමකි. එහෙත් විස්සයි:20 ලෝක ශූර කොදෙව්වන් පිට පිටම තරග දෙකකදී පරාජය කරමින් හිටි අඩියේම තරගාවලි ජයක් ලබාගැනීමට පාකිස්තානුවෝ සමත්ව සිටිති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තරග 3 කින් සමන්විත වි:20 තරගාවලියේ පළමු තරග දෙකේදීම පකිස්තානය හමුවේ පරාජය වූ කොදෙව් පිලට දැන් සිදුව ඇත්තේ 3-0 ක සම්පූර්ණ සුද්දයකින් ගැලවීමේ මාර්ගය සොයාගැනීම උදෙසා වෙහෙසීමටය.

මේ දිනවල වැලි කතරේ සිටින කොදෙව් පිලට විස්සයි:20 විශේෂඥයන් වන ක්‍රිස් ගේල්, ඩැරන් සැමී සහ ඇන්ඩි්‍ර රසල් ඇතුළත්ව නැති බවත් සැබෑවකි. එහෙත් බටහිර ඉන්දීය කොදෙව් පිල යනු වසර 4 ක් ඇතුළත (2012 සහ 2016) විස්සයි:20 ලෝක කුසලාන දෙවරක් දිනාගත් කණ්ඩායමකි. ඇරත් මේ වසර මුලදී බංග්ලාදේශයේ පැවැති 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගත්තේද කොදෙව් පිල වන හෙයින් තරුණ ක්‍රීඩකයෝ ඕනෑ තරමක් කොදෙව් පිලේ සිටිති.  

කෙසේ වෙතත් ඩුබායිහිදී පැවැති පළමු වි:20 තරග දෙකේදී කොදෙව්වන් දක්වූයේ විඩාපත් ක්‍රීඩා විලාසයකි. පාකිස්තානු දඟ පන්දු යවන්නන් හමුවේ කොදෙව් පිතිකරුවන් අසාර්ථක වූවා පමණක් නොව, පන්දු රැකීමේදීද ඔව්හු මහත් දුර්වලතා විදහා පෙන්වූහ.

නායක කාලෝස් බ්‍රැත්වෙයිට්ගේ උපක්‍රම දියාරු වී ගිය සැටියෙකි. පාකිස්තානු පිතිකරුවන්ගේ ආකස්මික ප්‍රහාර හමුවෙ අන්ද මන්ද වූ බ්‍රැත්වෙයිට්ට පන්දු යැවීම සඳහා කවුරුන් තෝරා ගන්නද යන්න සිතාගත නොහැකි විය.

මෙම තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් පාකිස්තානුවෝ කිසිදු අපහසුවකින් තොරව විස්සයි:20 තරග දෙකම ජයගත්හ.

ත-ුන්වැනි වි:20 තරගය පැවැත්වෙන්නේ අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී බැවින් පිතිකරුවන්ගේ කාර්යය එතරම් අසීරු නොවනු ඇති බව කොදෙව්වන්ගේ විශ්වාසයයි. ඒ කෝක වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පන්දුවට පහර දීමේ කලාව පාකිස්තානුවන් දන්නා තරමට වෙන කිසිවෙක් නොදනිති. ඒ වසර ගණනාවක් තිස්සේම එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ පාකිස්තානුවන්ගේ ගෙමිදුල බවට පත්ව තිබෙන බැවිනි.

මෙම කාසියේම අනෙක් පැත්ත වන්නේ පාකිස්තානු පන්දු යවන්නන් වන සොහේල් තන්වීර් සහ ඉමාඞ් වසිම් කොදෙව් පිතිකරුවන් අමාරුවේ දැම්මේ ඔවුන් දෙදෙනාම කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කොදෙව් පන්දු යවන්නන්ට පන්දු යැවීමෙන් ලබාගත් අත්දැකීම් උපකාරයෙන් වීමයි.

ඒ අනුව තුන්වැනි විස්සයි:20 තරගයත් කොදෙව්වන් හිතන තරම් පහසු නොවේ.

තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 9.30 ට ආරම්භ වීමට නියමිතය.


