Category Archives: WI PAK

කොදෙව්වෝ සටන්කාමී පිතිහරඹයකට පිවිසෙති

පාකිස්තානු දඟපන්දු යවන්නන්ගේ පරීක්ෂණයට සාර්ථකව මුහුණදුන් ඩැරන් බ්‍රාවෝ සහ මාලන් සැමුවෙල්ස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවා/රාත්‍රී ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමාවෙද්දී බටහිර ඉන්දීය කොදෙව් පිලේ පළමු ඉනිම ලකුණු 300න් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.


පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 3 කට ලකුණු 579 ක් ලබා ඉනිම අත්හිටුවීමෙන් පසුව පෙරේදා සිය පළමු ඉනිම ආරම්භ කළ කොදෙව් පිල එදිනම එක් කඩුල්ලක් අහිමිකරගත්තත්, ඊයේ රාත්‍රීය පුරා දැඩි වෙහෙසකින් පසුව ඉනිම යන්තම් පිළිසකර කරගත්තේය. ඊයේ රාත්‍රී තරගය නිමා වෙද්දී සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 කට ලකුණු 315 ක් රැස් කිරිමට කොදෙව් පිල සමත්ව සිටියේය.


එසේ වුවත් ඔවුහු පාකිස්තානු පළමු ඉනිමට වඩා ලකුණු 264 ක්ම තවමත් පසුපසින් සිටිති.


ඊයේ පස්වරුවේ තරගය ආරම්භ වූ සැනින්ම ක්‍රෙග් බ්‍රැත්වේට්ගේ කඩුල්ල බිඳ දැමූ යසීර් ෂා සෙසු පිතිකරුවන්ට මුහුණදීමට ඇති පීඩනයේ තරම හොඳින් කියා දුන්නේය. එසේ වුවත් පාකිස්තානුවන්ගේ අභියෝගය නොසැලී බාරගත් ඩැරන් බ්‍රාවෝ සහ මාලන් සැමුවෙල්ස් ඉතා ප්‍රවේශමෙන් ලකුණෙන් ලකුණ එකතු කරමින් කොදෙව් ඉනිම පිළසකර කරන්නට පටන් ගත්හ.


කඩුලු 2 කට ලකුණු 69 ක්ව තිබූ කොදෙව් ඉනිම මේ දෙදෙනා එක්ව 182 දක්වා ඉහළට ඔසවා තැබීමට සමත්වූයේ වැලි කුණාටු තරමට ප්‍රචණ්ඩ පාකිස්තානුවන්ගේ පන්දු යැවීම හමුවේ නොසැලී සිටිමිනි.


දෙදෙනා එක්ව සටන්කාමී අර්ධ ශතක දෙකක් ලබාගත්තත් රාත්‍රී ආහාරයට ස්වල්ප වේලාවකට පෙර මාලන් සැමුවෙල්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමට  සොහේල් ඛාන් සමත් විය. ඒ වන විට මෙම කොදෙව් පිතිකරුවන් දෙදෙනා තුන්වැනි කඩුල්ලට ලකුණු 113 ක සම්බන්ධතාවක් ද ගොඩනගා තිබිණි.


සැමුවෙල්ස්ගේ දැවීයාමෙන් පසුව ජර්මේන් බ්ලැක්වුඞ් පැමිණ සිය ජ්‍යෙෂ්ඨ පිතිකරුවාට කදිම සහයක් ලබා දුන් අතර කල්පනාකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් සිවුවැනි කඩුල්ලට ලකුණු 77 ක් ද එක් කිරිමට ඔව්හු සමත් වූහ.  


ඒ වෙද්දී කඩුලු 3 කට ලකුණු 259 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවූ කොදෙව් පිලේ කඩුලු දෙකක් පිට පිට ඕවර දෙකකදී බිඳ දමා තරගයේ වාසිය නැවතත් තමන් වෙත හරවා ගැනීමට වහාබ් රියාස් ඉදිරිපත් විය. දෙවැනි නව පන්දුව ගැනීමෙන් පසුව ඔහු යැවූ ඉනිමේ 91 වැනි ඕවරයේදී කඩුලු රකින සර්ෆ්‍රාස් අහමඞ් වෙත උඩපන්දුවක් දීමෙන් බ්ලැක්වුඞ් දැවීගිය අතර ඔහුගේ ඊළඟ ඕවරයේදී රොස්ටන් චේස් දැවී ගියේ බාබර් අසාම් වෙත උඩපන්දුවක් යවමිනි.


කෙටි පන්දුවලට ඇවිස්සෙන සුලු ගතියක් පෙන්නුම් කළ බ්ලැක්වුඞ් දවාගැනීමට එයම ආයුධයක් කොටගත් රියාස් දැමූ කෙටි පන්දුවට ජැමෙයිකානුවා ගැසූ පහර වැරැදී යාමෙන් පිත්තේ අග ගැටුණු පන්දුව කෙළින්ම ගියේ කඩුලු රකින්නා වෙතය.


ඔහු චේස් දවාගත්තේ පා ඉන්න පැත්තෙන් ස්ලිප් ක්‍රීඩකයකු යොදවා යැවූ තවත් කෙටි පන්දුවකිනි. ඊට ආරක්ෂාකාරී පහරක් ගැසීමට යාමෙන් පන්දුව නැවතුණේ ලෙග් ස්ලිප්හි හි සිටි අසාම්ගේ අතේය. ඉන් නොනැවතුණු රියාස් නවක පිතිකරු ශේන් ඩවුරිච් ද කෙටි පන්දුවේ පරීක්ෂාවට ලක් කළ අතර ඉන් එකක් මේ තරුණ පිතිකරුවාගේ ආරක්ෂිත හිස් වැස්මත් තලා දැමුවේය.


ශතකයට ලකුණු 13 ක් අඩුවී තිබියදී බ්‍රාවෝගේ සටන්කාමී ඉනිම නිමාවට පත්වෙද්දී කොදෙව් ඉනිම හරියටම ලකුණු 300කි. අසාර් අලී වෙත උඩපන්දුවක් දී බ්‍රාවෝ ක්‍රීඩාගාරයට ගියේ මොහොමඞ් නවාස්ට මංගල ටෙස්ට් කඩුල්ල පිරිනැමීමෙන් පසුවය.


පාකිස්තානය පළමු ඉනිම –  කඩුලු 3 ක් දැවී ලකුණු 579 යි.
(සැමී අස්ලාම් 90, අසාර් අලී නොදැවී 302, අසාඞ් ශෆීක් 67, , බාබර් අසාම් 69, මිස්බා උල් හක් නොදැවී 29, දේවේන්ද්‍ර බිෂූ 125/2, රොස්ටන් චේස් 109/1)


කොදෙව් පිල පළමු ඉනිම – කඩුලු 6 ක් දැවී ලකුණු 315 යි.
(ක්‍රෙග් බ්‍රැත්වේට් 32, ඩැරන් බ්‍රාවෝ 87, මාලන් සැමුවෙල්ස් 76, ජෙරමින් බ්ලැක්වුඞ් 37, ශේන් ඩවුරිච් නොදැවී 27, සොහේල් ඛාන් 56/1, යසීර් ෂා 97/2, වහාබ් රියාස් 53/2, මොහොමඞ් නවාස් 38/1)


 – 077

 

අසාර් අලිගේ ති‍්‍රත්ව ශතකය වාර්තා පොතට

අන්තර්ජාතික කි‍්‍රකට් ඉතිහාසයේ සිය නාමය රන් අකුරින් කොටා දැමූ පාකිස්තානයේ ආරම්භක පිතිකරු අසාර් අලී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු දිවා රාතී‍්‍ර ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ ආධිපත්‍ය පතුරුවාලමින් වාර්තාගත ති‍්‍රත්ව ශතකයක් රැස් කිරීමට සමත්විය. එය වසර 58 කට පසුව කොදෙව් කණ්ඩායමකට එරෙහිව වාර්තා වූ පළමු ටෙස්ට් ති‍්‍රත්ව ශතකය විය.

