Category Archives: SA AUS

ඩිවිලියර්ස්ට ඕස්ට්‍රේලියානු තරග අහිමි වෙයි

එකදිගටම පවතින වැලමිටේ ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකානු පිලේ නායක ඒ.බී. ඩිවිලියර්ස්ට එළැඹෙන ඕස්ට්‍රේලියානු පිලේ දකුණු අප්‍රිකානු සංචාරයේ තරගවලට පමණක් නොව දකුණු අප්‍රිකානු පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයත් අහිමිව යන බව වාර්තා වේ.  32 හැවිදිරි මේ ප්‍රහාරාත්මක පිතිකරුවා ලබන සතියේදී ශල්‍ය කර්මයකට භාජනය වීමට නියමිත අතර ඉන් පසුව තවත් සති 10 කට මෙහා ක්‍රීඩා කරන්නට ඔහුට ඉඩක් ලැබෙන්නේ නැත.


වෘත්තියෙන් වෛද්‍යවරයකුද වන දකුණු අප්‍රිකානු පිලේ කළමනාකරු වෛද්‍ය මොහොමඞ් මූසාජී මහතා කියනුයේ මේ සැත්කම දිගුකාලීන විසඳුමක් වන බවකි.


“මේ සැත්කමෙන් අපේ ඉලක්කය වන්නේ ශ්‍රී ලංකා පිලත් එක්ක ලබන නත්තල් සමයේ දී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තරගාවලියට ඔහු නැවත ගෙනෙන්නයි” ඔහු කියයි.


“ඔහුගේ මේ වැලමිටේ ප්‍රශ්නය ගැන අපි කණ්ඩායමේ බොහෝ අය එක්ක කතා කළා. ශාරිරික යෝග්‍යතා පුහුණුකරු ඇතුළුව. නමුත් ඒ කිසිදේකින් දැන් අපි කරන්න හදන සැත්කම නවත්තගන්න පුලුවන් වුණේ නෑ” යයි කළමනාකරු මුසාජී මහතා එසේ කීවේය.


ඩිවිලියර්ස්ට මේ ඉරණමට ගොදුරුවීමට සිදුවූයේ උදෑසන පුහුණුවීම්වලට පැමිණි මොහොතේදීය.


පුහුණුවීමට පෙර භෞතචිකිත්සකවරයා ඩිවිලියර්ස්ගේ වැලමිට වෙළුම් පටි දමා හොඳින් වෙළා දැමුවත් වේදනාව සම්පුර්ණයෙන්ම නතර නොවිණි. අනතුරුව ඔවුන් තම කණ්ඩායමේ නායකයා සහ පළපුරුදු ජ්‍යෙෂ්ඨයා රැක ගැනීමට නොකළ දෙයක් නැත. එහෙත් අවසානයේදී සැත්කමකට යාම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට තිබුණේම නැත.


මෑතකදී අයර්ලන්තය සමග පැවැති එක්දින තරගයේදී ලකුණු 206 ක ජයග්‍රහණයක් කරා කණ්ඩායම මෙහෙය වූ එරට විස්සයි20 නායක ෆෆ් ඩු ප්ලෙසිස් ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලබන සිකුරාදා ඇරැඹෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී ද නායකයා ලෙස කටයුතු කරනු ඇත. එමෙන්ම පිතිකරු රිලී රූසොව් දැන් ඩිවිලියර්ස් වෙනුවට කණ්ඩායමට එක්වී සිටී. ඊළඟට දෙපිලම නැවත ලබන නොවැම්බරයේ දී ටෙස්ට් තරගමාලාවට එක්වන්නේ ඕස්ට්‍රේලියාවේදිය.