Category Archives: IND NZ

මුරලි – පුජාරා ඉන්දියාව ඉදිරියට තල්ලු කරති


බැලූ බැල්මට තමන්ට අවාසිදායක ලෙස පෙනෙන්නට තිබූ පළමු  ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ සෙනසුරාදා උදෑසන කිසිවකු නොසිතූ ලෙසින් තරගට කඩා වැදුණු ඉන්දියානුවෝ නවසීලන්ත පිලේ ගෙලට පාදය තබා තදින් සිරකළහ. කාන්පූර් නුවර ග්‍රීන් පාක් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමා වෙද්දී ඉන්දිය පිතිකරුවන් සිය දෙවැනි ඉනිමේ ලකුණු 159 දක්වා ඉහළට ඔසවා තැබුවේ එක් කඩුල්ලක්  පමණක් අහිමිකර ගනිමිනි.

ඉන්දීය දඟ පන්දු යවන්නන් කළ මේ වික්‍රමය නිසා සංචාරක නවසීලන්ත පිල එහෙම පිටින්ම අන්ද මන්ද වූ අතර අවාසනාව බොහෝ විට පැමිණෙන්නේ වාසනාවේ ස්වරූපයෙන් බව ඔවුන්ට කියා දීමට වෙනත් නිදසුනක් උවමනා වූයේ නැත.

දෙවැනි දිනයේ තරගය නතර කරද්දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 152 ක්ම ලබා ප්‍රබල තත්ත්වයක සිටි නවසීලන්තයට සෙනසුරාදා උදෑසන මුහුණ දීමට සිදුවූ අලකලංචියේ විස්මිතභාවය කොතෙක්දැයි යන්න ඒ මොහොතේ ග්‍රීන් පාක් ක්‍රීඩාංගණයට එක්රොක් වී අයාගත් මුවින් යුතුව තරගය දෙස බලා සිටි නරඹන්නන් දුටු ඕනෑම අයකුට සිතාගත හැකිය.

දහසක් බලාපොරොත්තු රොද බැඳගෙන සෙනසුරාදා උදෑසන පිටියට පිවිසි ටොම් ලේතම්ට සහ නායක කේන් විලියම්සන්ට පළමු ඕවරය යැවූ රවිචන්ද්‍රන් අශ්වින් දැමූ පීඩනය කියා පෑවේ මේ වියළි තණතීරුව අද දවසේ දී පිතිකරුවන්ට දුර්භාග්‍යය ගෙන දෙන එකක් බවය. වැඩි වේලා යන්නට පෙර එය සනාථ කරමින් ඔහු ලේතම් කඩුල්ල මුවා කරගැනීමට හසු කරගත් අතර ඉන් අනතුරුව නරඹන්නන් දුටුවේ රවීන්ද්‍ර ජදේජා සහ අශ්වින් තරගයට මෙන් කඩුලු දඩයමේ නිරතවන ආකාරයයි.

සිකුරාදා දිනය නිමාවනවිට ජදේජාගේ සහ අශ්වින් දෙදෙනාගේ පන්දු යැවීම පිළිවෙලින් සටහන් වූයේ 17-1-47-0 ක් සහ 14-1-43-0 ක් ලෙසිනි. එහෙත් සෙනසුරාදා දිනයේ ජදේජා සහ අශ්වින් දෙදෙනාගේ පන්දු යැවීම සටහන් වූයේ 17-6-26-5 ක් සහ 16.5-6-50-4 ක් ලෙසිනි. සෙනසුරාදා තරගය ආරම්භ වීමෙන් පසුව ඕවර 33.5 කදී ලකුණු 76 ක් පමණක් ලබාගැනීමට අවසර දෙමින් මේ දෙදෙනා එක්ව බිමදැමූ නවසීලන්ත කඩුලු සංඛ්‍යාව 9 කි.

නවසිලන්ත ඉනිමේ අවසන් කඩුලු 9 ම ලකුණු 103ක් ඇතුලත බිඳ වැටුණු අතර අදහාගත නොහැකි දේ වූයේ ඉන් 5 ක්ම ලකුණු 7 ක් ඇතුළත ඇද වැටීමයි. වරෙක කඩුලු 5 කට ලකුණු 255 ක්ව තිබූ නවසීලන්ත ලකුණු පුවරුව ඉතා සුළු වේලාවකින් සියලු දෙනා දැවී ලකුණු 262 ක් ලෙස සටහන් කළේය.

