Category Archives: PAK in ENG 2016

එංගලන්තයෙන් නොවෙනස් 11 ක්

එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ දී පාකිස්තානය පරදවා තරග 2–1 කින් ටෙස්ට් තරගමාලාවේ ඉදිරියෙන් පසුවන එංගලන්තය අද ආරම්භ වන සිවුවැනි හා අවසන් ටෙස්ට් තරගය සඳහා ඕවල් ක්‍රීඩාංගණයට පිවිසීමට බලාපොරොත්තු වන්නේ කණ්ඩායමේ කිසිදු වෙනසකින් තොරවමය.


මේ වසරේදී තවම ටෙස්ට් තරගයකයට ක්‍රීඩා කොට නොමැති යෝක්ෂයර් ප්‍රාන්ත පිලේ දඟපන්දු යවන්නා වන අදිල් රෂීඞ් අද තරගයට කැඳවිය යුතු යැයි යෝජනා කිහිපයක් පළවී තිබුණත්  ඇඟිල්ලක අස්ථීයක් බිඳීයාමෙන් ආබාධයට පත්ව සිටි පිතිකරු ජේම්ස් වින්ස් ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වීමත් වේගපන්දු යවන්නන් සිවුදෙනකු මත යැපීමට දැඩිව තීරණය කිරීමත් නිසා ඔවුන්ගේ පිටදඟ පන්දු යවන මුයින් අලී හැරෙන්නට වෙන කිසිවකුට කණ්ඩායමේ කොහෙත්ම ඉඩ නැත.


ග්ලැමෝගන් කණ්ඩායමට එරෙහිව කාඩිෆ් හී අද පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත විස්සයි20 අර්ධ අවසන් පූර්ව තරගයෙන් දඟපන්දු යවන ආදිල් රෂිඞ් මුදා හැරීමට ඔහුගේ ප්‍රාන්ත කණ්ඩායම පියවර ගත්තේ ජාතික කණ්ඩායමේ රාජකාරිය වෙනුවෙනි. ඔහු අද තරගයට ක්‍රීඩා කිරීමේ ආසන්නයට පැමිණ සිටියේය. එහෙත් එජ්බැස්ටන් නුවර ජයග්‍රාහී කණ්ඩායම වෙනස් නොකිරීමට එංගලන්තය තීරණය කළේ අවසන් මොහොතේය.


ක්‍රීඩකයන් 13 දෙනකුගෙන් යුතු සංචිතයේ අවධානයට ලක්නොවූ අනිත් ක්‍රීඩකයා වන්නේ නොටිංහැම්ෂයර් ප්‍රාන්ත පිලේ වේගපන්දු යවන ජැක් බෙල් ය.


පාකිස්තානය එරෙහිවම පසුගිය වසරේ ඔක්තෝබර් මස අබුඩාබි නුවර දී සිය මංගල ටෙස්ට් තරගයේ ලකුණු 64 කට කඩුලු 5 ක් දවාලූ රෂීඞ් මෙතෙක් ක්‍රීඩා කොට ඇත්තේ ටෙස්ට් තරග 3 කට පමණි.


සංචාරක කණ්ඩායමට ලකුණු 141 ක පරාජයක් ගෙනදුන් තුන්වැනි ටෙස්ට් තරගයේ දී සිය පන්දු යවන්නන් 5 දෙනාම කඩුලු 2 බැගින් දවාලීම නිසා තමා සතුටට පත්ව සිටින බව කියන එංගලන්ත පිලේ නායක ඇලෙස්ටෙයාර් කුක් අලුතින් කවුරුවත් අද තරගයට අවශ්‍ය නැතැයි ඊයේ කීවේය.


‘මම හිතන්නෙ අද තණතීරුව තරමක් දෝලනය වේවි. නමුත් අපේ වේගපන්දු යවන්නන් හොඳට පන්දු යවනවා. ඒ වගේම මෝ (මුයින් අලි) තුන්වැනි තරගයේ දී විශාල මෙහෙයක් ඉටු කළා.‘ යයි කුක් පැවැසීය.


ආදිල් රෂීඞ්ට අවස්ථාවක් නොදීම ගැන කුක් කියන්නේ මෙසේය.


‘අපි 3-0 කින් පැරදිලා හිටියානම් තත්ත්වය වෙනස් වෙන්න තිබ්බා. ඒත් දැන් තරගමාලාව අපේ පැත්තට වාසි විදිහටයි තියෙන්නේ. මොකුත්ම කරන්න බෑ. ආදිල්ට ඉදිරියේදී අවස්ථාවක් ලැබේවි.‘


අද තරගය පරාජය නොවී ටෙස්ට් තරගමාලාවේ කුසලානය අත්පත් කරගැනිමට එංගලන්තය සමත්වුවහොත් පළමු වතාවට ටෙස්ට් රටවල් 9කටම එරෙහිව කුසලාන ජයගැනීමේ වාර්තාව ඔවුන් සතු වනු ඇත. අද තරගය ජයගැනීමට එංගලන්තය සමත්වුවහොත් වසර 2012ට පසු පළමුවතාවට ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකිවනු ඇත.


එංගලන්ත කඳවුරේ තත්ත්වය එසේ වුවත් පාකිස්තානය නම් අද තරගයට සිය කණ්ඩායම නම් කිරීමට පෙර සෑහෙන තරමට සිතා බැලීමට තිරණය කොට තිබේ.


පාකිස්තානු නායක මිස්බා උල් හක් කල්පනා කරනුයේ අද  තරගය ජයගෙන කෙසේ හෝ ටෙස්ට් තරගමාලාව ජයපරාජයෙන් තොරව බේරා ගැනීමටය.


මෙවර තරගමාලාවේ සෑම තරගයකට ඔහු තම කණ්ඩායම නම් කළේ අවසන් මොහොතේදීය. අද තරගයේදීත් කාසිය උඩ දමන මොහොත වනතුරු නිශ්ශබ්දව සිටීමට ඔහු තීරණය කොට තිබේ. පසුගිය ටෙස්ට් තරග 2 දීම පාකිස්තානයට හරහට හිටියේ අවශ්‍ය වෙලාවට ලකුණුත් රැස් කරන එංගලන්ත පිලේ වේගපන්දු යවන්නන් සිවුදෙනාය. පාකිස්තානයට එවැනි තුන්ඉරියව් ක්‍රීඩකයකු නොමැතිවීම මෙවර තරගමාලාව පුරාම අඩුපාඩුවක්වී තිබිණ.


තවම ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නොමැති මැදපෙළ පිතිකරු ඉෆ්තිකාර් අහමඞ් අද තරගයකට දැමීමේ අදහසක් ද මිස්බාට තිබේ. ඕෆ් බ්‍රේක් පන්දු යවන්නකු ලෙසත් අහමඞ්ගෙන් වැඩක් ගත හැකි බව ඔහු දනී. එසේ වුවහොත් මේ තරගමාලාවේ ලකුණු 20ට වැඩි සාමාන්‍යය ගණනක් රඳවාගැනීමට පවා අසමත්වූ ඔවුන්ගේ ආරම්භක පිතිකරු මොහොමඞ් හෆීස්ට අල්ලා දෙවියන්ගේම පිහිටය.


‘අපිට මේ තරගය දිනන්නම වෙනවා. හැම අතින්ම සමබර කණ්ඩායමක් ගැන අපි හිතන්නේ ඒ නිසයි.‘ මිස්බා ඊයේ කීවේය.


‘ඒක හරි අසීරු දෙයක්. අපි සාමාන්‍යයෙන් තරගමාලාවකට ගහන්නේ ටෙස්ට් තරග 3 යි. ඉතින් මේ වගේ තත්ත්වයකදී අපේ වේගපන්දු යවන්නන්ට සෑහෙන්න පන්දු යවන්න සිද්ධ වෙනවා. ඒක එච්චර ලෙහෙසි නෑ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන තරම් දෙයක් එයාලට කරන්න ලැබෙන්නෙත් නැ. ඒ කොහොම වුණත් අද තරගයේදී නම් එයාලා මොනව හරි කරන්නම වෙනවා.‘ මිස්බා එසේ කියන්නේ බලාපොරොත්තු සහගතවය.