පාකිස්තානු කණ්ඩායම
සර්ෆ්‍රාස් අහමඞ් (නායක), සොහේල් තන්වීර්, උමාර් අක්මල්, සාඞ් නසීම්, රුමාන් රයීස්, හසන් අලි, කාලිඞ් ලතීෆ්, සර්ජිල් ඛාන්, ෂොයිබ් මලික්, මොහොමඞ් රිස්වාන්, බාබර් අසාම්, මොහොමඞ් නවාස්, ඉමාඞ් වසිම්, මොහොමඞ් අමීර් සහ වහබ් රියාස්


බටහිර ඉන්දීය සංචිතය
කාලෝස් බ්‍රැත්වෙයිට් (නායක), සැමුවෙල් බද්‍රි, ඞ්වේන් බ්‍රාවෝ, ජොන්සන් චාල්ස්, ඇන්ඩි්‍ර ෆ්ලෙචර්, ජේසන් හෝල්ඩර්, එවින් ලුවිස්, සුනිල් නරේන්, කරන් පොලාර්ඞ්, නිකලස් පූරන්, රෝමන් පවෙල්, මාලන් සැමුවෙල්ස්, ජෙරම් ටේලර්, චැඞ්වික් වෝල්ටන් සහ කෙස්රික් විලියම්ස්

 

ඵෙතිහාසික 500 වැනි තරගයේදී ඉන්දියාවට ජය

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට ස්වර්ණමය මතක සටහනක් එක් කළ විරාට් කෝලි ඇතුළු පිරිවර ඉන්දියාවේ 500 වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 197 ක අති විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත් වූහ. කාන්පූර් නුවර ග්‍රීන් පාක් ක්‍රීඩාංගණයේදී අද නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයේදී ඉන්දියානුවෝ නවසීලන්තයට එරෙහිව මෙම ජයග්‍රහණය අත්කරගත්හ.

ඉන්දීය පිල අභියෝග කළ ලකුණු 434 ක ඉලක්කය හඹායාමට ඊයේ පස්වරුවේ පිටියට පිවිසි නවසීලන්ත පිල අද දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසුව සම්පූර්ණයෙන්ම දැවී ගියේය. දඟ පන්දු යවන්නන්ගේ මැජික්කාරයා, රවිචන්ද්‍රන් අශ්වින් විසින් නවසීලන්ත පිලේ අවසන් පිතිකරු නීල් වැග්නර් කඩුල්ල මුවා කිරිමට හසුකර ගනු ලැබීමත් සමග තරගය නිමාවට පත්විය.

නවසීලන්ත දෙවැනි ඉනිමේ දී කඩුලු 6 ක්ම උදුරාගත් 30 හැවිරිදි දඟ පන්දු යවන්නා මෙම තරගයේදී දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 10 කි.

ඊයේ දිනය නිමාවනවිට ලකුණු 93 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබූ නවසීලන්ත ඉනිම ලකණු 236 කට සීමා කළ අශ්වින් සිය ටෙස්ට් තරග දිවියේ දී 19 වැනි වතාවටත් කඩුලු 5 සීමාව පසුකළ අතර රවීන්ද්‍ර ජදේජා සමග එක්වී ප්‍රතිවාදින්ගේ කඩුලු 20 න් 16 ක් බෙදා හදා ගත්තේය.

ඊයේ පස්වරුවේ නොදැවී සිටි ලුක් රොන්කි සහ මිචෙල් සැන්ට්නර් අද උදෑසන නැවතත් අශ්වින්ගේ සහ ජදේජාගේ පරික්ෂා කිරිම් ගණනාවකින් කඩුලු බේරාගනිමින් සිය කණ්ඩායමේ ගෞරවය රැකදීමට නොගත් උත්සාහයක් නැත.

මුරකරු පිතිකරු ලෙස ඊයේ පස්වරුවේ පිටියට පිවිසි සැන්ට්නර් සිය රාජකාරිය අකුරටම ඉටු කරමින් රොන්කිට  දුන් අගනා සහය නිසාම පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩ නැගිණි.

කෙසේවෙතත් අද දිවා ආහාරයට පෙර ලැබුණු අවසන් සිසිල්පැන් පානයෙන් පසුව වමතින් දඟපන්දු යවන ජදේජා යැවූ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවෙන් රොන්කි දැවීයාමත් සමග ඉන්දීය ක්‍රීඩකයන් ජයග්‍රහණයේ සතුට සැමරීමට කල් මැරුවේ පුදුමාකාර ඉවසීමකිනි.

රොන්කිට නොදෙවැනි පිතිහරඹයක යෙදුණු සැන්ට්නර් සත්කාරකයන්ගේ ජයග්‍රහණය තරමක් දුරට පමා කළේ සටන්කාමී අර්ධ ශතකයකට හිමිකම් කියමිනි. ඒ කෙසේවෙතත්  මුලු ලකුණු සංඛ්‍යාව 223 දී අශ්වින් හමුවේ ඔහු දැවීයාමත් සමග ඉනිම නිමාවීමට වැඩිවේලාවක් ගතවූයේ නැත.


ඉන්දියාව පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 318 යි
(ලෝකේෂ් රාහුල් 32, මුරලි විජේ 65, චෙට්ස්වර් පුජාරා 62, රෝහිත් ෂර්මා 35, රවිචන්ද්‍රන් අශ්වින් 40, රවීන්ද්‍ර ජදේජා නොදැවී 42, ටේ‍රන්ට් බෝල්ට් 67/3, නීල් වැග්නර් 42/2, මිචෙල් සැන්ට්නර් 94/3, මාක් ක්‍රෙග් 59/1, ඉෂ් සෝදි 50/1)

නවසීලන්තය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 262 යි.
(මාටින් ගප්ටිල් 21, ටොම් ලේතම් 58, කේන් විලියම්සන් 75, ලූක් රොන්කි 38, මිචෙල් සැන්ට්නර් 32, බී.ජේ.වොට්ලිං 21,  උමේෂ් යාදෙව් 33/1, රවීන්ද්‍ර ජදේජා 73/5, රවිචන්ද්‍රන් අශ්වින් 93/4)

ඉන්දියාව දෙවැනි ඉනිම – කඩුලු 5 ක් දැවී ලකුණු 377 යි
(ලෝකේශ් රාහුල් 38, මුරලි විජේ 76, චෙට්ස්වර් පුජාරා 78, විරාට් කෝලි 18, අජින්ක්‍යා රහනේ 40, රෝහිත් ෂර්මා නොදැවී 68, රවීන්ද්‍ර ජදේජා නොදැවී 50, මිචෙල් සැන්ට්නර් 79/2, ඉෂ් සෝදි 99/2)

නවසීලන්තය දෙවැනි ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 236 යි.
කේන් විලියම්සන් 25, ලුක් රොන්කී 80, මිචෙල් සැන්ට්නර් 71, බී.ජේ.වොට්ලිං 18, ඉෂ් සෝදී 17, මොහොමඞ් සමී 18/2, රවිචන්ද්‍රන් අශ්වින් 132/6, රවීන්ද්‍ර ජදේජා 56/1)


- 077

 

නවසීලන්තය ලකුණු 341 ක් පසුපසින්

සංචාරක නවසීලන්තය සහ ඉන්දියාව අතර ඉන්දියාවේ කාන්පූර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටියේය.

ඒ අනුව ඔවුහු කඩුලු 6 ක් අතැතව ඉන්දියාවට වඩා තවත් ලකුණු 341 ක් පසුපසින් සිටිති.

දිනය නිමාවන විට ලුක් රොන්කි සහ රාත්‍රී මුරකරු පිතිකරු මිචෙල් ස්ටනර් පිළිවෙළින ලකුණු 38 ක්  හා 8 ක් බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

දක්ෂ පන්දුයැවීමක නිරත  වූ රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 68 කට ඉන්දීය කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාවම අාපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.