ලකුණු 56ක පළමු ඉනිමේ වාසියත් කිහිළිගන්නාගෙන සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඉන්දියාව පළමු කඩුල්ලට ගොඩනැගූ ලකූණු 52 ක සම්බන්ධතාව බිඳ දමමින් ලෝකේශ් රාහුල් කඩුල්ල මුවා කිරීමට හසු කරගැනීමට සෝදි සමත්වූවත් ඉන් පසුව මුරලි විජේ සමග චේටේස්වර් පුජාරා එක්වීමෙන් පසුව නවසීලන්තයට බුරුලක් ලැබුණේම නැත.

මේ පළපුරුදු පිතිකරුවන් දෙදෙනා එක්ව ඉන්දිය ඉනිම ඉහළට ඔසවා තැබූවා පමණක් නොව දිනය නිමාවන විට දෙවැනි කඩුල්ලට ලකුණු 107 ක නොබිඳුණු සම්බන්ධතාවක් ද ගොඩනැගුවේ අර්ධ ශතක දෙකක් ද වාර්තා කරමිනි.  

ඉන්දීය දඟපන්දු යවන්නන්ට දුන් වාසිය තමන්ටත් අත්කරගත හැකිදැයි වාසනාව උරගා බැලූ මාක් ක්‍රෙග් සහ ඉෂ් සෝදිට මදි නොකියන්නට තඩි බෑ විජේ සහ පුජාරා දිනය හමාර වෙද්දී ලකුණු 215 ක් තම කණ්ඩායම ඉදිරියට ගෙන යාමට සමත්වූයේ කඩුලු 9 ක්ම අතේ තිබියදීය.


ඉන්දියාව පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 318 යි
(ලෝකේෂ් රාහුල් 32, මුරලි විජේ 65, චේටස්වර් පුජාරා 62, රෝහිත් ෂර්මා 35, රවිචන්ද්‍රන් අශ්වින් 40, රවීන්ද්‍ර ජඬේජා නොදැවී 42, ටේ‍රන්ට් බෝල්ට් 67/3, නීල් වැග්නර් 42/2, මිචෙල් සැන්ට්නර් 94/3, මාක් ක්‍රෙග් 59/1, ඉෂ් සෝදි 50/1)

නවසීලන්තය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 262 යි.
(මාටින් ගප්ටිල් 21, ටොම් ලේතම් 58, කේන් විලියම්සන් 75, ලූක් රොන්චි 38, මිචෙල් සැන්ට්නර්32, බී.ජේ.වොට්ලිං 21,  උමේෂ් යාදෙව් 33/1, රවීන්ද්‍ර දජේදා 73/5, රවිචන්ද්‍රන් අශ්වින් 93/4)

ඉන්දියාව දෙවැනි ඉනිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 159 යි.
(ලෝකේශ් රාහුල් 38, මුරලි විජේ නොදැවී 64, චේටස්වර් පුජාරා නොදැවී 50, ඉෂ් සෝදි29/1)

 


- 077

 

කෝලි කෝප ගන්වා වැස්ස කඩාවැටෙයි

විස්මය දනවන සුලු දැවීයාමකින් සිය කඩුල්ල බේරාගත් ටොම් ලේතම් සමග නායක කේන් විලියම්සන් එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 117 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නඟමින් ඉන්දිය පිලට එරෙහිව ඉන්දියාවේ කාන්පූර් නුවර ග්‍රීන් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ තරගයේ වාසිය තමන් වෙත ඇදගනිමින් සිටියහ.

ලේතම් සහ විලියම්සන් දෙදෙනාගේ පිතිහරඹයට ස්තුති වන්නට, තරගයේ දෙවැනි දිනයේ අන්තිම භාගය වර්ෂාව නිසා අපතේ යාමට පෙර නවසීලන්ත පිලේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව එක් කඩුල්ලක් දැවී 152 දක්වා ඉහළ නැංවී තිබිණ.  