එංගලන්තය -
ඇලෙස්ටෙයාර් කුක් (නායක), ඇලෙක්ස් හේල්ස්, ජෝ රූට්, ජෙම්ස් වින්ස්, ගැරී බැලන්ස්, ජොනී බෙයාර්ස්ටොව් (කඩුලු රකින්නා), මුයින් අලී, ක්‍රිස් වෝක්ස්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ස්ටීවන් ෆින්, ජේම්ස් ඇන්ඩර්සන්.


පාකිස්තානය -
මිස්බා උල් හක් (නායක), මොහොමඞ් හාෆීස් හෝ ඉෆ්ටිකාර් අහමඞ්, සමී ඉස්ලාම්, අසාර් අලී, යූනිස් ඛාන්, අසාඞ් ශෆීක්, සර්ෆ්‍රාස් අහමඞ් (කඩුලු රකින්නා). යසීර් ෂා, මොහොමඞ් ආමීර්, සොහේල් ඛාන්, රහත් අලී.


විනිසුරුවරු : බෘස් ඔක්සන්ෆර්ඞ් (ඕස්ටේ්‍රලියාව) සහ මාරියස් එරස්මස් (දකුණු අප්‍රිකාව)
රූපවාහිනී විනිසුරු : ජොයෙල් විල්සන් (බටහිර ඉන්දීය කොදෙව්)
තරග තීරක : ශ්‍රීමත් රිචී රිචඞ්සන් (බටහිර ඉන්දීය කොදෙව්)


- 077

 

එංගලන්තයට ලකුණු 141 ක ජයක්

පාකිස්තනුවන් අන්දමන්ද කළ ඉංග්‍රීසි පන්දු යවන්නෝ, එජ්බැස්ටන් පිටියේ නිමාවට පත්වූ තුන්වැනි ටෙස්ට් තරගයේදී 10,000 අධික ක්‍රීඩාලෝලීන්ගේ ජයඝෝෂා මැද ලකුණු 141 ක නොතිබූ ජයක් කරා එංගලන්ත පිල කැඳවාගෙන ගියහ.

මේ ජයග්‍රහණයත් සමග තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 2-1 කින් පෙරමුණ ගත් එංගලන්තය ඕවල් පිටියේ දී ලබන 11 දා ඇරැඹෙන අවසන් ටෙස්ට් තරගයට සැහැල්ලු සිතින් තරග වැදීමේ භාග්‍යයත් අත්කර ගත්තේය. දැන් ඔවුහු තරගාවලියෙන් පරාජය වීමේ අවදානමෙන් මිදී සිටිති.

ඊයේ දිනයට නියමිත ඕවර සංඛ්‍යාව 84 දක්වා අඩුවීමෙන් පසුව ලකුණු 343 ක ඉලක්කයක් පාකිස්තානුවන් හමුවේ තැබූ එංගලන්තයට දිවා ආහාරය සඳහා තරගය නවත්වනවිට බිඳ දැමීමට ලැබුණේ එක් කඩුල්ලක් පමණි. ඒ වෙද්දී දෙවැනි කඩුල්ලට හොඳ සම්බන්ධතාවක් ගොඩනගා ගෙන සිටි සමී අස්ලම් සහ අසාර් අලී පාකිස්තාන ඉනිම ලකුණු 69 දක්වා ඉහළට ඔසවා තැබූහ.

ජයපරාජයෙන් තොරව නිමාවට පත්වීමේ පෙරනිමිති අතරේ දිවා ආහාරයෙන් පසුව නැවත පන්දු යැවීම ආරම්භ කළ එංගලන්තයේ පන්දු යවන්නන්ට එක් අවස්ථාවකදී ලකුණු 123 කට කඩුලු 3 ක්ව තිබූ පාකිස්තානු ඉනිම පස්වරු තේ පානයට තරගය නවත්වනවිට ලකුණු 125 කට කඩුලු 7 ක් බවට පත්කිරීමට එංගලන්ත පන්දු යවන්නන්ට වැයවී තිබුණේ පන්දු 23 ක් පමණි.

පාකිස්තානුවන් එහෙම පිටින්ම තෝන්තුවට පත් කළ දිවා ආහාරයත්, පස්වරු තේ පානයත් අතර කාලයේ සංචාරකයන්ගේ කඩුලු බිඳ වැටීම මෙසේ සටහන් විය.

124-4 මිස්බා උල් හක් ඇ.බෙයාර්ස්ටොව් ප. ෆින් 10
125-5 අසාඞ් ශෆීක් කඩුල්ල මුවා කළා. ප. වෝක්ස් 0
125-6 සර්ෆ්‍රාස් අහමඞ් ඇ.රූට් ප. වෝක්ස් 0
125-7 සමී අස්ලම් ප. ෆින් 70

තේ පානයෙන් පසුව පන්දු යැවීම ආරම්භ කළ ජේම්ස් ඇන්ඩර්සන් 8 වැනි කඩුල්ල ලෙස යසීර් ෂා දවාලද්දී පාකිස්තානයේ මුලු ලකුණු සංඛ්‍යාව 149 කි. අනතුරුව ස්ටුවර්ට් බ්‍රෝඞ් 9 වැනි කඩුල්ල ලෙස මොහොමඞ් අමීර් දවාලූ අතර අවසන් පිතිකරු සොහේල් ඛාන් පෙරළා දුන් උඩපන්දුව ඩැහැගත් මුයීන් අලි මේ විස්මිත ජයග්‍රහණය තහවුරු කළේය. පසුව ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

පාකිස්තානු ඉනිම අන්තිම මොහොත දක්වාම පිළිසකර කිරීමට උර දුන් 20 හැවිරිදි ආරම්භක පිතිකරු සමී අස්ලම් එකම ටෙස්ට් තරගයක ඉනිම් 2 දීම අර්ධ ශතක ලැබූ ලාබාලතම පාකිස්තානු ආරම්භක පිතිකරු බවට පත්වූවත් පිතිකරුවන් පස්දෙනකුටම ලකුණු 10 සීමාවවත් පසුකිරීමට නොහැකිවිය.

අන්තිම දවසේ දිවා ආහාරයෙන් පසුව ජයග්‍රහණයට කඩුලු 9 ක් හෝ ඊට වඩා අවශ්‍යව තිබූ මෙවැනි අවස්ථාව තුනක්ම ජයගැනීමට මීට පෙර එංගලන්තය සමත්ව තිබිණි.

ලකුණු 311 ක වාසියත්  තිබුණත් පෙරේදා පස්රුවේ පාකිස්තානුවන් දෙවැනි වරට පිටියට කැඳවීම කල් දමා වැඩි පරිස්සම ගැන සිතූ එංගලන්ත පිලේ නායක ඇලිස්ටෙයාර් කුක් ඊයේ උදෑසන සෑහීමකට පත්ව සිය දෙවැනි ඉනිම අත්හිටුවූයේ ප්‍රතිවාදීන්ගේ ජයග්‍රාහී ඉලක්කය සතුටුවන ආකාරයට දීර්ඝවීමෙන් පසුවය.

ලෝඞ්ස් හී  පැවැති පළමු ටෙස්ට් තරගය දින 4 ක් ඇතුලත පරාජයට පත්වූ එංගලන්තය දැන් සිවුවැනි තරගයට ඕවල් පිටියට බැසීමට සිතා සිටින්නේ තරග 3-1 කින් පාකිස්තානය පරදවා ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල මුදුනා වන්නටය. මීට දින කිහිපයකට පෙර එතැන සිටි ඔස්ටේ්‍රලියාව ඊයේ පෙරේදා ශ්‍රී ලංකාව හමුවේ ලැබූ දරුණු පරාජයෙන් පසුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එක කාටත් විවෘත එකක් බවට පත්වී තිබිණි. ඊයේ පරාජයට පත්වීමට පෙර මුදුනා වීමේ බලාපොරොත්තුවක් පාකිස්තානුවන් අතරත් තිබිණි.


එංගලන්තය පළමු ඉනිම – සියලුදෙනා දැවී 297 යි.

