සුපර්ජයන්ට්ස් පිලට කඩුලු 9 ක පහසු ජයක්

දහවැනි වරටත් පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ 55 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පූනේහිදී අද (14 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගැනීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමගින් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම ප්‍රසාඳ ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය. ඒ අනුව ඔවුන් ලබන 16 වැනිදා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.

ජයග්‍රහණය සඳහා ලකුණු 74 ක පහසු ඉලක්කයක් හඹාගිය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් ක්‍රීඩකයෝ ඕවර 12 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. අජින්ක්‍යා රහනේ (නොදැවී 34) සහ නායක ස්ටීවන් ස්මිත් (නොදැවී 15) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 37 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

රාහුල් ත්‍රිපාති පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 28 ක් රැස්කරමින් පූනේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර අසාර් පටේල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා ඔහුට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

කාසියේ වාසිය දිනූ රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට ඕවර 15.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 73 ක් පමණි.

පන්ජාබ් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අසාර් පටේල් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 22 ක් රැස්කළේය. කෙසේ වුවත් පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවීයෑම පන්ජාබ් කණ්ඩායමට විශාල පාඩුවක් විය.

දක්ෂ පන්දුයැවීමක නිතර වූ ශර්දුල් ටාකූර් ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්ජාබ් කණ්ඩායමේ පිතිකරුවන් අසරණ කළ අතර ඩැනියෙල් ක්‍රිස්ටියන්, ජයදේව් උනාඞ්කට් සහ ඇඩම් සම්පා කඩුලු 2 බැගින් දවාගනිමින් පන්ජාබ් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ටාකූර්ට අනගි සහායක් දුන්හ.


කිංග්ස් XI පන්ජාබ් පිල – ඕවර 15.5 කදී සියලු දෙනා දැවී 73
(රිධිමන් සාහා 13, අසාර් පටේල් 22, ශර්දුල් ටාකූර් 19/3, ඩැනියෙල් ක්‍රිස්ටියන් 10/2, ජයදේව් උනාඞ්කට් 12/2, ඇඩම් සම්පා 22/2)

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල – ඕවර 12 කදී කඩුල්ලක් දැවී 78
(අජින්ක්‍යා රහනේ නොදැවී 34, රාහුල් ත්‍රිපාති 28, ස්ටීවන් ස්මිත් නොදැවී 15)


- 036

 

පාකිස්තානය ඓතිහාසික ජයක් සොයා ඇදෙයි

 

අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් අද (14) සමුගන්නා නායක මිස්බා උල් හක්ට සහ ප්‍රවීණ පිතිකරු යූනිස් ඛාන්ට අමරණීය තෑග්ගක් දීමට බලා සිටින පාකිස්තානුවෝ කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වාගෙන සිටිති. ඩොමිනිකා රාජ්‍යයේ රොසියු නගරයේ වින්ඞ්සර් උද්‍යාන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (13) තරගය නවත්වනවිට ලකුණු 304ක ඉලක්කයක් හඹා යන බටහිර ඉන්දීය කොදෙව් පිලේ පළමු කඩුල්ල ලකුණු 7 දී බිඳ දමා බලාපොරොත්තු දල්වා ගත්හ. 

ඒ අනුව සත්කාරකයන් ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 297 ක් ලබාගත යුතු නමුත් ඔවුන් අත ඇත්තේ කඩුලු 9 ක් පමණි. කිරන් පවෙල් ලකුණු 4කට දවාලමින් පාකිස්තානුවන්ගේ එම බලාපොරොත්තුවේ පහන් දල්වනු ලැබුවේ යසීර් ෂා විසිනි. 

දශක 6 කට වඩා දිර්ඝ ඉතිහාසයක් ඇති කොදෙව් සංචාර තුළ පාකිස්තානය මෙතෙක් කිසිදිනෙක ටෙස්ට් තරගමාලාවක් ජයගෙන නොමැත. අද ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගන්නා නායක මිස්බාට ඒ උදාර ජයග්‍රහණය සඳහා කණ්ඩායම රැගෙන යා හැකිනම් සිය සගයා යූනිස් ඛාන් සමග එක්ව යළි යළිත් සිහිපත් කළ හැකි ස්වර්ණමය මතක සටහනක අයිතිකරුවන් විය හැකිය. 