තරගයේ පළමු දිනය වූ ඊයේ දිනය නිමාවනවිට කඩුලු 9 ක් දැවී ලකුණු 291 ක් ලබා සිටි ඉන්දීය පිල අද උදෑසන යවනු ලැබූ 7 වැනි ඕවරයේදී මුලු ලකුණු 318 කට ඉනිම නිමාකරගත් බැවින් දැන් නවසීලන්තය සිටින්නේ සත්කාරකයන්ට වඩා ලකුණු 166 ක් පමණක් පසුපසිනි. එහෙත් ඒ ලකුණු 166 ලබාගැනීමට තවත් කඩුලු 9 ක් ඔවුන් අතැතිව තිබේ.

නීල් වැග්නර්ගේ පන්දුවක් හමුවේ උමේෂ් යාදෙව් දැවීයාමෙන් අද උදෑසනින්ම ඉන්දිය ඉනිම නිමා විය.
සංචාරකයන්ගේ ආරම්භක පිතිකරු යුගලය වූ මාටින් ගප්ටිල් සහ ටොම් ලේතම් අතර පළමු කඩුල්ලේ සම්බන්ධතාව 35 කට සීමා කිරීමට සමත්වූයේ ද යාදෙව් විසිනි.

අනතුරුව විලියම්සන් සමග එක්වූ ලේතම් දිවා ආහාරය වෙද්දී සිය ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 71 දක්වා ඉහළ දමාගත්තේය. අනතුරුව පස්වරු තේ පානයට තරගය නවත්වන තුරුම සිය කඩුලු ආරක්ෂා කරගත් මේ පළපුරුදු පිතිකරුවන් දෙදෙනාගේ සම්බන්ධතාව බිඳ දමන්නට ඉන්දීය පිලේ නායක විරාට් කෝලි නොකළ දෙයක් නැත.

සිය ප්‍රබලතම දඟපන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින් සමග රවීන්ද්‍ර ජදේජා මාරුවෙන් මාරුවට යොදා ගනිමින් ලේතම්ගේ සහ විලියම්සන්ගේ ඉවසිම පරීක්ෂා කළ කෝලිගේ ඉවසීමේ සීමාව පැනගෙන යන තැනට වැඩ සිද්ධ වූයේ තේ පානයට මොහොතකට පෙර ජදේජා නවසීලන්ත ඉනිමේ 37 වැනි ඕවරය යවමින් සිටියදීය.
 
ඒ වෙද්දී ලකුණු 47ක් ලබා සිටි ලේතම් ජදේජා යැවූ ඒ ඕවරයේ සිවුවැනි පන්දුවට ස්වීප් පහරක් ගැසූ අතර පන්දුව පිත්තෙත්, අනතුරුව සපත්තුවේත් වැදී ඉහළ ගියේ ෂෝට් ලෙග් කලාපයේ සිටි ලෝකේෂ් රාහුල් වෙත පහසු උඩපන්දුවක් ලෙසිනි. ඒත් සැබැවින්ම රාහුල් විසින් ඩැහැ ගනු පන්දුව ලේතම්ගේ පිත්තේ ගැටී රාහුල් වෙත යාමට  පෙර තණතීරුවේ වැදුණාදැයි විනිසුරු රිචඞ් කෙට්ල්බරෝ මැදිවූයේ උභතෝකෝටික ගැටළුවකටය.  එබැවින් ඔහු ඒ වෙද්දිත් සතුට සමරමින් සිටි ඉන්දීය පිලේ ක්‍රීඩකයන්ට මොහොතක් නතර වන්නට කියා අවසන් තීන්දුව ගැනීම තුන්වැනි විනිසුරුට බාර දුන්නේය.

ලේතම්ගේ පිත්තේ ගැටුණු පන්දුව අනතුරුව පතිත වූයේ තණතීරුවේ නොව ඔහුගේම සපත්තුවේ බැවින් එය රාහුල් වෙත ඇදී ගියේ උඩපන්දුවක් ලෙසට බව තීරණය වූවත් එහි දී තවත් නොසිතූ ගැටළුවක් මතුවූයේ රාහුල් උඩපන්දුව රැකගැනීමට පෙර එය ඔහුගේ ආරක්ෂිත හිස්වැස්මේ වැදුණු බැව් පැහැදිලිවම දක්නට ලැබීමෙනි.