පාකිස්තානය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 400 යි.
(සමී ඉස්ලාම් 82, අසාර් අලී 139, යූනිස් ඛාන් 31, මිස්බා උල් හක් 56, සර්ෆ්‍රාස් අහමඞ් නොදැවී 46, ජේම්ස් ඇන්ඩර්සන් 54/2 ස්ටුවර්ට් බ්‍රෝඞ් 83/3, ක්‍රිස් වෝක්ස් 79/3)

එංගලන්තය දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 445 යි.
(ඇලිස්ටෙයාර් කුක් 66, ඇලෙක්ස් හේල්ස් 54, ජෝ රූට් 62, ජේම්ස් වින්ස් 42, ගැරී බැලන්ස් 28, ජොනී බෙයාර්ස්ටෝ 83, මුයින් අලී නොදැවී 86, මොහොමඞ් ආමීර් 75/2, සොහේල් ඛාන් 111/2, යසීර් ෂා 172/2)

පාකිස්තානය දෙවැනි ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 201 යි.
(සමී ඉස්ලාම් 70, අසාර් අලී 38, සොහේල් ඛාන් 36, ජේම්ස් ඇන්ඩර්සන් 31/2, ස්ටුවර්ට් බ්‍රෝඞ් 24/2, ක්‍රිස් වෝක්ස් 53/2, ස්ටීවන් ෆින් 38/2, මුයින් අලී 49/2)


- 077

 

තරගයේ වාසිය එංගලන්තය දෙසට

ජොනී බෙයාර්ස්ටෝ සහ මුයින් අලීගේ නොබිඳුණු ශතක සම්බන්ධතාව මත ඉනිම ගොඩනැංවූ එංගලන්ත ක්‍රීඩකයෝ පාකිස්තානයට එරෙහිව එජ්බැස්ටන් හී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය නිමාවට පත්වනවිට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 414 ක් ලබා සිටියහ.

එංගලන්ත පිලේ මුලු ලකුණු සංඛ්‍යාව 282 ක්ව තිබියදී බෙයාර්ස්ටෝ සමග එක්වූ අලී තරගය සිවුවැනි දිනයේ තරගය නතර කරනවිට 6 වැනි කඩුල්ලට ගොඩනැගූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 132 කි. ඒ අනුව දැන් ඔවුන් පාකිස්තානුවන්ට වඩා ලකුණු 311 ක් ඉදිරියෙන් සිටින අතර සටනක් දිය හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් රැස් කිරිමෙන් පසුව නායක කුක් ඉනිම අත්හිටුවනු ඇත.

කලෙකට පසුව එංගලන්ත පිලේ සියලුම මුල් පෙළ පිතිකරුවන් දායකත්වය දීම කැපී පෙනුණි.

මෙහි මූලික අඩිතාලම දමනු ලැබුවේ නායක අලිස්ටෙයාර් කුක් සහ ඇලෙක්ස් හේල්ස් දෙදෙනාය. ඔවුන් දෙදෙනා එක්ව පෙරේදා තරගය නවත්වන විට පළමු කඩුල්ලට ලකුණු 120 ක් එකතු කර තිබිණි. එසේ වුවත් ඊයේ උදැසන ඔවුන්ගේ සම්බන්ධතාව තවත් ලකුණු 6 කට වඩා ඉදිරියට ගෙන යාමට ඉඩනොදුන් පාකිස්තානුවෝ මුලු ලකුණු සංඛ්‍යාව 126 ක්ව තිබියදී හේල්ස්ගේ කඩුල්ල දවාගත්හ.

ඒ වනවිටත් සිය අර්ධ ශතකය ලබා සිටි හේල්ස් දැවී ගියේ මොහොමඞ් අමීර්ගේ පන්දුවකින් ලැබුණු උඩපන්දුවක් ස්ලිප් හී සිටි යූනිස් ඛාන් ඩැහැගැනීමෙනි. හේල්ස් සහ කුක් දෙදෙනාම ඕවර 5ක් ඇතුලතදී දැවී ගියහ. මෙවර තරගමාලාවේ පාකිස්තානුවන්ගේ ලොකුම හිසරදය බවට පත්ව සිටින ජෝ රූට් සහ ජේම්ස් වින්ස් අතරත් ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගුණු අතර දිවා ආහාරයෙන් මොහොතකට පසුව සිය කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ඔසවා තැබීමට ද ඔවුහු සමත්වූහ.

ඊයේ දිනයේ තරගයේ අවසන් භාගය එහෙම පිටින්ම තමන්ගේ පාලනයට නතුකරගත් බෙයාර්ස්ටෝ සහ අලී සිය නායකයා සිතුවාටත් වඩා ඉනිම හොඳින් පිළිසකර කරමින් ඔවුනොවුන්ගේ අර්ධ ශතක වාර්තා ලබාගත්හ.

කොහොමටත් පාකිස්තානුවන් ඉදිරියේ වැඩිපුර පරිස්සම් වන නායක කුක් ඉනිම අත්හිටුවා ප්‍රතිවාදීන්ට පන්දුවට පහරදීමට පිටියට කැඳවීමට තවමත් සිත යොමුකොට නොමැත. පෙනෙන හැටියට නම් ඔහු මේ පිතිකරුවන්ට වාසිදායක තණතීරුවේ අවදානමක් ගැනීමට කොහෙත්ම සූදානම් නැත.

අද උදෑසන කාලයේ තවදුරටත් බෙයාර්ස්ටෝව්ට සහ අලීට හිතේ හැටියට පිත්ත හැසිරවීමට ඉඩ දී අවසන් ඕවර 75 හෝ 80 දී ප්‍රතිවාදීන්ගේ ඉවසීම පරික්ෂා කිරීම ඔහුගේ අරමුණ වනු ඇතැයි විස්තර විචාරකයෝ ඊයේ කීවෝය.

පිතිකරුවන්ට බෙහෙවින් සුදුසු මට්ටමක තිබෙන එජ්බැස්ටන් තණතීරුවේ එංගලන්ත පිතිකරුවන් මන්දගාමීව ලකුණු රැස් නොකළා නම් අද මුලු දවසම ප්‍රතිවාදීන්ට ලබා දී ජයග්‍රහණයේ වාසිය උරගා බැලිමට තිබූ බව තවත් සමහරු කීහ.

ඊයේ රාත්‍රී ආහාරවේල  දීර්ඝ එකක් බවට පත් කරමින් නායක කුක් සිතන්නට ඇත්තේ ඉනිම අත්හිටුවන්නේ කිනම් මොහොතකදැයි කියාය. එය කෙසේවෙතත් දැන් පහළ වී ඇත්තේ තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්වීමේ පෙරනිමිතිය.


එංගලන්තය පළමු ඉනිම – සියලුදෙනා දැවී 297යි

පාකිස්තානය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 400 යි.
(සමී ඉස්ලාම් 82, අසාර් අලී 139, යූනිස් ඛාන් 31, මිස්බා උල් හක් 56, සර්ෆ්‍රාස් අහමඞ් නොදැවී 46, ජේම්ස් ඇන්ඩර්සන් 54/2 ස්ටුවර්ට් බ්‍රෝඞ් 83/3, ක්‍රිස් වෝක්ස් 79/3)

එංගලන්තය දෙවැනි ඉනිම – කඩුලු 5ක් දැවී ලකුණු 414 යි.
(අලිස්ටෙයාර් කුක් 66, ඇලෙක්ස් හේල්ස් 54, ජෝ රූට් 62, ජේම්ස් වින්ස් 42, ගැරී බැලන්ස් 28, ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 82, මුයින් අලී නොදැවී 60, මොහොමඞ් අමීර් 73/2, සොහේල් ඛාන් 102/1, යසීර් ෂා 152/2)


- 077

 

කුක් – හේල්ස් පාකිස්තානු වාසිය උදුරා ගනිති

පාකිස්තානුවන් දෙසට හැරී තිබුණු වාසිය උදුරාගත් එංගලන්ත පිලේ නායක ඇලිස්ටෙයාර් කුක් සහ ඇලෙක්ස් හේල්ස් පළමු කඩුල්ලට ලකුණු 120 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නගමින් එජ්බැස්ටන් හී දී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමාවෙද්දී කඩුලු 10 ම අතැතිව ලකුණු 17 ක් ඉදිරියෙන් සිටීමට සමත්වූහ.

පාකිස්තානයට වඩා ලකුණු 103 ක් පසුපසින් සිට, ඊයේ පස්වරු තේ පානයෙන් පසුව සිය දෙවැනි ඉනිම ඇරැඹූ එංගලන්ත පිල ඉහළට ඔසවා තැබූ නායක කුක් නිදහස් පිතිහරඹයක නිරතවූ අතර දිනය නිමාවීමට පෙර සිය 51 වැනි ටෙස්ට් අර්ධ ශතකයකට හිමිකම් කීමට සමත්විය. එය ඔහුගේ 6 වැනි වේගවත් අර්ධ ශතකය වීම කැපී පෙනුණි. ඉන් තුනක්ම වාර්තා වූයේ මේ ටෙස්ට් තරගමාලාවේදී වීම විශේෂත්වයකි.