අද දිනයේදී අර්ධ ශතක ලබාගත් චෙටොෂ්වර් පුජාරා (78), රෝහිත් ශර්මා (නොදැවී 68) සහ රවින්ද්‍ර ජදේජා (නොදැවී 50) එක්ව ඉන්දීය දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

 

ඉන්දියාව පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 318
(ලෝකේෂ් රාහුල් 32, මුරලි විජේ 65, චේටස්වර් පුජාරා 62, රෝහිත් ෂර්මා 35, රවිචන්ද්‍රන් අශ්වින් 40, රවීන්ද්‍ර ජඬේජා නොදැවී 42, ටේ‍රන්ට් බෝල්ට් 67/3, නීල් වැග්නර් 42/2, මිචෙල් සැන්ට්නර් 94/3, මාක් ක්‍රෙග් 59/1, ඉෂ් සෝදි 50/1)

නවසීලන්තය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 262
(මාටින් ගප්ටිල් 21, ටොම් ලේතම් 58, කේන් විලියම්සන් 75, ලූක් රොන්චි 38, මිචෙල් සැන්ට්නර්32, බී.ජේ.වොට්ලිං 21,  උමේෂ් යාදෙව් 33/1, රවීන්ද්‍ර දජේදා 73/5, රවිචන්ද්‍රන් අශ්වින් 93/4)

ඉන්දියාව දෙවැනි ඉනිම – එක් කඩුලු 5 ක් දාවී ලකුණු 377
(ලෝකේශ් රාහුල් 38, මුරලි විජේ 76, චේටස්වර් පුජාරා 78, විරාට් කෝලි 18, අජින්ක්‍යා රහනේ 40, රෝහිත් ශර්මා නොදැවී 68, රවින්ද්‍ර දජේජා නොදැවී 50, මිචෙල් ස්ටනර් 79/2, ඉෂ් සෝදි 99/2)

නවසීලන්තය දෙවැනි ඉනිම – කඩුලු 4 ක් දැවී ලකුණු 93
(කේන් විලියම්මසන් 25, ලුක් රොන්කි නොදැවී 38, රවිචන්ද්‍රන් අශ්වින් 68/3)

 

- 036

බංග්ලාදේශයට ලකුණු 7 ක තියුණු ජයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශයේ මීර්පූර්හි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් අත්කර ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 266 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට නියමිත ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 258 ක් පමණි.

ඇෆ්ගනිස්ථාන ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 197 කදී ලකුණු 144 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට රාමට් ශා (71) සහ හෂ්මතුල්ලා ශහිදි (72) සමත් වුවද, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය.

පන්දු 93 කදී වාර්තා වූ රාමට් ශාගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 110 කදී වාර්තා වූ හෂ්මතුල්ලා ශහිදිගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් විය.

කෙසේ වුවත් 45 වැනි ඕවරය ක්‍රියාත්මක වන තෙක්ම තරගයේ වැඩි වාසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමිවී තිබුණ අතර ඒ වන විට ඔවුහු කඩුලු 6 ක් අතැතිව ජයග්‍රහණයට ලකුණු 38 ක් මෙපිටින් සිටියහ.

එහෙත් 45 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී නජිබුල්ලා සද්රාන් දවාගැනීමට නායක මෂ්රෆී මොටාසා සමත් වීමත්, 46 වැනි ඕවරය එක් ලකුණකට සීමා කිරීමට සකීබ් අල් හසන් සමත් වීමත් නිසා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරමක අමාරුවක වැටිණ.

ඉනිමේ 47 වැනි ඕවරය යැවීමට පැමිණි ටස්කින් අහමඞ් එම ඕවරයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ 6 වැනි සහ 7 වැනි කඩුලු ලෙස නායක අස්ගර් ස්ටැනික්සායි (10) සහ හිටපු නායක මොහොමඞ් නබී (30) දෙදෙනාවම පිටියෙන් ඉවත් කිරීමත් සමග ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඉතා අසීරු අඩියකට පත් විය.

48 වැනි ඕවරයේදී රුබෙල් හුසේන්ගේ පන්දුවක් හමුවේ 8 වැනි වැනි කඩුල්ල ලෙස රෂීඞ් ඛාන් දැවීයෑමත් සමග ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලකුණු 13 ක් රැස්කිරීමට සිදුවිය.