පිත්තේ ගැටුණු පන්දුවක් උඩපන්දුවක් ලෙස යම්කිසි පන්දු රකින්නකු ඩැහැ ගැනීමට පෙර එය පන්දු රකින්නාගේ ආරක්ෂිත හිස්වැස්මේ ගැටුණුවිට එම උඩපන්දුවට වටිනාකමක් ලැබෙන්නේ නැත. මේ සිදුවීම කඩුලු රකින්නා පිටුපස තණතිල්ලේ ඇතැම් අවස්ථාවල දී තබා ඇති ෂෝට් ලෙග් පන්දු රකින්නා පාවිච්චි කරන ආරක්ෂිත හිස්වැස්මේ පන්දුව වැදුණු විට අතිරේක ලකුණු 5 ක් ලබාදීමට වඩා ඔබ්බට ගිය එකකි.

එවැනි අවස්ථාවක දී විනිසුරුවරයා විසින් පන්දුවට පහර දෙන පිලට අතිරේක ලකුණු 5 ක් දෙන්නේ අජීවි වුවත් තණතිල්ලේ තබා ඇති ඒ ආරක්ෂිත හිස්වැස්ම වැඩිපුර සිටින ක්‍රීඩකයකු සේ සලකන නිසාය. එහෙත් අද සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. රූපවාහිනී පුනරූපන බැලූ තුන්වැනි විනිසුරු ලේතම් නොදැවුණු ක්‍රීඩකයකු ලෙස නම් කළ අතර දෙගිඩියාවට සහ මහත් කළබලයට පත්වූ ඉන්දිය පිලේ නායක කෝලි විනිසුරු කෙට්ල්බරෝ මහතාගෙන් ඒ පිළිබඳ වැඩිදුරට කරුණු විමසුවේ තරමක කෝපයකිනි.

ඉන් මොහොතකට පසුව තේ පානය එළැඹුණු අතර ඉන් පසුව තරගය ආරම්භ කරන්නට වර්ෂාව ඉඩ දුන්නේම නැත.

 
ඉන්දියාව පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 318 යි
(ලෝකේෂ් රාහුල් 32, මුරලි විජේ 65, චේටස්වර් පුජාරා 62, රෝහිත් ෂර්මා 35, රවිචන්ද්‍රන් අශ්වින් 40, රවීන්ද්‍ර ජදේජා නොදැවී 42, ටේ‍රන්ට් බෝල්ට් 67/3, නීල් වැග්නර් 42/2, මිචෙල් සැන්ට්නර් 94/3, මාක් ක්‍රෙග් 59/1, ඉෂ් සෝදි 50/1)

නවසීලන්තය පළමු ඉනිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 152 යි.
(මාටින් ගප්ටිල් 21, ටොම් ලෙතම් නොදැවී 56, කේන් විලියම්සන් නොදැවී 65, උමේෂ් යාදෙව් 22/1)


- 077

 

සැන්ට්නර් ඉන්දියාව අමාරුවේ දමයි

දඟ පන්දු යවන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් ඉන්දියාවේ කාන්පූර් නුවර ග්‍රීන් පාක් ක්‍රීඩාංගණයේ දී සංචාරක නවසීලන්ත පිලට එරෙහිව අද (22 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් සත්කාරක ඉන්දීය පිල පළමු දිනය අවසන් වෙද්දී ලකුණු 291 කට කඩුලු 9 ක්ම අහිමි කරගත්තේය.

කවදත් දඟ පන්දුවට හිතැති කාන්පූර් හී ග්‍රීන් පාක් තණතීරුව ගැන තරගයට පෙර විචාරකයන් කිවූ කතා වැඩිපුර කනකට නොගත් ඉන්දීය පිලේ නායක විරාට් කෝලිට අද කට උත්තර නැතිවෙන තැනට වැඩ සිද්ධ වූයේ නවසීලන්ත පිලේ දඟපන්දු යවන ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් හමුවේ ඔහුගේ ප්‍රබලතම සගයන් තුන්දෙනකු අසරණ වූ නිසාය. ඊට අමතරව නවසීලන්ත පිලේ නම් දරාපු දඟපන්දු යවන්නකු වන  ඉෂ් සෝදිත් කඩුල්ලක් දවාගැනීම නිසා පළමු දිනයේදීම විචාරකයෝ අනාවැකි පළ කිරීමෙන් ජයගත්තෝය.