දෙපිලටම එක ලෙස කෝඩුකාර වින්ඞ්සර් උද්‍යාන තණතීරුවේ පළමු දින 3 දීම බිඳ වැටී තිබුණේ කඩුලු 15 ක් වුවත් ඊයේ දිනයේ පමණක්ම කඩුලු 14 ක් බිඳ වැටීමෙන් දෙපිලම අන්ත අසරණ තත්ත්වයට පත්වූහ. ඊයේ බිඳ වැටුණු කඩුලු සංඛ්‍යාවෙන් 11 ක්ම වේගපන්දු යවන්නන් හමුවේය. 

වසර 2015 අවසන් වතාවට ඕස්ට්‍රේලියාව මේ ක්‍රීඩාංගණයේදී සත්කාරකයන් පරාජයට පත්කළ තරගයේදිත් ඔවුන්ගේ වේගපන්දු යවන්නෝ කඩුලු 16 ක්ම දවාගත්හ. එබැවින් මේ තරගයත් වේගපන්දු යවන්නන්ට වාසිදායක බවට තරගයට පෙර පළවූ අනාවැකි ඉටු වන බවක් පෙනී යන්නේ කොදෙව් පළමු ඉනිමේ දී කඩුලු 6 ක්ම පාකිස්තානු වේගපන්දු යවන්නන් හමුවේ බිඳ වැටීම නිසාය. 

පිතිකරුවාගේ පාදයේ ඇඟිලි තැලෙන යෝකර් පන්දු අකුණු වේගයෙන් ඇදී යාමට සැලැස්වූ මොහොමඞ් අබ්බාස් ඊයේ උදෑසන සිය ටෙස්ට් තරග දිවියේ මංගල කඩුලු 5 සම්පූර්ණ කිරීමට සමත්වීය. ඔහු මේ ක්‍රීඩා කරන්නේ සිය තුන්වැනි ටෙස්ට් තරගයටය. පෙර දින කඩුලු 5ක් දැවී ලකුණු 218 ක් ලබා සිටි සත්කාරකයන්ගේ ඉතිරි කඩුලු 5ම ලකුණු 29ක් තුළදී බිඳ වැටිණ. පෙරේදා දිනයේදී ලකුණු 43 කට කඩුල්ලක් පමණක් දවාගෙන සිටි අබ්බාස් ඊයේ ඉතිරි කඩුලු 4 ම බිඳ දැමීමට වැය කොට තිබුණේ තවත් ලකුණු 3ක් පමණි. 

මොහොමඞ් අමීර් යැවු දිනයේ පළමු ඕවරයේදීම ශේන් ඩවුරිච්ගේ කඩුල්ල බිඳ වැටුණු අතර ඊට කළින් දිනයේ ඔහුගේම පන්දුවක් වැදී වැලමිට තුවාල වී ලකුණු 60 දී පිටියෙන් ඉවත්වූ රොස්ටන් චේස්ට ඊයේ තවත් ලකුණු 9කට වඩා ගත නොහැකිවූයේ අබ්බාස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාය. නායක ජේසන් හෝල්ඩර් එක් අන්තයකින් කඩුල්ල බේරාගෙන සිටියදී අනිත් අන්තයෙන් කඩුලු දඩයම් කළ අබ්බාස් සත්කාරකයන්ගේ ඉනිම දිවා ආහාරයටත් පෙර නිමාවට පත් කළේය. 

අනතුරුව ලකුණු 129 ක වාසියකුත් සමග සිය දෙවැනි ඉනිම ආරම්භ කළද පාකිස්තානුවන්ටත් වැඩි යමක් කළ නොහැකි විය. අනපේක්ෂිත ලෙස ඉනිම කඩා වැටෙන්නට පටන් ගත් අතර කොදෙව් පිලේ වේගපන්දු යවන්නන් හමුවේ දැඩි පසුබෑමකට ලක්වූ සංචාරකයන්ගේ දෙවැනි ඉනිම දිවා ආහාරය වෙද්දි සටහන් වූයේ ලකුණු 8 කට කඩුලු 2 ක් ලෙසිනි. 

දිවා ආහාරයෙන් පසුව ෂාන් මසූඞ් සහ යූනිස් ඛාන් එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 49 ක් එක් කිරීමට සමත්වූවත් ෂැනොන් ගේබි්‍රයෙල්ගේ පන්දුවකින් මසූඞ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර නායක මිස්බා උල් හක්ට සිය අවසන් ටෙස්ට් ඉනිමේ දී ලබාගත හැකිවූයේ ලකුණු 2 ක් පමණි. මිස්බා සහ යූනිස් දෙදෙනාම පිටියෙන් ඉවත්වූයේ දෙපිලේහිම ක්‍රීඩකයන්ගේ ආචාරය මධ්‍යයේය. පස්වරු තේ පානයට තරගය නතර කරද්දී ලකුණු 75 කට පාකිස්තානුවන්ගේ කඩුලු 5 ක්ම උදුරා ගැනීමට සත්කාරයෝ සමත්වූහ.