නැවත වරක් ක්‍රියාත්මක වූ ටස්කින් අහමඞ් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් බිඳ දමමින් අවසන් ඕවරයේ 2 වැනි පන්දුවේදී මිර්වයිස් අෂ්රෆ්වත්, අවසන් පන්දුවේදී දව්ලත් සද්රාන්වත් දවාගනිමින් බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 7 ක තියුණු ජයක් අත්කර දුන්නේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් පන්දු 98 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 80 ක් රැස්කළේය.

පන්දු 74 කට මුහුණදුන් මහමදුල්ලා හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 62 ක් රැස්කළ අතර සකීබ් අල් හසන් පන්දු 40 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 48 ක් රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ දව්ලත් සද්රාන් ඕවර 10 ක් යවා ලකුණු 73 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.


බංග්ලාදේශය – ඕවර 50 කදී සියලු දෙනා දැවී 265
(ටමීම් ඉක්බාල් 80, ඉම්රුල් කයිස් 37, මහමදුල්ලා 62, සකීබ් අල් හසන් 48, දව්ලත් සද්රාන් 73/4, රෂිඞ් ඛාන් 37/2, මොහොමඞ් නබී 40/2)

ඇෆ්ගනිස්ථානය – ඕවර 50 කදී සියලු දෙනා දැවී 258  
(මොහොමඞ් ශේෂාඞ් 31, රාමත් ෂා 71, හෂ්මතුල්ලා ශහිදි 72, මොහොමඞ් නබී 30, ටස්කින් අහමඞ් 42/4, සකීබ් අල් හසන් 26/2, මෂ්රෆී මොටාසා 42/2)


- 036

 

බවුමා – ඩුමිනි දකුණු අප්‍රිකාවට ජය ගෙනෙති

සංචාරක අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ බෙනොනිහිදි අද (25 වැනිදා) පැවැති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 206 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 355 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට ඕවර 30.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 148 ක් පමණි.

අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් යම් තරමක හෝ සාර්ථක පිතිහරඹයක නිරත වූ පෝල් ස්ටලින් සහ කෙවින් ඕ’ බ්‍රයන් පිළිවෙළින් ලකුණු 40 ක් සහ 41 ක් බැගින් රැස්කිරීමට සමත් වුවද, අයර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට එම ලකුණු සංඛ්‍යාවන් කිසිසේත් ප්‍රමාණාවත් නොවීය. පන්දු 49 කදී වාර්තා වූ ස්ටලින්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 36 කදී වාර්තා වූ ඕ’ බ්‍රයන්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ පිට දඟ පන්දුයවන ක්‍රීඩක ජේ. පී. ඩුමිනි ඕවර 4.5 ක් යවා කෙවින් ඕ’ බ්‍රයන්ගේ කඩුල්ලද සමගින් ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගත්තේය. අයර්ලන්ත ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඩුමිනිට අගනා සහයක් දුන් වේන් පනේල් සහ ඒරන් පැන්ගිසෝ කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වූහ.

දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරමින් අද දිනයේදී සිය මංගල එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගි වූ ටෙම්බා බවුමා, එහිදී සිය මංගල ශතකය ලබාගැනීමට සමත් වු අතර පන්දු 123 කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 13 ක් අන්තර්ගත විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ක්වින්ටින් ඩිකොක් (82) සමග එක්ව පන්දු 144 කදී ලකුණු 159 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ටෙම්බා බවුමා සමත් විය. පන්දු 66 කදී වාර්තා වූ ඩිකොක්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

පන්දු 42 කට මුහුණදුන් ජේ. පී. ඩුමිනි හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස්කළ අතර ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹක නිරත වූ ෆර්හාන් බෙහාර්ඩීන්, පන්දු 22 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 50 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.