අද තරගයේ සම්පූර්ණ ගෞරවය අත්කර ගත් නවසීලන්තය සිය ප්‍රතිවාදීන්ට වේලාසනින්ම රතු නිවේදනයක් නිකුත් කිරීම එක අතකට විස්මය දනවන සුළු කරුණක් වන්නේ ඔවුන් ටෙස්ට් තරගමාලාවට එනවිටත් පීඩිතයන් පිරිසක් බවට ලේබල්ගතවී සිටි බැවිනි.

ඉවසීමෙන් හා මනා සංයමයකින් යුතුව පන්දු යැවූ සැන්ට්නර් ඉන්දිය ඉනිමේ මුල් භාගයේදී කණ්ඩායම හිරු රශ්මියෙනුත්, කඩුලු අතර සම්බන්ධතාවලිනුත් දැඩි පීඩනයකට හසුකළ මුරලි විජේගේ සහ චේටස්වර් පුජාරාගේ ලකුණු 112 ක දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දැමීමට සමත්වූයේ හොඳින් පන්දුවට පහරදෙමින් සිටි පුජාරා පෙරළා දුන් උඩපන්දුව සුරැකිව ඩැහැගනිමිනි. ඊට පෙර ලකුණු 42 ක් පළමු කඩුල්ලට ගොඩනගා තිබියදී ලෝකේෂ් රාහුල් දවාලූ හෙතෙම මුල් පෙළ පිතිකරුවන් තිදෙනකු දවාලමින් සිය කණ්ඩායමට අවශ්‍ය දේ ඉටු කළේය.

එක් වතාවක් ලකුණු 209 කට කඩුලු 4 ක්ව තිබූ ඉන්දිය ලකුණු ඉතා ඉක්මනින්ම වෙනස් කළ නවසීලන්ත පන්දු යවන්නන් අවසන් කඩුලු 5 ම දවාගත්තේ ලකුණු 82 ක් ඇතුළතය. නවසිලන්තයේ දඟ පන්දු යවන්නන් තිදෙනා වන සැන්ට්නර්, සෝදි සහ මාක් ක්‍රෙග්ගේ පරීක්ෂා කිරීම් ගණනාවකට භාජනය වූ සත්කාරකයන්ගේ මුල් පෙළ පිතිකරුවන්ට සැන්ට්නර් වග කියද්දී වේගපන්දු යවන ටේ‍රන්ට් බෝල්ට් අගපෙළ කඩා බිඳ දමා සිය කණ්ඩායමට දිනය අවසානයේ සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් උදාකොට දුන්නේය.


ඉන්දියාව පළමු ඉනිම – කඩුලු 9ක් දැවී ලකුණු 291යි
(ලෝකේෂ් රාහුල් 32, මුරලි විජේ 65, චෙට්ස්වාර් පුජාරා 62, රෝහිත් ෂර්මා 35, රවිචන්ද්‍රන් අශ්වින් 40, ටේ‍රන්ට් බෝල්ට් 57/3, නීල් වැග්නර් 42/1, මිචෙල් සැන්ට්නර් 77/3, මාක් ක්‍රෙග් 59/1, ඉෂ් සෝදි 50/1)

 

- 077

 

ඉන්දියානුවෝ දඟ පන්දුව ගැන විමසිල්ලෙන්

මෑත කාලයේදී ඉන්දිය ක්‍රිකට් පිල දඟපන්දු යවන්නන් හමුවේ අසීරුතාවට පත්වීම ගැන තමා වැඩිපුර කණගාටු නොවන බව ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි පවසයි. එහෙත් ප්‍රතිවාදින්ට අයුතු ප්‍රයෝජන ගැනීමට කිසිදු ඉඩක් ලබානොදීමට ඒ දුර්වලතාව ගැන අවධානය යොමු කරන බවත් හෙතෙම කීවේය.