නායක කුක්ට වඩා පරිස්සම් සහගතව පිත්ත හැසිරවූ හේල්ස් ආරම්භයේදී තරමක පීඩනයට ලක්ව සිටියත් පසුව කල්පනාකාරීව ඉනිම ගොඩ නගමින් සිය අර්ධ ශතකය සම්පුර්ණ කළේ සොහේල් ඛාන් යැවූ දවසේ අන්තිම ඕවරයේ අන්තිම පන්දුවට ලබාගත් තනි ලකුණෙනි.

කඩුලු 7 ක්ම අතැතිව ලකුණු 257 ක් ලබා සිටි පාකිස්තාන පළමු ඉනිම ඊයේ මෙල්ල කරගැනීමට සමත්වූ එංගලන්ත පිලේ පන්දු යවන්නන් ප්‍රතිවාදීන්ගේ අවසන් කඩුලු 5 ම බිඳ දැමුවේ ලකුණු 42 කටය.

පාකිස්තානුවන්ට වැඩිම හානිය සිදුවූයේ දිවා ආහාරයෙන් පසුව ගතවූ පැය තුලදීය. ඒ වෙද්දී අනුකම්පා විරහිත පිතිකරුවකු වන පාකිස්තානු පිලේ නායක මිස්බා උල් හක් හොඳින් පන්දුවට පහරදෙමින් සිටි අතර උදෑසන කාලයේ යූනිස් ඛාන්ගේ සහ අසාඞ් ශෆීක්ගේ කඩුලු බිඳ වැටීමෙන් තරමක් පසුබැස සිටි පාකිස්තානුවන් දැවැන්ත ඉනිමක් ගොඩනැගීමේ පෙරනිමිති පහළ වෙන්නට පටන් ගෙන තිබිණි.

එහෙත් ඒ අවුල් සහගත පැයේ දී මුලින්ම අර්ධ ශතකයක් ලබා සිටි නායක මිස්බාගේ කඩුල්ල බිඳ දැමීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත්වූ අතර ඊළඟට යසීර් ෂා දුවද්දී දැවීයාමට හසුවිය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවකින් මොහොමඞ් ආමීර් ආපසු ක්‍රීඩාගාරයට හැරී යද්දී පාකිස්තානුවන්ගේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු කඩුලු 8 කට 368 ක් ලෙසිනි.

ස්ටුවර්ට් බ්‍රෝඞ් පාකිස්තානු ඉනිමේ අවසන් කඩුලු දෙකම බිඳ දැමුවද ඒ වෙද්දී සංචාරකයෝ ලකුණු 103 ක් ඉදිරියට ගොස් තිබිණි.


එංගලන්තය පළමු ඉනිම – 297යි. සියලුදෙනා දැවී
(ඇලිස්ටෙයාර් කුක් 45, ජේම්ස් වින්ස් 39, ගැරී බැල්න්ස් 70, මුයින් අලී 63, මොහොමඞ් ආමීර් 53/2, සොහේල් ඛාන් 96/2, රහත් අලී 83/2)

පාකිස්තානය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 400 යි.
(සමී ඉස්ලාම් 82, අසාර් අලී 139, යූනිස් ඛාන් 31, මිස්බා 56, සර්ෆ්‍රාස් අහමඞ් නොදැවී 46, ජේම්ස් ඇන්ඩර්සන් 54/2 ස්ටුවර්ට් බ්‍රෝඞ් 83/3, ක්‍රිස් වෝක්ස් 79/3)

එංගලන්තය දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 120 යි.
(අලිස්ටෙයාර් කුක් නොදැවී 64, ඇලෙක්ස් හේල්ස් නොදැවී 50)


- 077

 

පාකිස්තානුවෝ වෙනසකට අරඅඳිති

උඩපන්දු අතහැරීමේ පාඩම් මාලාවක් එංගලන්ත පිලට  කදිමට කියා දුන් අසාර් අලී දැඩි පරිශ්‍රමයකින් රැස් කළ ශතකය මත ඉනිම ගොඩ නැගූ පාකිස්තානය එජ්බැස්ටන් නුවර දැන් පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වනවිට සිය පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 257 ක් ලබා ගැනීමට සමත්විය.

ඒ එංගලන්තය පළමු ඉනිමට රැස් කළ ලකුණු 297 ට පිළිතුරු ලෙසිනි.

තරග 4 කින් සමන්විත එංගලන්ත – පාකිස්තානු ටෙස්ට් තරගාවලියේදී තරගයක් බැගින් ජයගැනීමට දෙපිලම සමත්ව සිටින හෙයින් මේ වන විට 1-1 ක් ලෙසින් තරගාවලිය සමවී තිබේ.

අවස්ථා දෙකකදීම එංගලන්ත පිලේ ක්‍රීඩකයන්ගෙන් කඩුල්ල රැක ගැනීමේ වාසනාව හිමිකර ගත් අසාර් අලී දැවී ගියේ ක්‍රිස් වෝක්ස් යැවූ දවසේ අන්තිම පන්දුවෙනි. ඔහු දුන් උඩපන්දුව පළමු ස්ලිප් හී සිටි නායක අලෙස්ටෙයාර් කුක් සුරක්ෂිතව ඩැහැ ගත්තේය. ඒ වෙද්දී අලීගේ උඩපන්දු දෙකක්ම අතහැර යස පාඩමක් ඉගෙන ගෙන සිටි බැවින් තුන්වැනි අවස්ථාව එනතුරු ඔවුහු බොහෝ කාලයක් කල් මැරූහ.

දිවා ආහාරයෙන් පසුව ජේම්ස් ඇන්ඩර්සන් යැවූ පළමු ඕවරයේ දී දුන් උඩපන්දුව ස්ලිප් කලාපයේ සිටි ජෝ රූට් අතින් ගිලිහී යද්දී අසාර් අලී ලබා සිටියේ ලකුණු 38 ක් පමණි. අනතුරුව ලකුණු 69 ක් ලබා සිටියදී පන්දු යැවූ මුයින් අලීටම ආපසු දුන් උඩපන්දුවත් ඔහුගෙන් ගිලිහී ගියේය.

ඊයේ උදෑසන ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි මොහොමඞ් හෆීස් පළමු ඕවරය යැවූ ජෙම්ස් ඇන්ඩර්සන්ගේ සිවුවැනි පන්දුවට පොයින්ට් කලාපයට උඩපන්දුවක් දී ලකුණු නොලබා දැවී යද්දී පාකිස්තානය මෙතරම් සාර්ථකත්වයක් පෙන්නුම් කරනු ඇතැයි කිසිවකු සිතුවේ නැත. එහෙත් ශාන් මසූඞ් වෙනුවට ඉනිම ආරම්භ කිරිමට කැඳවූ 20 හැවිරිදි සමී ඉස්ලාම් සමග එක්වූ අසාර් අලී දෙවැනි කඩුල්ලට ලකුණු 181 ක අනගි සම්බන්ධතාවක් ගොඩ නගමින් පාකිස්තානය ඉහළට ඔසවා තැබුවේ සිය 10 වැනි ටෙස්ට් ශතකයක් වාර්තා කරමිනි.

මේ තරගාමාලාවේ මීට පෙර පැවැති තරග 2 දීම ඉනිම් 4 ලකුණු 30 ට වඩා ලබා නොසිටි අසාර් අලී ඊයේ පුදුමාකාර විදිහේ අලංකාරයෙන් යුතු කට් පහර සහ ඩ්‍රයිව් පහර එල්ල කිරීම කැපී පෙනුණි.

ඔහුට හැම අතින්ම සහය දුන් වමත් ආරම්භක පිතිකරු ඉස්ලාම් එංගලන්ත පිලේ ආක්‍රමණශීලී පන්දු යැවීම මොට කර දැමීමට සමත්වූයේ අගනා ලකුණු 82 ක් රැස් කරමිනි. සිය තුන්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් පාකිස්තානුවන්ගේ බලාපොරොත්තු ඉහළ දමමින් සිටි හෙතෙම ජේම්ස් වින්ස කෙළින්ම කඩුල්ලට දමා ගැසූ පන්දුවෙන් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ ලකුණු 82 කටය. ඔහු මේ තරගයට පාකිස්තානය විසින් කරනු ලැබූ වෙනස්කම් 2 කින් එකකි. අනික් වෙනස්කම වේගපන්දු යවන සොහේල් ඛාන්ය. එංගලන්ත පළමු ඉනිම පෙරේදා සුණු විසුණු කළ හෙතෙම කඩුලු 5 ක් උදුරා ගත්තේය.