අසාර් අලී එම ස්වර්ණමය කඩඉම පසුකළ සැනින්ම ඉනිම අත්හිටුවීමට අනික් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි නායක මිස්බා උල් හක් තීරණය කරද්දී පාකිස්තානුවෝ කඩුලූ 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 579 කි.

පැය 11 කට වැඩි කාලයක් පන්දු යවමින්ද, පන්දු රකිමින් ද දැඩි වෙහෙසට පත්ව සිටි කොදෙව් පිල දිනය නිමාවනවිට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 69 ක් ලබා සිටියේය.

එය රෝස පැහැති පන්දුවෙන් කෙරෙන දිවා/රාතී‍්‍ර ටෙස්ට් තරගයක වාර්තා වූ පළමු ති‍්‍රත්ව ශතකය විය. මේ අසාමාන්‍ය වාර්තාව නම් සෑහෙන කාලයකට නොබිඳී පවතින එකක් වනු ඇතැයි විචාරකයන් අනාවැකි පළ කරද්දී තවත් වාර්තා ගණනාවකින් ඊයේ දිනය අමරණීය එකක් බවට පත් කරගැනීමට 31 හැවිිරිදි අසාර් අලි සමත්වීය.

කොදෙව් පන්දු යවන්නන් තුට්ටුවකට මායිම් නොකළ අසාර් අලී ඔවුන්ගේ පන්දුවලට මුහුණ දුන්නේ රාතී‍්‍ර කාලයේ නිදි වර්ජිතව පුහුණුවීම්වල නිරතවන්නකු සේය. ප‍්‍රතිවාදී පන්දු යවන්නන් අන්තිම අඩියට ඇද දැමූ හෙතෙම අසාඞ් ශෆීක් සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 137 ක සම්බන්ධතාවක් ගොඩනැගුවා මදිවට සිය මංගල ටෙස්ට් ඉනිම කී‍්‍රඩා කළ යොවුන් පිතිකරු බාබර් අසාම් හා එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 165 ක්ම එකතු කළේ කොදෙව් පන්දු යවන්නන්ට කී‍්‍රඩාව එපාවන තරමටම ලෙල්ලම් කරවමිනි.

මිනිත්තු 658 ක් කඩුල්ලේ රැුඳී සිටි අසාර් අලී සිය ති‍්‍රත්ව ශතකය වාර්තා කළේ පන්දු 469 කිනි. හතරේ පහර 23 කින් සහ හයේ පහර 2 කින් වර්ණවත් වූ අලීගේ ති‍්‍රත්ව ශතකය පාකිස්තාන ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ සිවුවැනි ති‍්‍රත්ව ශතකය ලෙස වාර්තා පොතට එක්විය. ඊට පෙර 1958 දී හනීෆ් මොහොමඞ් කොදෙව් පිලටම එරෙහිව ලකුණු 337ක් රැස් කළ අතර ඉන්සමාම් උල් හක් නවසීලන්තයට එරෙහිව 2002 දී ලකුණු 329 කුත්, යූනිස් ඛාන් ශී‍්‍ර ලංකාවට එරෙහිව 2009 දී ලකුණු 313 කුත් ලබා ගත්හ.

පෙරේදා තරගය නතර කරන විට ලකුණු 146 ක් ලබා සිටි අසාර් අලී සිය සුපුරුදු පිති හරඹ රිද්මය නිදහසේ පවත්වාගෙන ගිය අතර රාතී‍්‍ර ආහාරයට තරගය නවත්වද්දී නොදැවී ලකුණු 272 ක් ලබා සිටියේය.

මේ ලකුණු පාරාදීසයේ සිය මංගල ටෙස්ට් ඉනිම කී‍්‍රඩා කළ බාබර් අසාම් අගනා අර්ධ ශතකයක් වාර්තා කිරීම කැපී පෙනුණි. ඔහු පිටියට පැමිණියේ පන්දු යැවූ දේවේන්ද්‍ර බිෂූ අතටම උඩපන්දුවක් දී අසාඞ් ශෆීක් දැවී ගිය බැවිනි. සිය ජ්‍යෙෂ්ඨ පිතිකරුවාගේ ඉනිම ආදර්ශයට ගත් අසාම් පිතිහරඹයේ යෙදුණේ මනා සංයමයකින් යුතුවය. බිෂූගේ පන්දුවකටම ජේසන් හෝල්ඩර් වෙත උඩපන්දුවක් දී ඔහු දැවී යද්දී අසාර් අලී ලකුණු 250 සීමාවත් පසුකොට තිබිණි.

සිය ඉනිම අතරතුර ටෙස්ට් ලකුණු 4000ත් පසු කළ අසාර් අලී මේ සුවිශේෂී වාර්තා ගොන්නම තැබුවේ තම 50 වැනි ටෙස්ට් තරගයේදී වීමත් වාර්තාවක් බවට පත්වීය. එමෙන්ම මේ තරගය පාකිස්තානු පිල කී‍්‍රඩා කරන 400 වැනි ටෙස්ට් තරගය ද විය.

පාකිස්තානය පළමු ඉනිම – කඩුලූ 3 ක් දැවී ලකුණු 579
(සැමී අස්ලාම් 90, අසාර් අලී නොදැවී 302, අසාඞ් ශෆීක් 67, , බාබර් අසාම් 69, මිස්බා උල් හක් නොදැවී 29, දේවේන්ද්‍ර බිෂූ 125/2, රොස්ටන් චේස් 109/1)

කොදෙව් පිල පළමු ඉනිම – කඩුල්ලක් දැවී ලකුණු 69
(ක්‍රෙග් බ‍්‍රැත්වේට් නොදැවී 32, යසීර් ෂා 13/1)

 

-077

 

 

අසාර් අලිට සුවිශේෂී සමාජයක සාමාජිකත්වය


ආසියානු ටෙස්ට් ක්‍රීඩාවට නව පිටුවක් එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (13 වැනිදා) ආරම්භ වූ පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ පළමු දිනය වාර්තා ගොන්නකින් වර්ණවත් කිරීමට පාකිස්තානයේ ආරම්භක පිතිකරු අසාර් අලී සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් පාකිස්තානය දිනය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 279 ක් ලබා තරගයේ වාසිය අත්කරගෙන සිටියේය.

තමා දවාලීමට කොදෙව් පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් නොදුන් අසාර් අලී අකුරටම කඩුල්ල පරිස්සම් කිරීමට වග බලාගත්තේ සිය 11 වැනි ටෙස්ට් ශතකයට හිමිකම් කියමිනි. එය අන්තර්ජාතික දිවා රාත්‍රී ටෙස්ට් පිටියේ පළමු ශතකය ලෙසින්ද වාර්තාපොතට එක්විය.

පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් වංශකතාව වර්ණවත් කළ අසාර් අලි මෙම ඉනිමත් සමගින් සුවිශේෂී පිතිකරුවන් ගොන්නක් අතරට ඇතුළත් විය. සිය පළමු ටෙස්ට් තරග 50 දී ශතක 10 කට වැඩියෙන් ලබා ගත් පාකිස්තානු පිතිකරුවන් වන්නේ හනීෆ් මොහොමඞ් (12), යුනිස් ඛාන් (12) සහ මොහොමඞ් යූසූෂ් (11( සහ අසාර් අලි (11) සිවුදෙනාය.

පිතිකරුවන්ගේ පාරාදීසයක් වී ඇති ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉනිම ඇරැඹූ ආරම්භක පිතිකරුවන් වන සමී අස්ලාම් සහ අසාර් අලී බටහිර ඉන්දීය කොදෙව් පිලේ පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නන් ද විඩාවට පත් කරමින් පළමු කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාව 215 කි.