පාකිස්තානු පිලේ නමගිය අන්තිම පිතිකරුවා වූ අසාඞ් ෂෆික් ද මුලු ලකුණු සංඛ්‍යාව 90 ක් වෙද්දී 7 වැනි කඩුල්ල ලෙස ආපසු  ක්‍රීඩාගාරයට ගියේ තරගයේ වාසිය හැම අතින්ම කොදෙව් පිල දෙසට හරවමිනි. එහෙත් විස්මිත පිතිහරඹයක නිරතවූ පාකිස්තානු පිලේ දඟපන්දු යවන ක්‍රීඩක යසිර් ෂා අගපෙළ පිතිකරුවන් සමග එක්ව බිඳ වැටුණු ඉනිම පිළිසකර කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්වෙමිනි. 

යසීර් ෂා තවත් වේග පන්දු යවන්නකු වන මොහොමඞ් අමිර් සමග එක්ව අටවැනි කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 61 කි. මිස්බා ඉනිම අතරමග නැවැත්වීමට තීරණය කළේ යසීර් ෂා විසින් කඩුලු 8 කට ලකුණු 151 ක් වු පාකිස්තානු දෙවැනි ඉනිම හසන් අලි සමග එක්ව ලකුණු 174 දක්වා ඉහළ දමමින් සිටියදීය. ඒ වන විට කොදෙව් පිලට ලකුණු 304 ක ඉලක්කයක් හිමිවී තිබිණ. 

පාකිස්තානය පළමු ඉනිම – ඕවර 146.3කදී සියලුදෙනා දැවී ලකුණු 376

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම – ඕවර 115කදී සියලු දෙනා දැවී ලකුණු 247

(ක්‍රෙග් බ්‍රැත්වේට් 29, කීරොන් පවෙල් 31, ෂායි හෝප් 29, රොස්ටන් චේස් 69, ශේන් ඩවුරිච් 20, ජේසන් හෝල්ඩර් නොදැවී 30, මොහොමඞ් අමීර් 32/1, මොහොමඞ් අබ්බාස් 46/5, යසීර් ෂා 126/3, අසාර් අලී 15/1)

පාකිස්තානය දෙවැනි ඉනිම – ඕවර 57කදී කඩුලු 8ක් දැවී ලකුණු 174

(ෂාන් මසූඞ් 21, යූනිස් ඛාන් 35, මොහොමඞ් අමීර් 27, යසීර් ෂා නොදැවී 38, ෂැනොන් ගේබි්‍රයෙල් 24/2, අල්සාරී ජෝශප් 53/3, රොස්ටන් චේස් 31/1, දේවේන්ද්‍ර බිෂූ 54/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම – ඕවර 6.3කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 7
(ක්‍රෙග් බ්‍රැත්වේට් නොදැවී 3, කීරන් පවෙල් 4, යසීර් ෂා 2/1)

 

- 077

මුම්බායි පිල ලකුණු 9 කින් ජය ගනියි

දහවැනි වරටත් පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ 54 වැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව කොල්කටාහිදී අද (13 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 164 ක් පමණි. හර්දීක් පාණ්ඩ්‍යා, විනේ කුමාර් සහ ටිම් සවුති කඩුලු 2 බැගින් දවාගනිමින් කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණයේ මාවත අවහිර කළහ.

කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මනීෂ් පාණ්ඬේට පන්දු 33 කදී හතරේ පහර 2 ක් සමගින් රැස්කරගත හැකි වූයේ ලකුණු 33 ක් පමණි. පන්දු 7 කදී හයේ පහර 3 ක් සමගින් වේගවත් ලකුණු 20 ක් රැස්කිරීමට යූසෆ් පතන් සමත් වුවද, ඔහුට වැඩි වේලාවක් කඩුල්ලේ රැදීමට නොහැකි විය.

කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ගෞතම් ගම්භීර්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 173 ක් ලබාගත්තේය.