පාකිස්තානයේ දෙවැනි කඩුල්ල මුලු ලකුණු 181 කදී බිඳ වැටුණත් අන්තම පන්දුවෙන් දැවීයාමට පෙර යූනිස් ඛාන් හා එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 76 ක් එකතු කිරීමට අසාර් අලී සමත්විය.

දවස පුරාම කඩුලු 3කට වඩා ප්‍රතිවාදීන්ගෙන් උදුරා ගත නොහැකිවූ එංගලන්තයට අවසන් පන්දුවෙන් අසාර් අලී දැවීයාම ඉහටත් උඩින්ය. තවම ලකුණු 40 ක් ඉදිරියෙන් පසුවූවත් අද තරගයේ තුන්වැනි දවසේ දී සෑහෙන ලොකු ඉනිමකට යා නොදී පාකිස්තානුවන් මෙල්ල කරගැනීමට ඔවුන්ගේ එකම අභිලාශය වී තිබේ.

එංගලන්තය පළමු ඉනිම – සියලුදෙනා දැවී 297
(ඇලිස්ටෙයාර් කුක් 45, ජේම්ස් වින්ස් 39, ගැරී බැල්න්ස් 70, මුයින් අලී 63, මොහොමඞ් අමීර් 53/2, සොහේල් ඛාන් 96/2, රහත් අලී 83/2)

පාකිස්තානය පළමු ඉනිම – කඩුලු 3ක් දැවී ලකුණු 257
(සමී ඉස්ලාම් 82, අසාර් අලී 139, යූනිස් ඛාන් නොදැවී 21, ජේම්ස් ඇන්ඩර්සන් 32/1, ක්‍රිස් වෝක්ස් 52/1)

 

-077

 

මිස්බා කණ්ඩායම නම් කිරීම කල් දමයි

එංගලන්තයට එරෙහිව එජ්බැස්ටන් නුවර දී අද ඇරැඹෙන තුන්වැනි ටෙස්ට් තරගයට සිය කණ්ඩායම පිවිසෙන්නේ ප්‍රතිවාදී පිලේ අභියෝගාත්මක පිතිකරුවන් දෙපොල වන ජෝ රූට් සහ ඇලිස්ටෙයාර් කුක් වෙනුවෙන් අලුත්ම සැලසුමක් ඇතිව බව පාකිස්තානයේ පුහුණුකරු මිකී ආතර් කියයි.

පළමු ටෙස්ට් තරගය ජයගැනීමට පාකිස්තානය සමත් වූ නමුත් දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 330 කින් පරාජයට පත්වීමෙන් ටෙස්ට් තරගමාලාව 1-1 කින් සමවිය. දෙවැනි තරගයේදී පළමු ඉනිමේ ලකුණු 254 ක් ලැබූ රූට් දෙවැනි ඉනිමේ දී නොදැවි ලකුණු 7 1ක් රැස් කළේය. ඔහුට නොදෙවැනි අන්දමේ පිතිප්‍රහාරයක යෙදුණු අලෙස්ටෙයාර් කුක් පළමු ඉනිමේ දී ලකුණු 105 ක් ද, දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 76 ක් ද ලබාගත්තේය.

“අපිට කුක් සහ රූට් ගැන ආපහු බලන්න වෙනවා. අපි අපේ තරග සැලසුම විශ්ලේෂණය කළා” ආතර් කීවේය.
“අපි මේ පිතිකරුවන් දෙන්නා දකින්නේ එංගලන්ත පිතිහරඹයේ කොඳුනාරටිය ලෙසයි. නව පන්දුවෙන් අපිට මේ දෙන්නා දවාගන්න හැකිවුනොත් අපිට හොඳ අවස්ථාවක් තියෙනවා.‘යයි මිකී ආතර් කියයි.

ඕල්ඞ් ට්‍රැෆර්ඞ් පිටියේ දී තරගයේ වීරයා වූ රූට් තරගයෙන් පසුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ අංක දෙකට පත්වූ අතර කුක් අටවැනි තැන අයිතිකර ගත්තේය.

පළමු ටෙස්ට් තරගයේ දී එංගලන්ත කණ්ඩායම එහෙම පිටින්ම මෙල්ල කිරීමට සමත්වූ සිය කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයේ දී දස්කම් අතින් හිටිහැටියේම පහතට වැටීම එක්තරා විදිහක තුන්තේරවිල්ලක් බව ආතර්ගේ අදහසයි.

‘එයාලා හැමෝම දස්කම් අතින් ඉහළින්ම ඉන්න අය.‘ ආතර් කියන්නේ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් ගැනය.

‘කොහොමටත් එයාලා පැහැදිලිවම දන්නවා කණ්ඩායමේ තම තමන්ගේ ස්ථාන රැකගන්න නම් එළියට ඇවිත් දස්කම් පෙන්වන්න සිද්ධවෙනවා කියලා.‘ ආතර් එසේ ද කීවේය.

‘හේල්ස්ගේ පිතිහරඹය මම අවතක්සේරුවට ලක් කරන්නෙ නෑ. ඒ වුණත් කුක් සහ රූට් තමයි මේ මොහොතේ එංගලන්ත පිතිහරඹයේ පහන්වැට වෙලා තියෙන්නෙ.‘

මේ අතර ආබාධයකට ලක්වීම නිසා දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් වී සිටි ස්ටීවන් ෆින් තුන්වැනි ටෙස්ට් තරගයට කැඳවීමට එංගලන්ත තේරීම් කමිටුව පියවර ගත්තේය. 27 හැවිරිදි ෆින් ආබාධයකට ලක්වූයේ ලෝඞ්ස් හී පැවැති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටියදීය. ඒ කෙසේවෙතත් තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් දෙවැනි ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වීම නිසා තුන්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන බව එංගලන්ත කඳවුරෙන් ඇසෙන්නට විය.

“පේන හැටියට නම් අපේ වේගපන්දු බලඈණිය ශක්තිමත් එකක්.” කුක් එසේ කීවේ වත්මන් තත්ත්වය ගැනයි.
එංගලන්ත පිලේ පන්දු යැවීම ගැන නායකයා සෑහීමකට පත්වූවත් මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නම් ඔහුගේ කනස්සල්ලට හේතුවී තිබේ.

අංක 4 ස්ථානයෙන් පිටියට පිවිසෙන රොබට් වින්ස් දුර්වල පහරවලට යාමෙන් නිතරම දැවී යයි.
‘පහුගිය අවුරුදු දෙකක් තිස්සේ අපි මේ අවාසනාවට ගොදුරුවෙලයි ඉන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී මේ වගේ දේවල් දරාගැනීම තරමක් දුෂ්කරයි. ටෙස්ට් කියන්නේ ප්‍රාන්ත ක්‍රිකට්වලට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රීඩාවක්. මේ අය ඉක්මනට ඒක තේරුම් ගනීවි කියලයි මං නම් හිතන්නේ.‘ යයි කුක් කීවේය.

අද ඇරැඹෙන ටෙස්ට් තරගයට එංගලන්ත කණ්ඩායම කෙසේවේවිදැයි දැනගන්නා තුරු තම කණ්ඩායම නම් කිරීම ඊයේ පාකිස්තාන නායක මිස්බා උල් හක් ප්‍රතික්ෂේප කිරීම කැපී පෙනුණු කාරණාවක් විය. එංගලන්තය හමුවේ පරාජයට පත්වූ ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ටෙස්ට් තරගයේ දී අර්ධ ශතකයක් ලැබූ එකම පාකිස්තානු පිතිකරු ඔහු විය.

“අනිත් කණ්ඩායමට අපේ ටිම් එක දැන්ම දැනගන්න ඉඩ දෙන්න බෑ”. මිස්බා සිය කණ්ඩායම නම් කිරීම කල්දැමීම ගැන එසේ කීවේය.