ආරම්භයේ සිටම ඉතා කල්පනාකාරී පිතිහරඹයක යෙදුණු මේ දෙදෙනා කොදෙව් පිලේ සියලුම පන්දු යවන්නන්ට හිතේ හැටියට සංග්‍රහ කරමින් රාත්‍රී ආහාරය වෙද්දී පාකිස්තානු ඉනිම කිසිවකු නොදැවී ලකුණු 172 දක්වා ඉහළ දැමූහ.

ඉතා කඩිසර ලෙස පාද හසුරුවමින් පන්දු රකින්නන් අතර හිදැස් තෝරා බේරා ගනිමින් පන්දුව හතරේ සීමාවට යැවූ 20 හැවිරිදි සමී අස්ලාම් සිය මංගල ටෙස්ට් ශතකයට ලකුණු 10 ක් අඩුවෙන් සිටියදී දැවී ගියේ රොස්ටන් චේස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදිනි.

අනතුරුව පිටියට පිවිසි අංක 3 පිතිකරු අසාඞ් ශෆීක් සිය පිතිහරඹ නිපුණතාව මනාව පෙන්වමින් දිනය නිමාවනතුරු කඩුල්ල රැක ගත්තේ අසාර් හා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 64 ක නොබිඳුණු සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි.

පළමු දිනයේ සියලු ගෞරව තමා සන්තකට ගෙන සිටි අසාර් අලී මේ ඓතිහාසික ටෙස්ට් තරගයේ පළමු ශතකය වාර්තා කිරීමේ භාග්‍ය උදා කරගත්තා පමණක් නොව තවත් වාර්තා කිහිපයක් ද තම නමට ලියා තැබීමට සමත්විය. තවමත් 31 හැවිරිදි මේ දකුණත් පිතිකරුවා ඊයේ සහභාගි වූයේ සිය 50 වැනි ටෙස්ට් තරගයටය.

ආශ්චර්යමත් සිදුවීම වන්නේ එය පාකිස්තානයේ 400 වැනි ටෙස්ට් තරගය ද වීමයි.

මීට පෙර ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඞ් නුවර දී ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර පැවැති පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරගයේ දී වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී පීටර් නෙවිල් ලබාගත් ලකුණු 66 යි.

ඊයේ දිනයේදී කැපී පෙනෙන සිදුවීම වූයේ මේ කිසිදු පිතිකරුවකු හතරේ සීමාවට ඉහළින් පන්දුව යැවීමට උත්සාහ නොකිරීමයි.

අස්ලාම්ගේ ඉනිම හතරේ පහර 9 කින් ද, අසාර්ගේ නොදැවුණු ඉනිම හතරේ පහර 14 කින් ද, ශෆීක්ගේ නොදැවුණු ඉනිම හතරේ පහර 4 කින් ද වර්ණවත් වූවා මිස හතරේ සීමාවට ඉහළින් පන්දුව යැවීමට හදිස්සියක් තිබුණේම නැත. කෙසේ වෙතත් පෙනෙන හැටියට නම් පාකිස්තානයට මේ ටෙස්ට් තරගයේ දී දෙවතාවක් පිතිහරඹයේ යෙදෙන්නට කිසිදු බලාපොරොත්තුවක් නැති සැටියකි.

ටෙස්ට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන්ගේ උනන්දුව වැඩි කරවීමේ අරමුණ ඇතිව ආරම්භ කළ දිවා/රාත්‍රී ටෙස්ට් තරගයට වැඩි පිරිසක් එතැයි සිතා සිටියත් දවස පුරාම එසේ වූයේ නැත. එහෙත් සිය අර්ධ ශතක හා ශතක වාර්තා කළ සෑම මොහොතකදීම පිත්ත ඔසවා හිස් අසුන්වලට ආචාරය පුද කිරීමට පිතිකරුවන් දෙදෙනාම කටයුතු කළේ පුරුද්දට විය යුතුය.

ආසියාවට ආගන්තුක රෝස පැහැ පන්දුව විනිසුරුවන්ගේ පරීක්ෂාවට ලක්වූ අවස්ථා කිහිපයක්ම තිබිණි. ඒ අතරතුර විදුලි ආලෝකයේ තත්ත්වය ගැන අවධානය යොමු කළ අවස්ථාවන් ද එමටය. එහෙත් රෝස පැහැ පන්දුව මෙන්ම ආලෝකයද පළමු දිනයේ දී විනිසුරු පරීක්ෂාවෙන් සමත්විය.


පාකිස්තානය පළමු ඉනිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 279යි
(සැමී අස්ලාම් 90, අසාර් අලී නොදැවී 146, අසාඞ් ශෆීක් නොදැවී 33, රොස්ටන් චේස් 63/1)


 – 077

 

කොදෙව්වන්ට 3-0 ක තවත් සුද්දයක්

අන්තර්ජාතික එක්දින කි‍්‍රකට් පිටියේ පිට පිට ශතක 3 ක් ලැබූ තුන්වැනි පාකිස්තානු පිතිකරුවා බවට පත්වූ යොවුන් පිතිකරු බාබර් අසාම්ගේ පිතිහරඹය නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ශේක් සයිඞ් කී‍්‍රඩාංගණයේ දී ඊයේ රාතී‍්‍ර  පැවැති තුන්වැනි එක්දින තරගයේදීත් බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 135 කින් පරාජය කිරීමට පාකිස්තානුවෝ සමත් වූහ. මෙම ජයත් සමගින් එක්දින තරගාවලියද 3-0 ක් ලෙසින් ජයගැනීමට පාකිස්තානු පිලට හැකිවිය.

විස්සයි:20 තරගාවලියේදීත් කොදෙව් පිල තරග 3-0 කින් පරාජය කරමින් සම්පූර්ණ සුද්දයක් දීමට පාකිස්තානුවෝ  සමත් වූහ.

බාබර් අසාම් සහ නායක අසාර් අලී දෙදෙනාම ශතක රැස් කරමින් පළමුව පන්දුවට පහරදුන් ්පාකිස්තානු පිලට ගෙනදුන් ලකුණු 308 හඹා ගිය කොදෙව් පිල ලකුණු 172කට දැවී ගියේ තරගාවලියේ ජය පමණක් නොව අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අතර තිබූ අටවැනි තැනත් නැති කරගනිමිනි.

පාකිස්තානය ප‍්‍රසාද ලකුණු 89 ක් ලබා  ශ්‍රේණිගත කිරීම් අතර අටවැනි තැන සිටින අතර ඊට වඩා එක් ලකුණක් පහළින් සිටින කොදෙව්වන්ට හිමිවී ඇත්තේ 9 වැනි  තැනය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයේ නායක අසර් අලි සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 85ක් එකතු කළ සාර්ජිල් ඛාන් දැවී ගියාට පසුව අසාම් පිටියට පිවිසියේය. සිය නායකයා සමග එක්වූ බාබර් අසාම් කී‍්‍රඩා කළේ එහෙම පිටින්ම වාර්තාගත ඉනිමකි.

තව දින 10 කින් සිය 22 වැනි උපන්දිනය සමරන මේ දකුණත් පිතිකරුවා කොදෙව් පන්දු යැවීමේ බලඈණිය තුට්ටුවකටවත් මායිම් නොකරමින් අත දිගහැර ලකුණු රැුස් කරමින් හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමග සිය ශතකය වාර්තා කළේ පන්දු 95 කිනි.