වේගවත් පිතිහරඹයක නිතර වූ අම්බටි රයිඩු පන්දු 37 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 63 ක් රැස්කළ අතර කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ රොබින් උතප්පාගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 12 ක් වන විට ආරම්භක පිතිකරු ලෙන්ඞ්ල් සිමන්ස් ලකුණු නොළඹා දැවී ගියද එතැන් සිට සෙසු පිතිකරුවන් සමග එක්ව මුම්බායි ඉනිම ගොඩනැගූ සෞරබ් තිවාරි පන්දු 43 කදී ලකුණු 52 ක් රැස්කළේ හතරේ පහර 9 ක් සමගිනි.

නායක රෝහිත් ශර්මා (27) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සෞරබ් තිවාරි, ඉන් නොනැවතී අම්බටි රයිඩු (63) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් මුම්බායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

මුම්බායි ඉන්දියන්ස් පිල – ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 173
(සෞරබ් තිවාරි 52, රෝහිත් ශර්මා 27, අම්බටි රයිඩු 63, කරන් පොලාඞ් 13, ටේ‍රන්ට් බෝල්ට් 30/2)

කොල්කටා නයිට් රයිඩර්ස් පිල – ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 164
(ක්‍රිස් ලින් 26, ගෞතම් ගම්භීර් 21, මනීෂ් පාණ්ඬේ 33, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 29, යූසෆ් පතන් 20, කුල්දීප් යාදව් 16, හර්දීක් පාණ්ඩ්‍යා 22/2, විනේ කුමාර් 31/2, ටිම් සවුති 39/2)

-036

 

හයිද්‍රාබාද් පිල ලකුණු සටහනේ දෙවැනි තැනට

දහවැනි වරටත් පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ 53 වැනි තරගය ලෙස ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව කාන්පූර්හිදී අද (13 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

‍ජයග්‍රහණය සඳහා ලකුණු 156 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වූ අතර ඒ මෙතෙක් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටි කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම තෙවැනි ස්ථානයට ඇද දමමිනි. කෙසේ වුවත් කොල්කටා කණ්ඩායමට, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව තවත් තරගයක් ඉතිරිව ඇති බැවින් නැවතත් ඔවුන්ට ‍ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණීමට අවස්ථාව තිබේ.

නායක ඬේවිඞ් වෝනර් (නොදැවී 69) සහ විජේ ශංකර් (නොදැවී 63) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 91 කදී ලකුණු 133 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. පන්දු 52 කදී වාර්තා වූ ඬේවිඞ් වෝනර්ගේ අර්ධ ශතකයට හතරේ පහර 9 ක් අන්තර්ගත වූ අතර පන්දු 44 කදී වාර්තා වූ විජේ ශංකර්ගේ අර්ධ ශතකයද හතරේ පහර 9 කින් සමන්විත විය.

හයිද්‍රාබාද් කණ්ඩායමේ බිඳවැටුණ කඩුලු 2 ටම හිමිකම් කීමට ගුජරාට් කණ්ඩායමේ ආරම්භක පන්දුයවන්නා ලෙස කටයුතු කළ ප්‍රවීන් කුමාර් සමත් විය.

කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක ඬේවිඞ් වෝනර්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම ඕවර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 154 ක් රැස්කළේය.

ආරම්භක පිතිකරුරවන් වූ ඉෂාන් කිෂන් (61) සහ ඞ්වේන් ස්මිත් (54) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ගුජරාට් ලයන්ස් කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන්හ. පන්දු 40 කදී වාර්තා වූ ඉෂාන් කිෂන්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 33 කදී වාර්තා වූ ඞ්වේන් ස්මිත්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.

කෙසේ වුවත් ඔවුන් දෙදෙනා දැවීයාමෙන් අනතුරුව ගුජරාට් කණ්ඩායමේ පිතිකරුවන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවායෑමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දුයවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මොහොමඞ් සිරාජ් ලකුණු 32 කට කඩුලු 4 ක් දවගනිමින්ද, රෂීඞ් ඛාන් ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගනිමින්ද ගුජරාට් ඉනිම සුනුවිසුණු කර දැමූහ.

මෙතෙක් පැවැති තරග වලදී වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින බුවනේෂ්වර් කුමාර් අද දිනයේදී තවත් කඩුලු 2 ක් දවාගනිමින් සිය කඩුලු සංඛ්‍යාව 25 ක් දක්වා ඉහළ දමාගත්තේය.