දකුණු අප්‍රිකාව – ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 354
(ක්වින්ටින් ඩිකොක් 82, ටෙම්බා බවුමා 113, ෆෆ් ඩුප්ලෙසිස් 21, ජේ. පී. ඩුමිනි නොදැවී 52, ෆර්හාන් බෙහාර්ඩීන් 50, ක්‍රේග් යංග් 81/3, කෙවින් ඕ’ බ්‍රයන් 66/2)

අයර්ලන්තය – ඕවර 30.5 කදී සියලු දෙනා දැවී 148
(පෝල් ස්ටලින් 40, කෙවින් ඕ’ බ්‍රයන් 41, ෂොන් ටෙරී 16, ජෝජ් ඩොක්රෙල් 16, ජේ. පී. ඩුමිනි 16/4, ඒරන් පන්ගිසෝ 33/2, වේන් පනේල් 36/2)


- 036

 

ශ්‍රී ලංකා පිලේ අභ්‍යාසක තනතුරට නික් ලී

එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමේ හිටපු පිතිකරුවකු වන නික් ලී මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යාසකවරයා ලෙසින් පත් කර තිබේ. නික් ලී මහතා සසෙක්ස් ප්‍රාන්ත පිලේ වත්මන් අභ්‍යාසකවරයාද වෙයි.


ශ්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යාසකවරයාව සිටි මයිකල් මේන් මහතා සේවයෙන් ඉවත්ව යන හෙයින් නික් ලී මහතා මෙම තනතුරට තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. නික් ලී මහතා ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකා පිලේ රාජකාරි බාරගනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් සහ තුන්දින තරගාවලියක් සඳහා ඔක්තෝබර් 25 වැනිදා සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතය.

පසුගිය වසරේ මැයි මාසයේදී වැඩ බාරගත් ශ්‍රී ලංකා පිලේ හිටපු අභ්‍යාසක මයිකල් මේන් මහතාගේ මූලික එකඟතාව වූයේ වසර දෙකක කාලයක් ශ්‍රී ලංකා පිල සමග රැඳී සිටීමයි. එහෙත් ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව පැවැති තරගාවලිය නිමා වීමත් සමගින් මයිකල් මේන් මහතා ශ්‍රී ලංකා පිලෙන් ඉවත්ව ගියේය.

කෙන්ට් පිල වෙනුවෙන් පළමු පෙළ තරග 13 ක් ක්‍රීඩා කර ඇති නික් ලී මහතා ඒවායේදී ලකුණු 490 ක් ලබා තිබේ. ඔහු අවසන් වරට පළමු පෙළ තරගයකට ක්‍රීඩා කළේ වසර 2010 දීය.

 

ආසියානු යොවුන් තරගාවලිය දෙසැම්බරයේදී

ආසියානු ක්‍රිකට් සභාව විසින් පළමු වරට සංවිධානය කරනු ලබන 19 න් පහළ කණ්ඩායම් සඳහා වන ආසියානු ‘යොවුන්’ ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 8 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන ටෙස්ට් රටවල යොවුන් කණ්ඩායම් වලට අමතරය නේපාලය, හොං කොං, මැලේසියාව, ඇෆ්ඝනිස්ථානය වැනි ආසියානු ක්‍රිකට් සභාවේ සාමාජිකත්වය දරන සෙසු රටවල කණ්ඩායම්ද මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය.

කෙසේ වෙතත් ටෙස්ට් වරම් හිමි නොවන රටවල කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වන්නේ කුමන ක්‍රමවේදයක් මතද යන්න තීරණය කිරීම සඳහා තරගාවලි කමිටුවක් නම් කිරීමට ආසියානු ක්‍රිකට් සභාව කටයුතු කරමින් සිටී.

ආසියානු ක්‍රිකට් සභාවේ සාමාන්‍යාධිකාරී තුසිත් පෙරේරා මහතා මෙම තරගාවලියේ අධ්‍යක්‍ෂකවරයා වශයෙන් නම්කරනු ලැබ තිබේ. ආසියානු ක්‍රිකට් සභාවේ කාර්ය කළමණාකරු සුල්තාන් රානා මහතා යොවුන් තරගාවලියේ කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු කරනු ඇත.

ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලිය සඳහා හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණය, මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය සහ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය තෝරාගනු ලැබ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 

නොම්මර 1 කණ්ඩායමට නොම්මර 1 දිනුමක්

පිතිහරඹයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (25) පැවැති සිවුවැනි හා අවසන් එක්දින තරගයෙන්ද ලකුණු 137 ක ජයක් වාර්තා කළහ. ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් තරග 4 කින් සමන්විත එක්දින තරගාවලිය 4-0 කින් ජයගත්තේ අන්තර්ජාතික කාන්තා ක්‍රිකට් පිටියේ නොම්මර එකේ කණ්ඩායම බව තව දුරටත් පසක් කරමිනි.