ඒ සමගම සහීර් අබ්බාස් සහ සයිඞ් අන්වර්ගෙන් පසුව එවැනි හපන්කමක් කළ තුන්වැනි පාකිස්තානුවා බවට පත්වූ අසාම් අන්තර්ජාතික එක්දින පිටියේ එවැනි දස්කමක් පෙන්වූ අටවැන්නා ද විය. ලෝක එක්දින පිටියේ පිට පිට එක්දින ශතක හතරක් වාර්තා කිරීමේ අසාමාන්‍ය දස්කමක් පෙන්වා ඇත්තේ කුමාර් සංගක්කාර පමණි. ඒ මදිවාට ඔහු අසාර් හා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 147 ක් එකතු කිරිමට සමත්විය. ඔහුට අනගි සහයක් ගෙන දුන් පාකිස්තානු නායකයා ඊයේ හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමග සිය ශතකය වාර්තා කළේ පන්දු 107 කිනි.

අසාම්ගේ ශතකයක් සමග අලූත් වූ වාර්තා ගොන්නේ තවත් එකක් වන්නේ ඊයේ ඉනිමත් සමග එක්දිනතරග 10 කදී ලකුණු 886 ක් ලබා අඩුම එක්දින තරග ප‍්‍රමාණයකින් එවැනි ලකුණු සංඛ්‍යාවක් ලැබූ ලොව එකම පිතිකරු ලෙසිනි. ඊට පෙර එම වාර්තාවට අයිතිය කීවේ ශී‍්‍රමත් විවියන් රිචඞ්ස්ය. ඔහු එක්දින තරග 10 කදී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 883 කි.

ඊට අමතරව එක්දින පිටියේ පිට පිට ශතක තුනක් ලැබූ ලොව දෙවැනි ළාබාලතම පිතිකරු වන්නේ ද අසාම්ය. එහි මුල් තැන සිටින්නේ ඉන්්දියාවට එරෙහිව එම වාර්තාව තැබූ දකුණු අපි‍්‍රකාවේ ක්විටන්ටන් ඩි කොක්ය. එහෙත් කොක් දෙවැනි තැනට ඇද දමා වෙනත් වාර්තාවක් උදුරාගැනීමට අසාම් සමත්වූයේ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවාගේ වාර්තාවයි. කොක් ඊට පෙර ඉන්දියාවට එරෙහිව ලකුණු 342 ක් ලැබූ අතර ඊයේ තරගය නිමාවත් සමග කොදෙව්වන්ට එරෙහිව පැවැති තරගාවලියේ අසාම් ලැබූ මුලූ ලකුණු සංඛ්‍යාව 360 කි.

එකී නොකී වාර්තා සියල්ල අත්පත් කරගත් බාබර් අසාම්ගේ සුපිරි ඉනිමත්, අසාර් අලීගේ නායකත්වයේ ඉනිමත් මත කොදෙව්වන් හමුවේ තැබූ ඉලක්කය බෙහෙවින් අසීරු එකක් විය.

ප‍්‍රතිවාදීන් සාර්ථක හඹායාමක් ආරම්භ කළද පළමු කඩුල්ල දවාගත්තේ සොයිබ් මලික්ය. ඔහුගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී ක්‍රෙග් බ‍්‍රැත්වේට් දැවීයද්දී පළමු කඩුල්ලේ සම්බන්ධතාව 45කට සීමා විය.

අනතුරුව කිසිදු පිතිකරුවකුට තැන්පත්වීමට පාකිස්තානු පන්දු යවන්නෝ ඉඩ නොතැබූහ. කොදෙව් පිලේ මුලූ ලකුණු සංඛ්‍යාව 159 වනවිට නමගිය පිතිකරුවන් 6ක්ම නරඹන්නන් බවට පත්වී සිටියහ. ලකුණු 161දී 41 වැනි ඕවරය යැවූ මොහොමඞ් නවාස් ඒ  ඕවරය තුල දී කඩුලූ 2ක්ම දවාලමින් කොදෙව්වන්ගේ පරාජය ඉක්මන් කරවීය. අනතුරුව 44 වැනි ඕවරය යැවූ වහාබ් රියාස් පළමු පන්දුවෙන්ම 9 වැනි කඩුල්ල ලෙස අල්සාරී ජෝශප් දවාලූ අතර අවසන් පන්දුවෙන් එතෙක් සාර්ථකව පන්දුවට මුහුණදුන් දිනේෂ් රාම්ඩින් දුවද්දී දැවී ගියේය.

 

පාකිස්තානය – කඩුලූ 6ක් දැවී  ඕවර 50ක දී ලකුණු 308

(අසාර් අලී 101, සර්ජිල් ඛාන් 38, බාබර් අසාම් 117, සර්ෆ‍්‍රාස් අහමඞ් නොදැවී 24, අල්සාරි ජෝශප් 62/2)

කොදෙව් පිල – සියලූ දෙනා දැවී  ඕවර 44කදී ලකුණු 172

(ක්‍රෙග් බ‍්‍රැත්වේට් 32, එවින් ලූවිස් 22, දිනේෂ් රැම්ඞීන් 37, ජේසන් හෝල්ඩර් 26, මොහොමඞ් නවාස් 40/3, වහාබ් රියාස් 28/2)

 

- 077

පාකිස්තානුවෝ තවත් සුද්දයකට සැරසෙති

තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගමාලාවට යාමට පෙර සිය බැටරියට සැර කැවීමට කුරුමානම් අල්ලන පාකිස්තානය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ශේක් සයිඞ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වැනි හා අවසන් එක්දින තරගයත් ජයගැනීමට සූදානම් වන්නේ කොදෙව්වන් මානසිකව බිමට සමතලා කිරීමේ අටියෙනි.

දැනටමත් තරග 2-0 කින් එක්දින තරගාවලිය ජයගෙන සිටින සත්කාරකයෝ හෙට තරගයත් ජයගෙන සංචාරකයන් 3-0 කින් සම්පූර්ණයෙන් සුද්ද කිරීමට බලා සිටින අතර අඩුම තරමේ එක් තරගයක් හෝ දිනා හිස කෙළින් කරගන්නේ කෙලෙසදැයි කොදෙව් පිල කල්පනා කරමින් සිටී.

විස්සයි:20 ලෝක ශූරයන් වන නමුත් වි:20 තරගාවලියේදී අත්කරගත් 3-0 තරගාවලි පරාජයද කොදෙව්වන්ගේ සිත් තුළ හොල්මන් කරමින් පවතී.

තරගාවලියේ වැඩි වාසි තම කණ්ඩායමට ඇති බැවින් කොදෙව් පිලේ ගෙලට තැබූ පය මඳකට බුරුල් කළත් තරගාවලිය නිමා වන තුරු ආපසු හැරී නොබැලීමට පාකිස්තානුවන් තීරණය කොට ඇත්තේ 2017 වසරේ සැප්තැම්බර් 30 වැනිදා වනතුරු පැවැත්වෙන සෑම එක්දින තරගයකම ප්‍රතිඵලය වසර 2019 ලෝක කුසලාන තරගාමාලාවට වැදගත් වන බැවිනි. සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් තොරව 2019 ලෝක කුසලන තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් 2017 සැප්තැම්බර් 30 වැනිදා වන විට එක්දින ශ්‍රේණිගත කිරිම්වල පළමු අට අතරේ රැඳී සිටීය යුතුය.

‘දියුණු වෙන්න කාලයක් යනවා…‘ පාකිස්තාන එක්දින පිලේ නායක අසාර් අලී එසේ කීවේ කොදෙව් පිලට එරෙහිව එක්දින තරගාවලිය ජය වාර්තා කළ දෙවැනි තරගයෙන් පසුවය.

“අපි කණ්ඩායමක් හැටියට ගොඩනැගෙන්න පටන් ගත්තේ පසුගිය එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුවයි….අපිට අවුරුදු එකහමාරක් ගියා නැවත නැගී සිටින්නට. අපේ ජාතියට කිසිම ඉවසීමක් නෑ. එයාලට ඕනේ කරන්නේ ක්ෂණිකවම දිනන්න” යයි අසාර් අලී අවධාරණයෙන් කීවේය.