ගුජරාට් ලයන්ස් පිල – ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 154
(ඞ්වේන් ස්මිත් 54, ඉෂාන් කිෂන් 61, රවින්ද්‍ර ජදේජා නොදැවී 20, මොහොමඞ් සිරාජ් 32/4, රෂීඞ් ඛාන් 34/3, බුවනේෂ්වර් කුමාර් 25/2)

සන්රයිසස් හයිද්‍රාබාද් පිල – ඕවර 18.1 කදී කඩුලු 2 ක් දැවී 158
(ඬේව්ඞ් වෝනර් නොදැවී 69, ශිකර් ධවාන් 18, විජේ ශංකර් නොදැවී 63)

-036

 

කොදෙව් පිල අසීරු ගමනක

සටන්කාමී පිතිහරඹයක නිරතවූ රොස්ටන් චේස් අර්ධ ශතකයක් රැස් කරමින්  ඩොමිනිකා රාජ්‍යයේ රොසියු නගරයේ වින්ඞ්සර් පාක් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලේ පළමු ඉනිම ලකුණු 200 සීමාවට රැගෙන යාමට සමත්වූවත් ඔහු තුවාල ලැබීමෙන් පිටියෙන් ඉවත්වීම නිසා අඩපණවූ සත්කාරකයන්ගේ පළමු ඉනිම දිනය නිමාවෙද්දී කඩුලු 5කට ලකුණු 218ක් ලෙස සටහන් විය.

කඩුලු 4කට මුලු ලකුණු සංඛ්‍යාව 183ක්ව තිබියදී මොහොමඞ් අමීර්ගේ බවුන්සර් පන්දුවකට පූල් පහරක් එල්ල කරන්නට ගිය චේස්ට පහර වැරැදී ගිය අතර පන්දුව ඔහුගේ වැලමිටේ තදින් ගැටී තුවාල වීමෙන් පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

දිනයේ අවසන් හෝරාවේදී කඩුලු රැකගත් කඩුලු රකින පිතිකරු ශේන් ඩවුරිච් සහ නායක ජේසන් හෝල්ඩර් පිළිවෙළින් ලකුණු 20ක් සහ 11ක් රැස් කරමින් නොදැවී සිටිති. එසේ වුවත් ඔවුන් තවමත් පසුවන්නේ පාකිස්තානුවන්ගේ පළමු ඉනිමට වඩා ලකුණු 158ක් පසුපසිනි.

ඊයේ දිවා ආහාරය වෙනවිට යසීර් ෂාගේ විස්මිත දඟපන්දුවෙන් ලකුණු 97කට කඩුලු 3ක්ම බිඳ වැටී තිබියදී ෂායි හෝප් සමග එක්වූ චේස් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළට ඔසවා තැබුවේ සිවුවැනි කඩුල්ලට ලකුණු 55ක සම්බන්ධතාවක් ද ගොඩනගමිනි. මේ දෙදෙනා එක්ව දිවා ආහාරයත්, තේ පානයත් අතර කාලයේ සිය කඩුලු පරිස්සම් කරගැනීමෙන් සංචාරකයන් තරමක් පසුබෑමකට ලක්වී සිටිය. එහෙත් පානයට පෙර අවසන් ඕවරය යැවීමට කැඳවූ අසාර් අලීගේ පන්දුවකට නායක මිස්බා වෙත උඩපන්දුවක් දී හෝප් දැවීයාමෙන් පාකිස්තානුවෝ යළි තරගයට අවතීර්ණ වූහ.

අවසන් භාගයේ මුලදීම නවක පිතිකරු විසුවල් සිං කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමට මොහොමඞ් අබ්බාස් සමත්විය. අනතුරුව ඩවුරිච් සහ හෝල්ඩර් එක්ව දිනය නිමාවනතෙක් කඩුලු රැක ගනිමින් කොදෙව් ඉනිම ඇදගෙන ගියහ.

 

පාකිස්තානය පළමු ඉනිම – ඕවර 146.3කදී සියලුදෙනා දැවී ලකුණු 376
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම – ඕවර 100කදී කඩුලු 5ක් දැවී ලකුණු 218

(ක්‍රෙග් බ්‍රැත්වේට් 29, කීරොන් පවෙල් 31, ෂායි හෝප් 29, රොස්ටන් චේස් තුවාල ලබා පිටියෙන් ඉවත්වුණා 60, ශේන් ඩවුරිච් නොදැවී 20, මොහොමඞ් අබ්බාස් 43/1, යසීර් ෂා 108/3, අසාර් අලී 15/1)

 

- 077

දිල්ලි පිලට ලකුණු 7 ක ජයක්

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දිල්ලීහිදී පැවැති 52 වන තරගයේදී රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලට එරෙහිව ලකුණු 7 ක ජයක් හිමිකර ගැනීමට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල අද (12 වැනිදා) සමත්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 161 ක් පමණි.