- 077

 

කුක් අවලාද මැදින් ඉලක්කය සොයා යයි

ජයග්‍රහණය උරගා බැලීමට 391 ක ලකුණු වපසරියක් තිබුණත් පාකිස්තානු පිලට දෙවැනිවර පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා නොදීමට එංගලන්ත කණ්ඩායමේ නායක අලෙස්ටෙයාර් කුක් තීරණය කළේය. සිය දෙවැනි ඉනිම ආරම්භ කළ එංගලන්ත පිල ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ඊයේ තුන්වැනි දිනය නිමාවනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 98 ක් ලබා සිටියේය.

ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ලකුණු 24 කදී මොහොමඞ් අමීර් හමුවේ දැවී ගියද මුල් ඉනිමේදී ශතකයක් ලබාගත් නායක කුක් (නොදැවී 49 ක්) සහ මුල් ඉනිමේදී ද්විත්ව ශතකයක් ලබාගත් ජෝ රූට් (නොදැවී 23) ඊයේ සවස් වන විටත් කඩුල්ලේ රැඳී සිටියහ.

ක්‍රිස් වෝක්ස්ගේ විශිෂ්ට පන්දු යැවීමට ස්තුති වන්නට පාකිස්තාන පළමු ඉනිම ලකුණු 198  කට සීමා කළ එංගලන්තය දැන් ලකුණු 48 ක්ම ඉදිරියෙන් පසුවෙයි. ටෙස්ට් පිටියේ කිසිදු කණ්ඩායමක් ලකුණු 418 කට වැඩි ඉලක්කයක් හඹාගොස් ජයගෙන නොමැති වුවත් එංගලන්තය කුරුමානම් අල්ලන්නේ තරගයේ සිවුවැනි දිනය වන අද මුල් භාගයේදීත් තව දුරටත් ලකුණු සංඛ්‍යාව ඉහළ දමා තරග 4 කින් යුත් මේ ටෙස්ට් තරගමාලාව 1-1 කින් සම කරගැනීමටය.

පාකිස්තානයට දෙවැනි වර පන්දුවට පහරදීමේ වාරය ලබා නොදී එංගලන්ත පිලේ ජයග්‍රහණය මෙසේ පමා කිරීම ගැන ඊයේ හවස්වරුව පුරාම එරට හිටපු ක්‍රීඩකයෝ රැසක්ම නායක කුක්ගේ ක්‍රියා කලාපය පතුරු හරිමිින් සිටියහ.  එහෙත් පාකිස්තානු පිලේ පිතිකරුවන් පිළිබඳ ඔවුන්ගේ අවබෝධය කෙසේ යන්න පිළිබඳව ඇත්තේ කුකුසකි.

පසුගිය වසරේ මැද භාගයේදී මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී සිවුවැනි ඉනිමේදී ලකුණු 377 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු පිතිකරුවෝ කඩුලු 3 කට ලකුණු 382 ක් ලබාගනිමින් කඩුලු 7 කින් තරගය ජයගත්හ. පල්ලෙකැළේදී පැවැති එම තරගයේදී ශතක ලබාගත් ශාන් මසූඞ් (125), යුනිස් ඛාන් (නොදැවී 171) දෙදෙනා මෙන්ම නායක මිස්බා උල් හක් (නොදැවී 59) ද ඕල්ඞ්ට්‍රැෆර්ඞ් තරගයේදී ක්‍රීඩා කරති.

වර්ෂාව හේතුවෙන් අවස්ථා 4 කදීම තරගය නතර කිරීමට සිදුවූ ඊයේ දිනය පුරාම දෙපිලම යවා තිබුණේ ඕවර 60.4 ක් පමණි. ඉන් පාකිස්තාන ඉනිමට වැයවූයේ ඕවර 39ක් පමණි. එසේ තිබියදීත් සිය පන්දු යවන්නන්ට අවශ්‍ය විවේකයක් ලබාදී පන්දු යවන්නන්ට යෝග්‍යව තිබෙන ඕල්ඞ් ට්‍රැෆර්ඞ් තණතීරුවේ සිය දෙවැනි ඉනිම ආරම්භ කිරිම ගැන කුක් දැඩි විවේචනයට හසුවී සිටියේය.

පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දී ටෙස්ට් තරගයක් ජයගැනීමට මෙතෙක් සමත්වී ඇත්තේ කණ්ඩායම් 2 ක් පමණි. වසර 1894 සහ 1981 දී එංගලන්තයත්, වසර 2001 දී ඉන්දියාවත් මේ විරල වාර්තාව තැබූ අතර අවස්ථා 3 දීම ඒ  අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූයේ ඕස්ට්‍රේලියාවයි.

තරගයේ දෙවැනි දිනය වූ පෙරේදා සිය පළමු ඉනිමට කඩුලු 8 ක් දැවී ලකුණු 589 ක දැවැන්ත ඉනිමක් ගොඩනැංවීමෙන් පසුව ඉනිම අත්හිටුවා පාකිස්තානය පිටියට කැඳවූ එංගලන්ත පිල පෙරේදා හවස් වරුවේ ලකුණු 57 කට කඩුලු 4 ක් ම බිඳ දැමීම නිසා ඊයේ උදෑසන කාලය පුරාම පාකිස්තාන පිතිකරුවන් පන්දුවට පහරදුන්නේ දැඩි පීඩනයකින් යුතුවය. නායක මිස්බා උල් හක් ලකුණු 52 කින් ද, සර්ෆ්‍රාස් අහමඞ් ලකුණු 26 කින්ද, වහාබ් රියාස් ලකුණු 39 කින්ද පාකිස්තානු ඉනිමට මුක්කු ගැසූ නමුත් පාකිස්තානු ඉනිම ලකුණු 198 දී නතර විය.


එංගලන්තය පළමු ඉනිම – ඉනිම අත්හිටුවනවිට කඩුලු 8ක් දැවී ලකුණු 589 යි.
(ඇලෙස්ටෙයාර් කුක් 105, ජෝ රූට් 254, ජේම්ස් වින්සි 18, ගැරී බැලන්ස් 23, ක්‍රිස් වෝක්ස් 58, බෙන් ස්ටෝක්ස් 34, ජොනී බෙයාර්ස්ටොව් 58. මොහොමඞ් ආමීර් 89/2, රහත් අලී 101/2, වහාබ් රියාස් 106/3. යසීර් ෂා 213/1)

පාකිස්තානය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 198 යි.
(මොහම්මඞ් හාෆීස් 18, ෂාන් මසූඞ් 39, මිස්බා උල් හක් 52. සර්ෆ්‍රාස් අහමඞ් 26, වහාබ් රියාස් 39, මුයින් අලී 43/2. ක්‍රිස් වෝක්ස් 67/4, බෙන් ස්ටෝක්ස් 39/2)

එංගලන්තය දෙවැනි ඉනිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 98 යි.
(අලෙස්ටෙයාර් කුක් නොදැවී 49, ඇලෙක්ස් හේල්ස් 24, ජෝ රූට් නොදැවී 23, මොහොමඞ් ආමීර් 36/1)


- 077

 

කුක් – රූට් එංගලන්තයට සවිමත් වේදිකාවක් තනති

යසීර් ෂාගේ විජ්ජාකාරී දඟපන්දු හමුවේ එංගලන්තයේ පිතිකරුවන් තවත් වරක් අවමානයට ලක්වනු ඇතැයි තරගයට පෙර පළවූ සියලු අනාවැකි පුස්සක් බවට පත් කළ නායක ඇලෙස්ටෙයාර් කුක් සහ ජෝ රූට් පාකිස්තානයට එරෙහිව මැන්චෙස්ටර් නුවර ඕල්ඞ්ට්‍රැෆර්ඞ් හී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී එංගලන්ත ලකුණු පුවරුව 300 න් ඔබ්බට ගෙනයමින් සිය කණ්ඩායමේ ගෞරවය රැක ගත්තේය.

 
කුක් සහ රූට් දෙදෙනාම ශතක දෙකක් රැස් කිරීමට සමත්වූ අතර එංගලන්ත පිල තවත් කඩුලු 6 ක්ම අතැතිව පළමු දිනය අවසන් වන විට ලකුණු 314 ක් ලබා සිටියේය. එංගලන්ත ඉනිමේ හරි අඩකට ආසන්න ලකුණු ප්‍රමාණයක් වාර්තා කරමින් ජෝ රූට් නොදැවී ලකුණු 141ක්  ලබා සිටී. 


කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට නායක කුක් සමග පිටියට පිවිසි ඇලෙක්ස් හේල්ස් ලකුණු 10 ක් ලබා සිටියදී මොහොමඞ් ආමීර් යැවූ පන්දුවක් කඩුල්ල තුලට දෝලනය වීම නිසා ඔහුට ආපසු ක්‍රීඩාගාරයට පියමං කිරීමට සිදුවිය. ඉනිම පිළිසකර කිරීමට එක්වූ අංක 3 පිතිකරු ජෝ රූට් පෙන්නුම් කළේ ඕල්ඞ් ට්‍රැෆර්ඞ් පිටියට රැස් වූ දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ට කලෙකට අමතක නොවෙන ඉනිමකි. 


අන්තිම දශමයට කාලය මැන වරින් වර හතරේ සීමාවට ඔබ්බෙන් පන්දුව තල්ලු කර හරිමින් කුක් තවත් වතාවක් ලකුණු රැස් කිරීමට ඇති තම හැකියාව මනාව ඔප්පු කළේය. එය පාකිස්තානු පිලේ හිටපු නායක රමීස් රාජා හැඳින්වූයේ ‘ආචාරශීලී පිතිහරඹයක් ‘ ලෙසිනි.


සිය නායකයා අභිබවා ගිය රූට් මුලින්ම අර්ධ ශතකය ලබාගත්තත්, ඉක්මනින්ම පිත්ත ඉහළට ඔසවා ක්‍රීඩාලෝලීන් හුනස්නෙන් නැගිටවීමට කුක් සමත්විය. දෙදෙනා අතර ශතක සම්බන්ධතාව ගොඩනැගුණේ ඔවුන් දවාලීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමිනි. 


දෙදෙනා එක්ව ශක්තිමත් අත්තිවාරමක් දමා එංගලන්ත ඉනිම ගොඩනැගූ අතර කුක් ඊයේ වාර්තා කළ ලකුණු 105 ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන්ගේ ටෙස්ට් ශතක 29 වාර්තාව සම කිරීමට ඔහුට ඉවහල් විය. කුක් සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 185 ක සම්බන්ධතාවක් ගොඩ නැගූ ජෝ රූට් නොදැවී රැස් කළ ලකුණු 141 ඔහුගේ 10 වැනි ටෙස්ට් ශතකය ලෙස වාර්තා පොතට එකතුවිය.


ලකුණු 75ක අන්ත පරාජයක් අත් විඳි පළමු ටෙස්ට් තරගයට සාපේක්ෂව ගත් විට එංගලන්ත පිල ඊයේ කැපී පෙනෙන දියුණුවක් පෙන්නුම් කළ අතර ෂා භීතිකාවට නිර්භීතව මුහුණදීමට ද සමත්විය. කුක් සිය ඉනිම අතරතුර යසිර් ෂාට එරෙහිව ලකුණු 39 ක් ලබාගත් අතර රූට් ලකුණු 45 ක් රැස් කළේය. 


කුක්ගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි ජේම්ස් වින්ස් රහත් අලීගේ පන්දුවකට කඩුලු රකින සර්ෆ්‍රාස්ට උඩපන්දුවක් දී ලකුණු 18කට දැවීයාමට පෙර ස්ලිප් හී සිටි යූනිස් ඛාන්ට උඩපන්දුවක් දුන්නත් එය ඔහු අතින් ගිලිහී ගියේය. අනතුරුව පිටියට පිවිසි ගැරී බැලන්ස් ලකුණු 23 කට දැවීයාමට පෙර සිය ජ්‍යෙෂ්ඨ පිතිකරු රූට් හා එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 78 ක්ම එකතු කළේය.


එංගලන්තය පළමු ඉනිම – කඩුලු 4ක් දැවී ලකුණු 314යි. 
(ඇලෙස්ටෙයාර් කුක් 105, ජෝ රූට් නොදැවී 141, ජේම්ස් වින්සි 18, ගැරී බැලන්ස් 23, මොහොමඞ් ආමීර් 63/2, රහත් අලී 69/2) 

 


- 077

 

සීරුවෙන් සිටීමට පාකිස්තානුවන්ට උපදෙස්

යසීර් ෂා ගේ මැජික් දඟපන්දු හමුවේ ලෝඞ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 75 කින් පරාජයට පත්වීමේ අවමානයෙන් විපිළිසර වූ ඇලෙස්ටෙයාර් කුක්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායම මැන්චෙස්ටර් නුවර ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී පෙරළා පහරදිය හැකි බැවින් ඊට සාර්ථකව මුහුණදීමට සුදානම් වෙන ලෙස නායක මිස්බා උල් හක් සිය ක්‍රීඩකයන්ට අනතුරු අඟවයි.

පාකිස්තානයේ ලොකුම තුරුම්පුව වන යසීර් ෂා පෙරේදා පස්වරුවේ පුහුණුවීම්වල නිරතව සිටියදී සිය වම් උරහිසේ ආබාධයක් ඇතිවීම නිසා ස්කෑන් පරීක්ෂණයකටද පෙනී සිටීමට සිදුවීම නිසා පාකිස්තානයේ සෙසු ක්‍රීඩකයෝද සීරුවෙන් සිටින බව පාකිස්තානු නායකයා කියයි.

ලෝඞ්ස් ටෙස්ට් තරගයේදී කඩුලු 10 ක් දවාලමින් තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගමාලාවේ පෙරමුණට සිය කණ්ඩායම කැඳවාගෙන එමින් යසීර් ෂා ලොව නොම්මර එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට පත්විය. එහෙත් ඕල්ඞ් ට්‍රැෆර්ඞ් තණතීරුවේ සිත් සේ ප්‍රීතිමත්වීමේ අවස්ථාවක් යසීර් ෂාට ඇතිද යන්න කිව නොහැකිය. මක්නිසාද යත් එංගලන්තය එකම වරද දෙවරක් කිරීමට සූදානම් නැති බැවිනි.

ස්කෑන් පරීක්ෂණය සඳහා යසීර් ෂා රෝහල කරා ගොස් නැවත පැමිණීමෙන් පසුව පාකිස්තානු නායකයා වාර්තාකරුවන් හමුවේ කියා සිටියේ ඔහුගේ තත්ත්වය හොඳ බවය.
 
කෙසේ වෙතත් ඕල්ඞ් ට්‍රැෆර්ඞ් තණතීරුවේදී යසීර ෂාට හොඳින් දස්කම් දැක්විය හැකිවේද යන්න එංගලන්ත මාධ්‍යවේදීන් කළ විමසීමේදී මිස්බා උල්හක් දුන්නේ ගාණෙන් බේරෙන උත්තරයකි.

“අපි මොන තණතීරුවේ ද ක්‍රීඩා කරන්නේ කියන එක නෙවෙයි වැදගත්.”

“පන්දු යවන්නා හොඳ නම් ඔහුට ඕනෑම තැනක දස්කම් දැක්විය හැකියි. ඔහු ලෝඞ්ස් පිටියේ දී ලස්සනට වැඬේ කළා. ඒ වුණත් අනිත් අයත් තම තමන්ගේ කොටස කළ යුතුයි. ඔවුන් (එංගලන්ත පිල) යසීර් ෂාට හොඳින් මුහුණ දුන්නොත් අනිත් අය වගකීම කරට ගන්න ඕනා” යයි මිස්බා කීවේය.

දෙවැනි ටෙස්ට් තරගය සඳහා පාකිස්තානය සිය කණ්ඩායම වෙනස් නොකළත්, එංගලන්ත පිල නම් වෙනස්කම් කිහිපයක්ම කර තිබේ. ඔවුන් පළමු තරගයේ දී සිදුවූ අඩුපාඩු අකමකා දැමීමේ අරමුණින් ඔවුන්ගේ ප්‍රබලතම වේගපන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන්, තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සහ දඟපන්දු යවන ආදිල් රෂීඞ් අද ඕල්ඞ් ට්‍රැෆර්ඞ් පිටියට කැඳවනු ඇතැයි අනාවැකි පළවී තිබේ. ඇන්ඩර්සන් සහ ස්ටෝක්ස් දෙදෙනාම පසුගිය කාලයේ විවිධ ශාරීරික ආබාධවලට ලක්වී සිටියහ.