පසුගිය වසරේ දී ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹා යාමේ දී ශ්‍රී ලංකා පිලේ දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් හමුවේ දැඩි පසුබෑමකට ලක්වී ලකුණු 112 කට ඉනිම නිමාවීමෙන් ඉන්දීය පිල දඟපන්දු යවන්නන් හමුවේ පත්වන අසීරුතාව ගැන විවේචන රැසක් මතුවී තිබිණි.

කෙසේවෙතත් කාන්පූර් හී ග්‍රීන් පාක් ක්‍රීඩාංගණයේ දී නවසීලන්තයට එරෙහිව හෙට (22) ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ වැඩි වාසි දඟපන්දු යවන්නන් සතුවනු ඇතැයි දැනටමත් අනාවැකි පළවී ඇති බැවින් විරාට් කෝලිගේ කණ්ඩායමට මුහුණදීමට සිදුවී ඇත්තේ සුළුපටු අභියෝගයකට නම් නොවේ.

මේ තරගය ඉන්දිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 500 වැනි ඓතිහාසික ටෙස්ට් තරගය වන බැවින් වැඩි අවධානයක් යොමුවී ඇති අතර එය අන්තර්ජාතික ටෙස්ට් ක්ෂේත්‍රයේ කාගෙත් උනන්දුව ඉහළ දැමීමට සමත්වි තිබේ.

ඉන්දීය ටෙස්ට් ඉතිහාසයේ 500 වැනි තරගයේ ආරම්භක අවස්ථාවට එරට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයන්ද එක්විමට නියමිත බැවින් විරාට් කෝලිට සහ ඔහුගේ පිරිවරට වෙනදාට නොදැනෙන චකිතයක් ඇතිවනු ඇතැයි කවුරුත් අනුමාන කරති.

මෙවැනි ඓතිහාසික අවස්ථාවක් නිකරුණේ විනාශ කරගැනීම කොහෙත්ම හිතකර නොවන බැව් විචාරකයන්ද  පුන පුනා කියා සිටිති. මෙවැනි වාතාවරණයක් යටතේ සිය පිතිකරුවන් දඟපන්දු යවන්නන් හමුවේ තව දුරටත් අසීරුතාවට පත්වන්නේ නම් එහි ලජ්ජාවත් තමාටම විඳ දරාගැනීමට සිදුවන බව කෝලිට අමුතුවෙන් කියා දිය යුතු නැතැයි ද විචාරකයෝ කියති.

කාන්පූර් තණතීරුව කවදත් දඟපන්දුවට වාසිදායක බවත්, එය හිටි හැටියේම පන්දුව දඟකැවීමේ අනතුරුදායක ඉතිහාසයකට හිමිකම් කියන බවත් ප්‍රසිද්ධ රහසකි.

“මං හිතන්නේ ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. නමුත් අපි ඒ ගැනත් අවධානයෙනුයි ඉන්නේ. ඒ දුර්වලතාව ඉක්මනින්ම මඟ හරවා ගත යුතු බව අපි දන්නවා.” කෝලි වාර්තාකරුවන්ට එසේ කීවේය.
ඔහු තර්ක කරන්නේ ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයෙන් පරාජයට පත්වූයේ තම ක්‍රීඩකයන් වෙනදා තරම් හොඳින් දඟපන්දුවට මුහුණ නොදුන් නිසා බවටයි.

“ඒ තරගයේ දී අපි අපේ පිතිහරඹ සැලසුම හරියට සම්පූර්ණ කරගත්තේ නෑ. නමුත් අපි ඒ වරද පිළිගන්නවා. අපිට ඒ පැත්ත ගැනත් වැඩිපුර හිතන්න වෙනවා තමයි. අපි කවදත් සැලසුමට අනුව තමයි පිතිහරඹයේ නිරතවෙන්නේ. එංගලන්තයේ, නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, දකුණු අප්‍රිකාවේ වගේ රටවලදී අපි වේගපන්දු ගැන සැලකිලිමත් වෙනවා. ඒත් ඇත්තටම අපි දඟපන්දුව ගැන ඒ හැටි අවධානය යොමු කරලා නැති බව ඇත්ත. ඉතින් ඒ අංශය ගැන අපේ අවධානය වැඩි කරන්න ඕනා” යයි ඔහු කීවේය.