කෙසේවුවත් පාකිස්තානුවන් අන්තර්ජාතික එක්දින පිටියේ පෙරළි කරන්නට යළිත් පටන් ගෙන තිබේ.
පෙනෙන හැටියට අද තරගයේදී පාකිස්තානු පිලේ සිදුකෙරෙනු ඇතැයි අනුමාන කළ හැකි එකම වෙනස්කම වන්නේ සිය මව ඉතා බරපතල ලෙස රෝගාතූරවී සිටින බැවින් වහා පාකිස්තානය බලා ගිය  වේග පන්දු යවන මොහොමඞ් ආමීර් වෙනුවට රහාත් අලි කණ්ඩාමට එක්වීමට පමණි.

බටහිර ඉන්දීය කොදෙව් පිල නම් වෙනස් කම් කිහිපයක්ම කිරිමට සූදානමින් සිටී.
ෂැනොන් ගේබි්‍රයල් වෙනුවට දෙවැනි තරගයේදී කණ්ඩායමට එක්වූ 19 හැවිරිදි යොවුන් වේගපන්දුයවන අල්සාරී ජෝශප් කඩුලු 2 ක්ම දවාලීමට සමත්වීම නිසා හෙට තරගයටත් ක්‍රීඩා කිරීමට වාසනාවන්තව සිටින අතර එවින් ලුවිස් ආරම්භක පිතිකරුවා ලෙස ආදේශ කිරීමට ද නියමිතය.


- 077

අසාම් එක්දින තරගාවලිය දිනවයි

සාජා ක්‍රිකට් පිටිය වර්ණවත් කළ යොවුන් පිතිකරු බාබර් අසාම් පිට පිට ලැබූ දෙවැනි ශතකයක්, ෂොයිබ් මලික්ගේ දීප්තිමත් අර්ධ ශතකයත් මත දැවැන්ත ඉනිමක් ගොඩනැගූ පාකිස්තානය බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ පැවැති දෙවැනි එක්දින තරගය ලකුණු 59 කින් ජයගත්තේය. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියත් 2-0 ක් ලෙස පාකිස්තානුවෝ වේලාසනින්ම ජයගත්තේය. 


ඊටත් වඩා සංචාරකයන් තලා පෙළා දැමූ කණගාටුදායක සිද්ධිය වූයේ මේ තරගයට ක්‍රීඩා කිරිමට පෙර එක්දින ශ්‍රේණිගත කිරීම්වල පාකිස්තානයට වඩා එක් ස්ථානයකින් ඉහළින් 8 වැනි තැන සිටි කොදෙව්වන් තරගාවලිය පරාජය වීම නිසා එතැනින් ඇද වැටීමෙන් වසර 2019 අයි.සී.සී. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගමාලාවට සුදුසුකම් ලැබීමෙ තරගයකින් තොරව එක්වන කණ්ඩායම් අට අතරට යාමට නොහැකිවීමය. 


කොදෙව්වන්ගේ ඉරණම තීන්දු කළේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු 5 කට ගොඩනැගූ ලකුණු 337 ක දැවැන්ත ඉනිමය. ඉලක්කය හඹා ගිය කොදෙව්වන්ගේ ඉනිම ඕවර 50 නිමාවෙද්දි කඩුලු 7 ක් දැවී ලකුණු 278 කට සීමාවූයේ ඉලක්කය දුර වැඩි බව කියා පාන්නාක් මෙනි. 


මුලු ලකුණු සංඛ්‍යාව 3 ක් ව තිබියදී පළමු කඩුල්ල ලෙස ජොන්සන් චාල්ස් දැවීගියත් එතැනින් එහාට සිය සුපුරුදු සටන්කාමීත්වය විදහා දැක්වූ කොදෙව් ක්‍රීඩකයෝ තරගය අත් නොහැර සිටීමට පුදුමාකාර උනන්දුවක් ගත්හ. ක්‍රෙග් බ්‍රැත්වේට් සහ ඞ්වේන් බ්‍රාවෝ එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 89 ක් එක් කළත් දෙදෙනාම දුවද්දී දැවීයාමට හසුවීමෙන් තරගයේ වාසිය සත්කාරකයන්ට දෙසට හැරිණි. 


මාලන් සැමුවෙල්ස් සහ දිනේෂ් රැම්ඩීන් එක්ව ඉනිම පිළිසකර කරමින් 38 වැනි ඕවරය වෙද්දී කොදෙව් ලකුණු පුවරුව 194 දක්වා ඉහළට ඔසවා තැබූහ. මේ දෙදෙනාගේ ලකුණු 67 ක සම්බන්ධතාව බිඳ වැටුණේ අගනා අර්ධ ශතකයක් ලබා සිටි සැමුවෙල්ස්ගේ කඩුල්ල බිඳ දැමීමට වහාබ් රියාස් සමත්වීමෙනි. ඉන් නොනැවතුණු රියාස් මුලු ලකුණු සංඛ්‍යාව 209 දී රැම්ඩීන්ගේ කඩුල්ලත් බිඳ දැමූ අතර කාලොස් බ්‍රැත්වේට් දුවද්දී දවාලීමටත් හසු කරගත්තේය. 


එතැන් සිට පීඩනය වැඩි කළ පාකිස්තාන පන්දු යවන්නෝ තරගයේ වාසිය සිය කණ්ඩායම දෙසට හරවා දැමූහ. 


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු පිලේ ආරම්භක පිතිකරු යුගලය මුලු ලකුණු සංඛ්‍යාව 40 ක් වෙද්දී ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවිමට කොදෙව්වන් සමත්වූවත් ලකුණු අතරේ සිටින යොවුන් පිතිකරු බාබර් අසාම්ගේ සහ පළපුරුදු පිතිකරු ෂොයිබ් මලික්ගේ ලකුණු 169 ක තුන්වැනි කඩුල්ලේ ශක්ති සම්පන්න සම්බන්ධතාව බිඳ දමන්නට නම් සැහෙන සටනක් දීමට සිදුවී තිබිණි. මේ පිතිකරුවන් දෙදෙනා එක්ව ඊයේ සාජා ක්‍රිකට් පිටියේ වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනගමින් ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කළ අතර එක්දින තරගයකදී කොදෙව්වන්ට එරෙහිව තුන්වැනි කඩුල්ලේ ඉහළම සම්බන්ධතාවත් වාර්තා කළහ. 


තමා දවාලීමේ කිසිදු අවස්ථාවක් ප්‍රතිවාදීන්ට නොදුන් මේ යොවුන් පිතිකරු සිය ඉනිම හතරේ පහර 9 කින් සහ හයේ පහරකින් වර්ණවත් කරද්දී හතරේ පහර 3 ක් සහ හයේ පහර 6 ක් ඇතුළත්  කරමින් වේගවත් පිතිහරඹයක යෙදුණු මලික්ගේ ඉනිම ශතකයට ලකුණු 10 ක් අඩුවී තිබියදී නිමාවට පත්වීම කණගාටුවකි. මුලු ලකුණු සංඛ්‍යාව 209 දී මලික් දැවීයාමෙන් පසුව පිටියට පිවිසි සර්ෆ්‍රාස් අහමඞ් ඊට නොදෙවැනි පිතිහරඹයක යෙදෙමින් අසාම් හා එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 73 ක් එක් කළ අතර නොදැවුණු අර්ධ ශතකයක් වාර්තා කරමින් පාකිස්තානු ඉනිම ලකුණු 300 න් ඔබ්බටද ගෙන ගියේය. 