“ඔවුන් අද තරගයේ මුල ඉඳලම යසිර්ව ඉලක්ක කරාවි. ඔවුන් මොනවද කරන්නේ කියන එක ඔවුන්ට බාරයි. අපි ඒවාට ලෑස්තියි. යසීරුත් ඒක දන්නවා” යයිද පාකිස්තානු නායකයා පැවැසීය.

කෙසේ වෙතත් එංගලන්ත නායකයා වඩාත් සුබවාදීව මෙම තරගය දෙස බලයි.

“තරගයකින් පරාජය වුණාම විශ්වාසය පළුදු වෙනවා තමයි. ඒත් ආපහු නැගී සිටින්න හැකියාව ඇති ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම අපිට ඉන්නවා.” යයි ඇලිස්ටෙයාර් කුක්  ඊයේ කීවේය.

“ලෝඞ්ස් තරගයේ දෙවැනි ඉනිමේ දී අපි කාටවත්ම හරියට පිත්ත උස්සගන්න බැරිවුණා. ඒත් අපි ඊට කළිනුත් ඒ විදිහට පරාජය වෙලා සතියකට පස්සේ ආපහු ජයග්‍රාහී මානසිකත්වයට එළැඹිලා තිබෙනවා. අපිට ඒක ආපහු කරන්න පුලුවනි” යයි එංගලන්ත නායකයා කියන්නේ දැඩි විශ්වාසයකින් යුතුවය.

 

පාකිස්තානය ලකුණු 281 ක් ඉදිරියෙන්

ලෝඞ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දස්කම් පෑ ශ්‍රේෂ්ඨ ඉංග්‍රීසි පන්දු යවන්නන් අතලොස්සට එක්වෙමින් පාකිස්තානයට එරෙහිව එහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ප්‍රතිවාදීන්ගේ දෙවැනි ඉනිමෙනුත් කඩුලු 5 ක් උදුරාගැනීමට ක්‍රිස් වෝක්ස් සමත්ව සිටියේය. වෝක්ස්ගේ මෙම දස්කම් නිසා ලෝඞ්ස්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය නිමාවනවිට පාකිස්තානු කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 214 ක් පමණි.

කෙසේ වෙතත් මුල් ඉනිමේදී ලබාගත් වාසියත් සමගින් තුන්වැනි දිනයට තරගය නතර කරනවිට කඩුලු 2ක් අතැතිව ලකුණු 281 ක් ඉදිරියෙන් සිටින පාකිස්තාන දෙවැනි ඉනිමට පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද කැපී පෙනෙන දායකත්වයක් ලබාදෙන යසීර් ෂා නොදැවී ලකුණු 30 ක් ලබා සිටියේය.  

ඊයේ දිනය වඩාත් චමත්කාරජනක එකක් වූයේ දෙපිලේහිම කඩුලු 10ක් බිඳ වැටීම නිසාය. හිරු රශ්මියෙන් අඩුවැඩි නැතිව ආලෝකමත් වූ ඊයේ දිනයේ උදෑසන කාලයේ වැඩි ගෞරවය පාකිස්තානය හිමිවූ අතර දහවල් කාලයේ එංගලන්තය වැඩි ගෞරවය අත්කරගත්තේය.

වෝක්ස්ගේ සාර්ථක පන්දු යැවීම නිසා ඊයේ දිනය නම් ලෝඞ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉපැරැණි මතකය අවදි කළ එකක් විය. ඔහු ඉංග්‍රීසි වේගපන්දු යැවීමේ දැවැන්තයන් වන බ්‍රෝඞ්, බොතම්, ටෘමන් සහ ස්ටේතම් සමග ලෝඞ්ස් හී ටෙස්ට් තරගයක කඩුලු 10 ක් සම්පූර්ණ කිරීමේ විරල වාර්තාවට හිමිකම් කීමට සමත්විය.

ඊයේ උදෑසන ඕවර 8ක් තුල එංගලන්ත ඉනිමේ ඉතිරි කඩුලු තුන බිඳ දැමීමට පාකිස්තානය සමත්වූ අතර යසීර් ෂා ඔහුගේ 6 වැනි කඩුල්ලත් බිඳ දමමින් එංගලන්ත පළමු ඉනිම ලකුණු 272 කට සීමා කළේය. එය අවුරුදු 83 කට පසුව ලෝඞ්ස් පිටියේ දී දඟපන්දු යවන්නකු කඩුලු 6 ක් දවාලූ අවස්ථාවක් විය. අවසන් වතාවට 1933 දී එංගලන්තයේ දඟපන්දු යවන ක්‍රීඩක වෝල්ටර් රොබින්ස් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 32කට කඩුලු 6ක් දවාලමින් එවන් දස්කමක් කර තිබිණ.

ලකුණු 67 ක වාසියක් සමග සිය දෙවැනි ඉනිම ආරම්භ කළ පාකිස්තානයට එංගලන්ත වේගපන්දු බලඈණිය හමුවේ අසාර්ථක විය. ශාන් මසූඞ් සහ අසාර් අලී එක්ව යන්තම් දිවා ආහාරය වනතුරු කඩුලු රැකගත්තේ ලකුණු 40 ක් එක් කරමිනි. එහෙත් දිවා ආහාරයෙන් පසුව යැවූ පළමු ඕවරයේදීම මසූඞ් ලකුණු 24 කට දවාලූ වෝකස් සුපුරුදු වැඩ ආරම්භ කළේ අසාර් අලී ද කඩුල්ල මුවා කරගැනීමේ වරදට හසු කරමිනි.

පාකිස්තාන පළමු ඉනිමේ වාර්තාගත ශතකයක් ලැබූ නායක මිස්බා උල් හක්ගේ කඩුල්ල ආ විගසම බිඳ දැමූ මුයීන් අලී, 5 වැනි කඩුල්ලට යූනිස් ඛාන් සහ අසාඞ් ශෆීක් ගොඩනැගූ ලකුණු 69ක අනගි සම්බන්ධතාව නිමා කළේ ලකුණු 25ක් ලබා සිටි යූනිස් ඛාන්ගේ කඩුල්ලත් හිමිකරගනිමිනි.

අසාඞ් ශෆීක් සිය අර්ධ ශතකයට ලකුණක් අඩුවෙන් සිටියදී වෝක්ස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යද්දී පාකිස්තානු ඉනිම දිස්වූයේ කඩුලු 6 කට ලකුණු 168 ක් ලෙසිනි. අනතුරුව සර්ෆ්‍රාස් අහමඞ් සහ යසීර් ෂා එක්ව 7 වැනි කඩුල්ලට මිළ කළ නොහැකි ලකුණු 40 ක් එකතු කළහ.

අහමඞ් ලකුණු 45කට දැවී ගියේ මේ තරගයේ වෝක්ස්ගේ වාර්තාගත 10 වැනි ගොදුර බවට පත්වෙමිනි. වහාබ් රියාස් ලකුණු ලබාගැනීමටත් පෙර දවාලූ වොක්ස් පිට පිට දෙවැනි වරටත් කඩුලු 5 සම්පූර්ණ කිරීමට සමත්විය. තරගය නතර කෙරුණේ ඒ ඕවරය අවසන් වෙද්දීමය.


පාකිස්තානය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 339යි.
(මොහොමඞ් හෆීස් 40, යූනිස් ඛාන් 33, මිස්බා උල් හක් 114, අසාඞ් ශෆීක් 73, සර්ෆ්‍රාස් අහමඞ් 25, ස්ටුවර්ට් බ්‍රෝඞ් 71/3, ක්‍රිස් වෝක්ස් 70/6)

එංගලන්තය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 272යි.
(ඇලෙස්ටෙයාර් කුක් 81, ජෝ රූට් 48, ජොනී බෙයාර්ස්ටොව් 29, මුයින් අලී 23, ක්‍රිස් වෝක්ස් 35, මොහොමඞ් ආමීර් 65/1, රහත් අලී 68/1, වහාබ් රියාස් 67/1,  යසීර් ෂා 72/6)


පාකිස්තානය දෙවැනි ඉනිම – කඩුලු 8ක් දැවී ලකුණු 214යි.
(ෂාන් මසූඞ් 24, අසාර් අලී 23, යූනිස් ඛාන් 25, අසාඞ් ශෆීක් 49, සර්ෆ්‍රාස් අහමඞ් 45, යසීර් ෂා නොදැවී 30, ස්ටුවර්ඞ් බ්‍රෝඞ් 38/1, ක්‍රිස් වෝක්ස් 31/5, මුයින් අලී 49/2)


- 077