ඕස්ට්‍රේලියානු  ක්‍රීඩිකාවන් සිය පිතිහරඹයෙන් ආර්.ප්‍රේමදාස අලංකාර කළේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කාන්තා ක්‍රිකට් පිටියේ ඉදිරියට යාමට අවශ්‍ය පාඩම් මාලාවක්ම කියා දෙමිනි. එහෙත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය දැකගැනීමට අවශ්‍ය තරම් ප්‍රේක්‍ෂකයෝ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ නොසිටියහ.

නිකොල් බෝල්ටන් සහ ක්‍රිස්ටීන් බීම්ස්

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු පිල ඕවර 50 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 268 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා පිල ඕවර 45 කුත් පන්දු 5 කදී ලකුණු 131 කට දැවී ගියේය.

ඉලක්කය අසීරු වූවත් දැඩි අදිටනින් යුතුව පිටියට බට ශ්‍රී ලංකා පිලට මුල්පෙළ පිතිකාරිනියන්ගෙන් තරමක දායකත්වයක් ලැබිණ. එහෙත් පළමු කඩුලු 3 බිඳ වැටුණාට පසුව ඉනිම ගොඩ ගැනීමට කිසිදු පිතිකාරිනියකට හැකිනොවූ අතර පසුපෙළ පිතිකාරිනියන් කිසිවකුට ලකුණු 10 න් ඔබ්බට යාමට ද නොහැකි විය.

උපනායිකා ප්‍රසාදිනී වීරක්කොඩි සමග අද ඉනිම ආරම්භ කිරීමට අලුතින් ගෙන්වූ හසිනි පෙරේරාට ලකුණු 2 කට වඩා ලබාගත නොහැකිවුවත් නායිකා චමරී අතපත්තු පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට සැනසිලිදායක තත්ත්වයක් උදාවිය. මේ ජ්‍යෙෂ්ඨ පිතිකාරිනියන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩ නැගූ අතර මුලු ලකුණු සංඛ්‍යාව 69 ක්ව තිබියදී අතපත්තුගේ දැවීයාමත් සමග එය අඩාල විය.

මුලු ලකුණු සංඛ්‍යාව 87 ක් වනවිට එතෙක් සාර්ථකව පිත්ත හසුරුවමින් සිටි ප්‍රසාදිනී වීරක්කොඩි ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ ක්‍රිස්ටීන් බීම්ස් අනතුරුව තවත් කඩුලු 2 ක් ඉක්මනින් දවාලමින් ශ්‍රී ලංකා ඉනිම අඩපණ කොට දැමුවාය.

ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 7 ම ලකුණු 34 ක දී බිඳ දැමූ රෙනී ෆැරල් සහ හොලී ෆර්ලින් ඕස්ට්‍රේලියානුවන්ගේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

අද උදෑසන ආර්.ප්‍රේමදාස පිටිය වර්ණවත් කළ ඕස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකාරිනිය නිකොල් බෝල්ටන් අගනා ශතකයක් ලබාගත්තාය. පන්දු 146 ක් වැය වූ ඇගේ ඉනිමට හතරේ පහර 8 ක් සහ හයේ පහරක් එක්වූ අතර නායිකා මෙග් ලැනින් හා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 72 ක සම්බන්ධතාවක් ද ගොඩ නැගීමට ඇය සමත්වූවාය.

අර්ධ ශතකයට ලකුණු 7 ක් අඩුවී තිබියදී ලැනින්ගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි එලිස් පෙරී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 77 කදී නොදැවී ලකුණු 77 ක් රැස් කළේ හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගිනි. මේ දෙදෙනා අතර තුන්වැනි කඩුල්ලේ ලකුණු 140 ක සම්බන්ධතාව බිඳ වැටුණේ ඉනිමේ අවසන් ඕවරයේ දී බෝල්ටන් දැවීයාම නිසාය.  