පාකිස්තානය – කඩුලු 5ක් දැවී ඕවර 50කදී ලකුණු 337
(සර්ජිල් ඛාන් 24, බාබර් අසාම් 123, සොයිබ් මලික් 90, සර්ෆ්‍රාස් අහමඞ් නොදැවී 60, ජේසන් හෝල්ඩර් 51/2, අල්සාරී ජෝශප් 62/2)


කොදෙව් පිල – කඩුලු 7ක් දැවී ඕවර 50කදී ලකුණු 278
(ක්‍රෙග් බ්‍රැත්වේට් 39, ඞ්වේන් බ්‍රාවෝ 61, මාලන් සැමුවෙල්ස් 57, දිනේෂ් රාම්ඩින් 34, කීරන් පොලාර්ඞ් 22, ජේසන් හෝල්ඩර් නොදැවී 31, වහාබ් රියාස් 48/2)


- 077

 

ඉදිරි ගමනට බලපෑහැකි තරගයක්

සිය සුපුරුදු දස්කම් පෙන්වීමට නොහැකිව වේදනාවෙන් මිරිකී සිටින බටහිර ඉන්දීය කොදෙව් පිල සමග දෙවැනි එක්දින තරගයට පිවිසෙන පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ සුදු පන්දුවත් සමග තිබූ ගනුදෙනුවේදී මෙතෙක් නොතිබූ පුනර්ජීවයක් ඇතිවය. තරගාවලියේ දෙවැනි තරගය අද (2 වැනිදා) පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගණයේදීය.


දෙපිල අතර පැවැති විස්සයි20 තරගාවලිය පාකිස්තානු පිල විසින් 3-0 කින් ජයගැනීමෙන් පසුව තරග  3 කින් සමන්විත එක්දින තරගාවලියේදීත් පාකිස්තානය 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටී. දස්කම් සපිරි ක්‍රීඩකයන් රැසක් සිටියත් කොදෙව් පිල මෙවර අරාබි කතරට පැමිණ ඇත්තේ කෝඩුකාර කණ්ඩායමක් පරිද්දෙනි. විමතිය දනවමින් ඔවුන්ගේ පිතිකරුවන්ගේ දස්කම්වලට අගුලු වැටී තිබේ.


පන්දු යවන්නන් පමණක් තරමක් සාර්ථකව සිය රාජකාරිය ඉටු කරමින් සිටියත් කණ්ඩායමේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවන බැව් කවුරුත් දනිති.


විස්සයි20 තරග බිමේ ස්වකීය ආධිපත්‍යය කුඩා දරුවන්ගේ සෙල්ලමක් ගානට ගත් පාකිස්තානුවන්ගේ බල පරාක්‍රමය එක්දින තරග මුහුණුවරදීත් ඒ අයුරින්ම පෙනෙන්නට තිබීම එක් අතකින් කොදෙව් පිලේ හිසරදව වැඩිකරවන කරුණකි. තවත් අතකින් බලන විට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේ ලහෝර් නුවර දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානය ක්‍රීඩාවට තහනම් කලාපයක් වීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය සත්කාරක රට බවට පත් කරගත් පාකිස්තානුවන් සිය දස්කම් එහි දී ඉහළින්ම විදහා දැක්වීම අරුමයක්ද නොවේ.


කොයික වෙතත් කොදෙව් පිලේ එකම පැතුම වී ඇත්තේ සිය කණ්ඩායමේ ඇතිවීම හෝ නැතිවීම තීරණය කෙරෙන අද තරගය ජයගෙන තරගාවලිය සමකර ගැනීමය.


ආරම්භක පිතිකරුවන්ගේ සිටම කොදෙව් පිලේ පිතිහරඹ පෙළ ගැස්ම විශ්වාසනීයත්වයෙන් යුතු එකක් නොවීම කණ්ඩායමේ කඩා වැටීමට ලොකුම හේතුව වී තිබේ. කෙසේවුවත් ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ සත්කාරකයන්ගේ ඔදතෙද බිඳ දමා හෙට තරගයේදී යම්කිසි පෙරළිකාර සිදුවීමකට මුල පිරීමයි.


පෙනෙන හැටියට පාකිස්තානුවන් පළමු තරගයේදී ක්‍රීඩා කළ කණ්ඩායම අද තරගයේදිත් යොදා ගැනීමට කල්පනා කළ සැටියෙකි. අද තරගයේ ජයග්‍රහණය ඔවුන්ට තරගාවලියේ ජයග්‍රහණය පමණක් නොව එක්දින ශ්‍රේණිගත කිරිම්වල මෙතෙක් කොදෙව්වන් සිටි අංක 8 ස්ථානය උදුරා ගැනීමටත් හැකිවනු ඇත. වසර 2019 ලෝක කුසලාන තරගමාලාවට සුදුසුකම් ලැබීමට නම් ලබන වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා වනවිට එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු අට අතරේ සිටිය යුතු බැව් දෙපිලම දනිති.


අද පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කළ කණ්ඩායම් මෙසේය.


පාකිස්තානය කණ්ඩායම

අසාර් අලී (නායක), සර්ජිල් ඛාන්, බාබර් අසාම්, ෂොයිබ් මලික්. සර්ෆ්‍රාස් අහමඞ්, මොහොමඞ් රිස්වාන්, ඉමාඞ් වසීම්, මොහොමඞ් නවාස්, වහාබ් රියාස්. මොහොමඞ් ආමීර්, හසන් අලී.


කොදෙව් කණ්ඩායම

චාල්ස් ජොන්සන්, එවින් ලුවිස්, ඩැරන් බ්‍රාවෝ, මාලන් සැමුවෙල්ස්, දිනේෂ් රැම්ඩීන්, කරන් පොලාර්ඞ්, ජේසන් හෝල්ඩර් (නායක). කාලොස් බ්‍රැත්වෙයිට්, සුනිල් නරේන්, සුලෙයිමාන් බෙන් සහ ෂැනන් ගේබි්‍රයෙල්.

 

- 077

පාකිස්තානුයෝ යළිත් වැඩ අල්ලති

විශිෂ්ට පිතිකරුවකු වීමේ පෙරනිමිති පහළ කළ 21 හැවිරිදි යොවුන් පිතිකරු බාබර් අසාම්ගේ මංගල එක්දින ශතකය මත ඉනිම ගොඩනැගූ පාකිස්තානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඊයේ (30 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් බටහිර ඉන්දීය කොදෙවේ පිලට එරෙහිව ලකුණු 111 ක ජයක් අත්කර ගත්තේය.

සිය 16 වැනි එක්දින තරගයට කී‍්‍රඩා කළ මේ දකුණත් පිතිකරුවා සාජා කී‍්‍රඩාංගණයට ඊයේ රැස්ව සිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන දහස් ගණනින් යුතු පාකිස්තානුවන් අමන්දානන්දයට පත් කළේය.

හිටි හැටියේ රාතී‍්‍ර විදුලි ආලෝකධාරා අකි‍්‍රයවීම නිසා  ඕවර 49 කට සීමාවූ මේ තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය  ඕවර 49 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 284 ක් රැස් කළේය. ඉලක්කය හඹා ගිය කොදෙව් පිලේ ඉනිම  ඕවර 38.4 කදී ලකුණු 175 න් නතරවූයේ තරග 3 කින් යුතු එක්දින තරගාවලියේ 1-0 කින් පාකිස්තානයට පෙරමුණ ලබා දෙමිනි.

වර්ෂාව මූලික කොටගත්තත් හදිසි අවශ්‍යතාවක දී තරගය නැවත්විමට සිදුවුවහොත් නිතරම පෙරට එන ඩක්වත් ලූවිස් න්‍යාය ඊයේ තරගයේදී කොදෙව් පිලට  ඕවර 49 කදී ලබාදුන් ඉලක්කය ලකුණු 287 ක් විය.