“අපි පුහුණුවෙන්නේ සියුම් දේවල් ගැනයි. අපිට ශූරයන් වෙන්න ඕනෙ නම් ප්‍රතිවාදින්ට ඔවුන්ගේ සැලසුම සාර්ථක කරගන්න ඉඩ නොදිය යුතුයි. ඒ ගැන තමයි අපි හිතන්නේ”

“හොඳම දේ තමයි අපි වැඩිපුර ටෙස්ට් තරගවලට ක්‍රීඩා කිරීම” යයි කී විරාට් කෝලි….
“ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ ආධිපත්‍ය පතුරුවාලීමට අවශ්‍ය හැම දෙයක්ම අපිට තියෙනවා. විශ්වාසය ඇති කරගැනීම තමයි වඩාත් වැදගත්ම දේ….තරුණ ක්‍රීඩකයන් වැඩි දෙනකුට තියෙන ප්‍රශ්නය තමයි ඒක”
“මට ඊළඟ තරගයට ක්‍රීඩා කරන්න ලැබේවිද…මගේ ස්ථානය සුරක්ෂිත ද කියන කාරණාව ඔවුන්ගේ මනසේ හොල්මන් කරනවා. ඉතින් විශ්වාසය ඇති කරගැනීම හැමදේටම වඩා වැදගත් කියලයි මං හිතන්නේ” යයි ඉන්දීය ටෙස්ට් පිලේ නායකයා පැවසීය.

“ඔබ පිටියට යද්දී තමාටම කියාගන්න ඕනා කණ්ඩායමේ මගේ ස්ථානය තව අවුරුදු 10කට වෙනස් වෙන්නේ නෑ කියලා. අන්න ඒ විදිහට තමයි තමා තුලම විශ්වාසය ගොඩනගා ගන්න ඕනා. ඉතා ශූර විදිහට ක්‍රීඩාවේ නිරතවෙන්න ඕනා. අවදානම බාරගන්න ඕනා” කෝලි කියන්නේ එසේය.

නවසීලන්ත කණ්ඩායම ඉතා හොඳ ප්‍රතිවාදීන් බව කියන ඉන්දීය නායකයා ඔවුන් හඳුන්වා දෙන්නේ ශ්‍රේණිගත කිරිම් ලැයිස්තුව එහා මෙහා කිරිමේ පෙරළිකාරයන් ලෙසිනි.

චිකන් ගුන්යා රෝගය වැළඳීම නිසා හෙට තරගයට ඉන්දිය වේගපන්දු යවන ක්‍රීඩක ඉෂාන්ත් ෂර්මාට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නැත. එබැවින් බුවනේෂ්වර් කුමාර්ට වැඩි වගකීමක් කරපින්නා ගැනීමට සිදුවී තිබේ.
කෙසේවුවත් පන්දු යවන්නන් පස්දෙනකුගෙන් ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමේ පුරුද්දක් ඇති ඉන්දීය පිල හෙට තරගයේදී පන්දු යවන්නන් ලැයිස්තුවට ඇතුළත් කරගන්නා පන්දු යවන්නන් ගණන අවසන් මොහොත දක්වා තීරණය නොකරන බවට සහතික කරයි.

අනික් කාරණය ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ට හෙට තරගයේදී අවස්ථාවක් නොලැබීමය. ඒ වෙනුවට ඔවුන් ලෝකේෂ් රාහුල් කෙරෙහි වැඩි බලාපොරොත්තු රඳවා තබාගෙන සිටි.

මේ අතර ආබාධයට ලක්විම නිසා ඉන්දීය ටෙස්ට් තරගාවලිය අහිමිවී ගිය නවසීලන්තයේ ලොකුම වේගපන්දු තුරුම්පුව වන ටිම් සවුති සහ ජේම්ස් නීෂම් වෙනුවට ටේ‍රන්ට් බෝල්ට් සමග දඟපන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කරවීම නවසීලන්තයේ අභිප්‍රාය වී තිබේ.

ඒ අතින් බැලු විට නවසීලන්තය සිය ප්‍රතිවාදීන්ගේ දඟපන්දු යවන්නන්ට මුහුණදීමට ඇති චකිතය ගැන කෝලිට වඩා වැඩිපුර අවධානය යොමු කොට ඇතැයි පෙනෙන්නට තිබේ.


- 077