මනෝජ් තිවාරී විසින් ජයග්‍රහණය සදහා කණ්ඩායම රැගෙන යාමට දැඩි වෙහෙසක් දැරුවද අවසන් මොහොතේ බලාපොරොත්තු සුන්කර ගැනිමට ඔහුට සිදුවිය. පන්දු 45 කට මුහුණදුන් මනෝජ් තිවාරී හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 60 ක් රැස්කිරීමට සමත්විය.


සිවුවැනි කඩුල්ල සදහා පන්දු 39 කදී ලකුණු 51 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට මනෝජ් තිවාරී සහ බෙන් ස්ටෝක්ස් සමත්වූහ.
සහීර් ඛාන් සහ මොහොමඞ් ශාමී කඩුලු දෙක බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවි ලකුණු 168 ක් රැස්කිරීමට සමත්විය.


පළමු කඩුලු දෙක ලකුණු 9 ක් තුළ දැවීයන විටදී තෙවැනි කඩුල්ල සදහා පන්දු 40 කදී ලකුණු 74 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට කරුන් නායර් සහ රිෂාබ් පාන්ට් සමත්වූහ.


කරුන් නායර් පන්දු 45 කට මුහුණදෙමින් ලකුණු 64 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර නවයක් ඇතුළත් විය.


ජෙයිදේව් උනද්කට් සහ බෙන් ස්ටෝක්ස් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.

 

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් – ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 168
(කරුන් නායර් 64, රිෂාබ් පාන්ට් 36, මාලන් සැමුවෙල් 27, ජෙයිදේව් උනද්කට් 29/2, බෙන් ස්ටෝක්ස් 31/2)

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් – ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 161
(ස්ටීවන් ස්මිත් 38, මනෝජ් තිවාරී 60, බෙන් ස්ටෝක්ස් 33, සහීර් ඛාන් 25/2, මොහොමඞ් ශාමී 37/2)

 

සාහාගේ පිතිහරඹය පංජාබ් පිලට ජය ගෙනෙයි


10 වැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේ මුම්බායිහිදී පැවැති 51 වන තරගයේදී මුම්බායි ඉන්දියන්ස්  පිලට එරෙහිව ලකුණු 7 ක ජයක් හිමිකර ගැනීමට කිංග්ස් XI පංජාබ් පිල අද (11 වැනිදා) සමත්විය.


    ජයග්‍රහණය සදහා ලකුණු 231 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 223 ක් පමණි. මෝහිත් ශර්මා යැවූ අවසන් ඕවරයේදී ජයග්‍රහණය සදහා මුම්බායි ඉන්දියන්ස් පිලට ලකුණු 16 ක් ලබාගැනීමට තිබූ අතර කරන් පොලාඞ්ට පන්දු තුනකදී ලකුණු ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් පරාජය වැළඳ ගැනීමට ඔවුන්ට සිදුවූහ.


    වේගවත් පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරුවන්වූ ලැන්ඞ්ල් සිමන්ස් සහ පාර්තිව් පතෙල් පළමු කඩුල්ල සදහා පන්දු 52 කදී ලකුණු 99 ක සම්බන්ධතාවයක් පවත්වමින් ලකුණු 231 ක ඉලක්කයක් හඹායෑම සදහා අඩිතාලම දමා දුන්හ. ලැන්ඞ්ල් සිමන්ස් පන්දු 32 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර පහක සමගින් ලකුණු 59 ක් රැස්කළ අතර කරන් පොලාඞ් හයේ පහර පහක් සහ හතරේ පහරක් සමගින් පන්දු 24 කදී නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට සමත්විය.


හර්දික් පාන්ඩ්‍යයා සමගින් එක්ව පස්වැනි කඩුල්ල සදහා පන්දු 21 කදී ලකුණු 55 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ කරන් පොලාඞ් හයවැනි කඩුල්ල සදහා කාන් ශර්මා සමගින් පන්දු 10 කදී ලකුණු 31 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට සමත්විය.


    පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් XI පංජාබ් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 230 ක් රැස්කරමින් මුම්බායි ඉන්දියන්ස් පිලට දැවැන්ත ඉලක්කයක් ලබාදීමට සමත්විය.