පාකිස්තානු ඉනිමේ අවසන් භාගය අතරතුර කී‍්‍රඩාංගණයේ සැඳෑ අඳුර දුරුකරලීමට ක‍්‍රමයෙන් දල්වන්නට පටන්ගත් විදුලි ආලෝකධාරා අකි‍්‍රයවීමෙන්  ඕවර 44 කුත් පන්දු 3 ක් යවා තිබියදී තාවකාලිකව තරගය නැවැත්වීමට විනිසුරුවරුන්ට සිදුවිය. එය පිළිසකර කිරීමෙන් පසුව යළි තරගය ආරම්භ කළේ තවත් මිනිත්තු 70 කට පමණ පසුවය. ජෙනරේටරයේ සිට විදුලි ආලෝක කුළුණ දක්වා දිව ගිය කේබලයක් ගිනි ගැනිම නිසා මේ අකරතැබ්බය සිදුවූ බැව් පසුව අනාවරණය විය.

ෂැනොන් ගේබි‍්‍රයල් යැවූ පාකිස්තාන ඉනිමේ පළමු පන්දුවෙන්ම ආරම්භක පිතිකරු නායක අසාර් අලී කඩුලූ රකින දිනේෂ් රැුම්ඞීන් අතට උඩපන්දුවක් දී දැවී ගියේය. පසුව පිටිියට පැමිණි අසාම් අංක 3 පිතිකරුවකු සතු වගකීම් ගොන්න අකුරටම ඉටු කළේය.

සිය වර්ණවත් ඉනිම අතරතුර දී සර්ජිල් ඛාන් සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බාබර් අසාම් අනතුරුව සර්ෆ‍්‍රාස් අහමඞ් සමග එක්ව ලකුණු 192 දක්වා ඇදගෙන ගියේ සිවුවැනි කඩුල්ලට ලකුණු 99 ක් එක් කරමිනි.

අහමඞ්ගේ දැවීයාමෙන් පසුව අත ඉක්මන් කළ අසාම් මැදපෙළ පිතිකරුවන්ගෙන් ලැබුණු සහය මත පාකිස්තානු ඉනිම ලකුණු 284 ක් තරම ඉහළට ඔසවා තැබීය.

විස්සයි20 තරගාවලිය 3-0 කින් පරාජය වීමේ කණගාටුවත් දරාගෙන ඊයේ පිටියට පැමිණි කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම ලකුණු 41 ක් ඇතුළත ආපසු කී‍්‍රඩාගාරයෙ හරවා යැවීමට මොහොමඞ් අමීර් සහ හසන් අලි සමත් වූහ. මුලූ ලකුණු සංඛ්‍යාව 103ක් වෙද්දී නමගිය කොදෙව් පිතිකරු ලැයිස්තුවම කී‍්‍රඩාගාරයට හරවා යවා අවසන්ය. නායක ජේසන් හෝල්ඩර් ඇතුළු කොදෙව් පිතිකරු ලයිස්තුවම ආපසු කී‍්‍රඩාගාරයට ගොස් සිටියහ.

දගපන්දුවෙන් කොදෙව් පිතිකරුවන් අන්දමන්ද කළ මොහොමඞ් නවාස් කඩුලූ 4 ක් දවාලමින් සිය කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළේය. සිය 6 වැනි එක්දින තරගයට කී‍්‍රඩා කළ 22 හැවිිරිදි මේ දගපන්දු යවන්නා ඊයේ වාර්තා කළේ ඔහුගේ හොඳම එක්දින පන්දු යැවීමය.

මැදපෙළ කඩා වැටුණාට පසුව ඉනිම ගොඩ ගැනීමට මාලන් සැමුවෙල්ස් නොගත් වෑයමක් නැත. පන්දු 59 ක් වැයවූ ඔහුගේ ඉනිමට එක්වී තිබුණේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් පමණි. අවසානයේ වහාබ් රියාස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියේ සිය අර්ධ ශතකයකට ලකුණු 4 ක් අඩුවී තිබියදීය.

ඉන් පසුව කොදෙව් පිලට යළි නැගී සිටීමට හැකිවුයේම නැත. හසන් අලී ඉතිරි කඩුලූ දෙකම දවාලමින් කොදෙව් ඉනිම නතර කළේය.

 

පාකිස්තානය – කඩුලූ 9ක් දැවී  ඕවර 49 කදී ලකුණු 284
(සාර්ජිල් ඛාන් 54, බාබස් අසාම් 120, සර්ෆ‍්‍රාස් අහමඞ් 35. ඉමාඞ් වසීම් 24, කාලෝස් බ‍්‍රැත්වේට් 54/3)

බටහිර ඉන්දීය කොදෙව් පිල – සියලූදෙනා දැවී  ඕවර 38.4කදී ලකුණු 175
(ජොන්සන් චාල්ස් 20, මාලන් සැමුවෙල්ස් 46, සුනිල් නරේන් 23. හසන් අලි 14/3, මොහොමඞ් නවාස් 42/4)

 

-077

 

ලෝක ශූරයන්ට 3-0 ක සම්පූර්ණ සුද්දයක්

විස්සයි20 ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් පිල සිය දඟපන්දුවෙන් අන්ද මන්ද කළ වමතින් දඟපන්දු යවන ඉමාඞ් වසීම් අබුඩාබි නුවර ෂේක් සෙයිඞ් ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි විස්සයි20 තරගයෙන් කඩුලු 8 ක ජයක් පාකිස්තානයට අත්කර දූන්නේය. ඒ සමගම තරග 3 කින් සමන්විත මේ තරගාවලිය 3-0 කින් ජයගනිමින් විස්සයි:20 ලෝක ශූරයන්ට සම්පූර්ණ සුද්ධයක් දීමට පාකිස්තානුවෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ පාකිස්තානු නායක සර්ෆ්‍රාස් අහමඞ් සිය පන්දු යවන්නන්ගේ තරම ගැන ඇති අවබෝධය මත පළමුව පන්දුවට පහරදීම කොදෙව් පිලට පිරිනැමුවේය. විස්සයි20 ලෝක ශූරයන් වුණත් ඒ වනවිටත් 2-0 කින් විස්සයි20 තරගාවලිය පරාජයට පත්ව සිටි ප්‍රතිවාදීන් බිමට සමතලා කරදැමීමේ පොටක් පාදා ගැනීමට පාකිස්තානු නායකයාට එය හොඳටම ප්‍රමාණවත් විය.

ආරම්භක පන්දු යවන්නා ලෙස නැවතත් පන්දුව අතට ගත් ඉමාඞ් වසීම් සිය දෙවැනි ඕවරයේදීම ජොන්සන් චාල්ස්ගේ කඩුල්ල බිඳ දැමූ අතර ඊළඟ පන්දුවෙන් චැඞ්වික් වෝල්ටන්ගෙත් කඩුල්ල බිඳ දැමුවේ කොදෙව්වන්ගේ බලාපොරොත්තු වැලිකතරේ කුණාටුවට වීසිකර දමමිනි. මුලු ලකුණු  සංඛ්‍යාව 17 දී ඇන්ඩි්‍ර ෆ්ලෙචර් දුවද්දී දැවීගිය අතර වසීම්ට තුන්වැනි කඩුල්ලත් හිමිකර දෙමින් ඞ්වේන් බ්‍රාවෝත් දැවී යන විට ඕවර 8 ක් නිමා වී තිබුණත් ලකුණු සංඛ්‍යාව වූයේ 31 කි.