ඕස්ට්‍රේලියාව – කඩුලු 3ක් දැවී ඕවර 50කදී ලකුණු 268යි.
(නිකොල් බෝල්ටන් 113, එලිස් විලානී 22, මෙග් ලැනින් 43, එලිස් පෙරී නොදැවි 77, අමා කාංචනා 52/1, චමරී අතපත්තු 48/2)

ශ්‍රී ලංකාව – සියලුදෙනා දැවී ඕවර 45.5කදී ලකුණු 131යි.
(ප්‍රසාදිනී වීරක්කොඩි 33, චමරී අතපත්තු 26, චමරී පොල්ගම්පොල 19, හොලී ෆර්ලින් 30/3, රෙනී ෆැරල් 17/3, ක්‍රිස්ටීන් බීම්ස් 26/4)

 

 

ඡායාරූප : ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි

ජයසූරිය ආයෙත් ඉස්කෝලේ යයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සහ වත්මන් තේරීම් කමිටු සාමාජික සනත් ජයසූරිය මහතා අද (25 වැනිදා) සිය පාසල් නිල ඇඳුමෙන් සැරසී පාසල් ගියේය. මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද ‘ආයෙත් පාසල් යමු’ දිනයට එක්වෙමින් ජයසූරිය ඊයේ පාසල් ගියේය.

මාතර ශාන්ත සර්වේසස් විදහලෙන් අධ්‍යාපනය ලැබූ සනත් ජයසූරිය 13 න් පහළ වයස් කාණ්ඩයේ සිටම ශාන්ත සර්වේශස් විද්‍යාලය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළේය. 1988 දී ශ්‍රී ලංකා ‘බී’ පිල නියෝජනය කරමින් පාකිස්තානයේ සංචාරය කරද්දී ලබාගත් ද්විත්ව ශතක දෙකක් සහ ශතකයක් හේතුවෙන් තේරීම් කමිටු නිලධාරීන්ගේ අවධානය දිනාගත් ජයසූරිය ඉතා ඉක්මනින්ම ජාතික කණ්ඩායමට එක්වීමේ අවස්ථාව උදාකර ගත්තේය.

1989 ඕස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා එක්දින හිස්වැස්ම පළඳින සනත් ජයසූරිය 1991 නවසීලන්ත සංචාරයේදී ටෙස්ට් වරම් දිනාගනී. 1996 ලෝක කුසලාන තරගාවලියේ අගනාම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් මෙම වමත් පිතිකරුවා ලෝක වාර්තා රැසක්ම සිය නමට ඉදිරියෙන් සටහන් කරගත්තේ ක්‍රිකට් ලෝකයේ අද්වීතීය කීර්තිනාමයක් අත්කරගනිමිනි.

1999 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත්වන සනත් ජයසූරිය වසර 2000 දී එක දිගට පැවැති ටෙස්ට් තරග 9 ක ජයග්‍රහණ කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන යමින් විශිෂ්ට වාර්තාවක් තබයි 2007 ලෝක කුසලාන තරගාවලිය දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායමේ රැඳී සිටි ජයසූරිය 2012 දී අන්තර්ජාතික තරග බිමෙන් සමුගනී.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුනක් දිනාගන්නා සනත් ජයසූරිය පසුව තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය ඇමතිවරයා ලෙසින්ද පත්වෙයි.

2013 දී තේරීම් කමිටු සාමාජිකයකු වශයෙන් පත්වන ජයසූරිය විස්සයි:20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමිවූ 2014 සිට 2015 ලෝක කුසලාන තරගාවලිය නිමා වන තුරුත් තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය. මඳ ඉසුඹුවක් ලබන ජයසූරිය 2016 දී නැවතත් තේරීම් කමිටු සභාපතිවරයා ලෙසින් පැමිණි අවස්ථාවේදී තරුණ ක්‍රීඩකයන් පිරිසක් සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායම වූ ඕස්ටේ්‍රලියාව 3-0 කින් පරාජය කිරීමට සමත් වෙයි.

‘ආයෙත් පාසල් යමු’ දිනයේ සිය පැරණි පාසල් මිතුරන් හා එක්වන සනත් ජයසූරිය පවසන්නේ එය අමතක කළ නොහැකි දිනයක් ලෙසිනි.