විශිෂ්ට පිතිහරඹයක නිරතවූ විර්ද්‍රීමාන් සාහා ඉනිම ආරම්භයේ සිට අවසානය තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 55 කදී නොදැවී ලකුණු 93 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්විය. හයේ පහර තුනකින් සහ හතරේ පහර 11 කින් විර්ද්‍රීමාන් සාහාගේ ඉනිම අලංකාර විය.


මාටින් ගප්ටිල් සමගින් එක්ව පළමු කඩුල්ල සදහා පන්දු 33 කදී ලකුණු 68 ක සම්බන්ධතාවයක්ද, ග්ලෙන් මැක්ස්වෙල් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පනදු 33 කදී ලකුණු 63 ක සම්බන්ධතාවයක්ද, ශෝන් මාෂ් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 26 කදී ලකුණු 52 ක සම්බන්ධතාවයක් පැවැත්වූ විර්ද්‍රීමාන් සාහා සිවුවැනි කඩුල්ල සදහා ඇක්සා පටෙල් සමගින් එක්ව පන්දු 28 කදී ලකුණු 47 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීමටද සමත්විය.

 

කිංග්ස් XI පංජාබ් – ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 230

(මාටින් ගප්ටිල් 36, විර්ද්‍රීමාන් සාහා නොදැවී 93, ග්ලෙන් මැක්ස්වෙල් 47, ශෝන් මාෂ් 25)


මුම්බායි ඉන්දියන්ස් – ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 223

(ලැන්ඞ්ල් සිමන්ස් 59, පාර්තිව් පතෙල් 38, කරන් පොලාඞ් නොදැවී 50, හර්දික් පාන්ඩ්‍යයා 30, මෝහිත් ශර්මා 57/2)

මුම්බායි ඉන්දියන්ස් පිල තවමත් පෙරමුණේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 50 ක් නිමා වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 18 ක් ලබා සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වී තිබේ. මෙතෙක් තරග 12 කට සහභාගී වී ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන් තරග 9 ක් ජයගෙන තරගය 3 ක් පරාජයට පත්වී ඇත. මේ වන විට අවසන් වටයට සුදුසුකම් ලබාඇති එකම කණ්ඩායම වන්නේද මුම්බායි ඉන්දිවන්ස් කණ්ඩායමයි.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන ලසිත් මාලිංග සහ අසේල ගුණරත්න මුම්බායි කණ්ඩායමට ක්‍රීඩා කරති.

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ රයිසින් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 16 ක් බැගින් සම ලකුණු ලබා සිටියද, ශුද්ධ ලකුණු වේගය අනුව කොල්කටා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයටද, පූනේ කණ්ඩායම එහි තෙවැනි ස්ථානයටද පත්ව තිබේ.

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම මේ වන විට තරග 13 කට සහභාගී වී ඉන් තරග 8 ක් ජයගෙන තරග 5 ක් පරාජයට පත්වී ඇති අතර රයිසින් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම තරග 12 කට සහභාගී වී ඉන් තරග 8 ක් ජයගෙන සෙසු තරග 4 පරාජය වී තිබේ.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක ඬේවිඞ් වෝනර් මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර තරග 12 කදී එක් ශතකයක් සහ අර්ධ ශතක 3 ක් ඇතුළුව ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 535 කි. කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 126 වෝනර්ගේ මෙතෙක් ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 53.50 ක් ලෙස සටහන් වේ.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක ශිකර් ධවාන් (තරග 12 කදී ලකුණු 450) සහ ගුජරාට් ලයන්ස් කණ්ඩායමේ නායක සුරේෂ් රයිනා (තරග 13 කදී ලකුණු 440) පිළිවෙළින් වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවෙති.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ බුවනේෂ්වර් කුමාර් සමත්ව සිටින අතර තරග 12 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 23 කි. කිංග්ස් ෂඞ පංජාබ් කණ්ඩායමට එරෙහිව ලකුණු 19 කට කඩුලු 5 ක් දවාගැනීම බුවනේෂ්වර්ගේ හොඳම පන්දු යැවීම වන අතර ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය 14.47 ක් ලෙස සටහන් වේ.

රයිසින් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ඉම්රාන් තහීර් තරග 12 කදී කඩුලු 18 ක් දවාගෙන වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර එම කණ්ඩායමේම ජයදේව් උනාඞ්කට් තරග 8 කදී කඩුලු 17 ක් දවාගෙන එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවෙයි.

මේ දක්වා තරග 8 කට සහභාගි වී ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ලසිත් මාලිංග දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 9 කි.