මාලන් සැමුවෙල්ස් සහ නිකොලස් පූරන් එක්ව කොදෙව් ඉනිම යාන්තමින් ලකුණු 66 දක්වා ඇදගෙන යාමට සමත්වූහ. මොහොමඞ් නවාස්ගේ පන්දුවකින් පූර්න් දැවීයාමෙන් පසුව සැමුවෙල්ස් සමග එක්වූ කරන් පොලාඞ් සිය කණ්ඩායම ලකුණු සියයෙන් ඔබ්බට ගෙනගොස් තැබුවේය.

කොදෙව්වන් විසින් පාකිස්තානුවන්ට දෙනු ලැබූ ඉලක්කය පන්දු යවන්නන්ට සටනක් දීමට අපහසු ලකුණු ප්‍රමාණයක් වුවත් කොදෙව් වේගපන්දු යවන්නන් සිය වගකීම් කොටස නොපිරිහෙලා ඉටු කරමින් මුල් ඕවර කිහිපයේදී පාකිස්තානුවන් ඇද බැඳ තබාගැනීම කැපී පෙනුණි.

මුලු ලකුණු සංඛ්‍යාව 40 වෙද්දී කෙස්රික් විලියම්ස් පාකිස්තානයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමට සලසා හමාරය. එහෙත් බාබර් අසාම් සහ ෂොයිබ් මලික් එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 68ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නගමින් සිය කණ්ඩායමට අමතක නොවන ජයග්‍රහණයක් කරා රැගෙන ගියහ.


බටහිර ඉන්දීය කොදෙව් පිල – කඩුලු 5ක් දැවී ඕවර 20 කදී ලකූණු 103යි
(මාලන් සැමුවෙල්ස් නොදැවී 42, නිකොලස් පූරන් 16, කීරොන් පොලාර්ඞ් නොදැවී 16, ඉමාඞ් වසීම් 21/3, මොහම්මඞ් නවාස් 16/1)

පාකිස්තානය – කඩුලු 2ක් දැවී ඕවර 15.1කදී ලකුණු 108යි.
(කාලිඞ් ලතීෆ් 21, බාබර් අසාම් නොදැවී 27, සොයිබ් මලික් නොදැවී 43, කෙස්රික් විලියම්ස් 15/2)


- 077

 

වි:20 ලෝක ශූරයෝ ගැලවීමේ මං සොයති

පාකිස්තානුවන් පිළිබඳ අනාවැකි කීම අසීරු බව සැබෑම සත්‍යයකි.

පාකිස්තානු පිල වසර කිහිපයක් තිස්සේම සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිහරඹය සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය කුමක් විය යුතුද යන්න සිතාගත නොහැකි වූ කණ්ඩායමකි. එහෙත් විස්සයි:20 ලෝක ශූර කොදෙව්වන් පිට පිටම තරග දෙකකදී පරාජය කරමින් හිටි අඩියේම තරගාවලි ජයක් ලබාගැනීමට පාකිස්තානුවෝ සමත්ව සිටිති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තරග 3 කින් සමන්විත වි:20 තරගාවලියේ පළමු තරග දෙකේදීම පකිස්තානය හමුවේ පරාජය වූ කොදෙව් පිලට දැන් සිදුව ඇත්තේ 3-0 ක සම්පූර්ණ සුද්දයකින් ගැලවීමේ මාර්ගය සොයාගැනීම උදෙසා වෙහෙසීමටය.

මේ දිනවල වැලි කතරේ සිටින කොදෙව් පිලට විස්සයි:20 විශේෂඥයන් වන ක්‍රිස් ගේල්, ඩැරන් සැමී සහ ඇන්ඩි්‍ර රසල් ඇතුළත්ව නැති බවත් සැබෑවකි. එහෙත් බටහිර ඉන්දීය කොදෙව් පිල යනු වසර 4 ක් ඇතුළත (2012 සහ 2016) විස්සයි:20 ලෝක කුසලාන දෙවරක් දිනාගත් කණ්ඩායමකි. ඇරත් මේ වසර මුලදී බංග්ලාදේශයේ පැවැති 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගත්තේද කොදෙව් පිල වන හෙයින් තරුණ ක්‍රීඩකයෝ ඕනෑ තරමක් කොදෙව් පිලේ සිටිති.  

කෙසේ වෙතත් ඩුබායිහිදී පැවැති පළමු වි:20 තරග දෙකේදී කොදෙව්වන් දක්වූයේ විඩාපත් ක්‍රීඩා විලාසයකි. පාකිස්තානු දඟ පන්දු යවන්නන් හමුවේ කොදෙව් පිතිකරුවන් අසාර්ථක වූවා පමණක් නොව, පන්දු රැකීමේදීද ඔව්හු මහත් දුර්වලතා විදහා පෙන්වූහ.

නායක කාලෝස් බ්‍රැත්වෙයිට්ගේ උපක්‍රම දියාරු වී ගිය සැටියෙකි. පාකිස්තානු පිතිකරුවන්ගේ ආකස්මික ප්‍රහාර හමුවෙ අන්ද මන්ද වූ බ්‍රැත්වෙයිට්ට පන්දු යැවීම සඳහා කවුරුන් තෝරා ගන්නද යන්න සිතාගත නොහැකි විය.

මෙම තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් පාකිස්තානුවෝ කිසිදු අපහසුවකින් තොරව විස්සයි:20 තරග දෙකම ජයගත්හ.

ත-ුන්වැනි වි:20 තරගය පැවැත්වෙන්නේ අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී බැවින් පිතිකරුවන්ගේ කාර්යය එතරම් අසීරු නොවනු ඇති බව කොදෙව්වන්ගේ විශ්වාසයයි. ඒ කෝක වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පන්දුවට පහර දීමේ කලාව පාකිස්තානුවන් දන්නා තරමට වෙන කිසිවෙක් නොදනිති. ඒ වසර ගණනාවක් තිස්සේම එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ පාකිස්තානුවන්ගේ ගෙමිදුල බවට පත්ව තිබෙන බැවිනි.

මෙම කාසියේම අනෙක් පැත්ත වන්නේ පාකිස්තානු පන්දු යවන්නන් වන සොහේල් තන්වීර් සහ ඉමාඞ් වසිම් කොදෙව් පිතිකරුවන් අමාරුවේ දැම්මේ ඔවුන් දෙදෙනාම කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කොදෙව් පන්දු යවන්නන්ට පන්දු යැවීමෙන් ලබාගත් අත්දැකීම් උපකාරයෙන් වීමයි.

ඒ අනුව තුන්වැනි විස්සයි:20 තරගයත් කොදෙව්වන් හිතන තරම් පහසු නොවේ.

තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 9.30 ට ආරම්භ වීමට නියමිතය.


පාකිස්තානු කණ්ඩායම
සර්ෆ්‍රාස් අහමඞ් (නායක), සොහේල් තන්වීර්, උමාර් අක්මල්, සාඞ් නසීම්, රුමාන් රයීස්, හසන් අලි, කාලිඞ් ලතීෆ්, සර්ජිල් ඛාන්, ෂොයිබ් මලික්, මොහොමඞ් රිස්වාන්, බාබර් අසාම්, මොහොමඞ් නවාස්, ඉමාඞ් වසිම්, මොහොමඞ් අමීර් සහ වහබ් රියාස්


බටහිර ඉන්දීය සංචිතය
කාලෝස් බ්‍රැත්වෙයිට් (නායක), සැමුවෙල් බද්‍රි, ඞ්වේන් බ්‍රාවෝ, ජොන්සන් චාල්ස්, ඇන්ඩි්‍ර ෆ්ලෙචර්, ජේසන් හෝල්ඩර්, එවින් ලුවිස්, සුනිල් නරේන්, කරන් පොලාර්ඞ්, නිකලස් පූරන්, රෝමන් පවෙල්, මාලන් සැමුවෙල්ස්, ජෙරම් ටේලර්, චැඞ්වික් වෝල්ටන් සහ කෙස්රික් විලියම්ස්