කණ්ඩායම තරග  ජය පරාජ විසඳුමක් නැති  ප‍්‍රසාද ලකුණු
මුම්බායි ඉන්දියන්ස් 12 9 3 0 18
කොල්කටා නයිට්රයිඩර්ස් 13 8 5 0 16
රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් 12 8 4 0 16
සන්රයිසර්ස් හයිද්‍රාබාද් 13 7 5 1 15
කිංග්ස් XI පන්ජාබ්  12 6 6 0 12
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් 12 5 7 0 10
ගුජරාට් ලයන්ස් 13 4 9 0 8
රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර්  13 2 10 1 5

 

-036

පාකිස්තානය කඩුලු 2 ට 169 යි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඩොමිනිකා රාජ්‍යයේ රොසියු නගරයේ වින්ඞ්සර් පාක් ක්‍රීඩාංගණයේදී ඊයේ (10) ආරම්භ වූ තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවනවිට අසාර් අලීගේ සහ බාබර් අසාම්ගේ අර්ධ ශතකවලට පින්සිදු වන්නට පාකිස්තානුවෝ කඩුලු 2ක් දැවී ලකුණු 169ක් රැස් කිරීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනූ කොදෙව් පිලේ නායක ජේසන් හෝල්ඩර් පළමුව පන්දු යැවීම තෝරා ගැනීමෙන් පසුව සිය ඉනිම ආරම්භ කළ පාකිස්තානු පිලේ පළමු කඩුල්ල ලකුණු 19 කදී බිඳ වැටුණේ අසනීප තත්ත්වයෙන් පසුවන ෂෙසාඞ් අහමඞ් වෙනුවට ඊයේ තරගයට එක්වූ ෂාන් මසූඞ්ගේ දැවීයාමෙනි. 

ලකුණු 9ක් ලබා සිටියදී ඔහු දැවී ගියේ රොස්ටන් චේස්ගේ පන්දුවකට හෝල්ඩර් අතට උඩපන්දුවක් දීමෙනි. අනතුරුව අසාර් අලි සමග එක්වූ බාබර් අසාම් දෙවැනි කඩුල්ලට ලකුණු 120 ක කදිම සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්විය. සිය අර්ධ ශතකය වාර්තා කිරීමෙන් මොහොතකට පසුව අසාම් දැවීයද්දී පාකිස්තානුවන් කඩුලු 2කට ලබාසිටි ලකුණු සංඛ්‍යාව 139කි. 

බාබර්ගේ දැවීයාමෙන් පසුව සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන යූනිස් ඛාන් පිටියට පිවිසියේ කොදෙව් පිලේ ක්‍රීඩකයන්ගේ උණුසුම් පිළිගැනීම මධ්‍යයේය. හෙතෙම පිතිහරඹයට එක්වීමට පෙර පිත්ත ඔසවා පිටිය වටේටම ආචාර කළේය. ඊයේ දිනය නිමාවෙද්දී යූනිස් ඛාන් නොදැවී ලකුණු 10 ක් ලබා සිටි අතර අසාර් අලී සිටියේ පිට පිට තවත් ටෙස්ට් ශතකයක් වාර්තා කරන්නට ලකුණු 15 ක් අඩුවෙනි. 

ඊයේ දිවා ආහාරයට තරගය නතර කරද්දී එක් කඩුල්ලකට ලකුණු 70 ක් ලබා සිටි පාකිස්තානු පිතිකරුවන්ට  දිවා ආහාරයෙන් පසුව තව දුරටත් ක්‍රීඩාගාරයේ රැඳී සිටින්නට සැලසූ වර්ෂාව මිනිත්තු 40 ක කාලයක් උදුරා ගත් අතර නැවත තරගය ආරම්භවී ඕවර 2 ක් පමණක් යැවීමෙන් පසුව පස්වරු තේ පානය වේලාසනින්ම ලබාගැනීමට ඉඩ සලසා යළි ඇද හැලුණේය. මේ නිසා ඊයේ තරගයෙන් ඕවර 21ක්ම නාස්ති වූ අතර පෙනෙන හැටියට නම් යූනිස් ඛාන්ගේ සහ මිස්බා උල් හක්ගේ අවසන් ටෙස්ට් තරගයට වර්ෂාව හොඳටෝම බාධා කරන්නට ඉඩ තිබේ.

 

පාකිස්තානය පළමු ඉනිම – ඕවර 69කදී කඩුලු 2ක් දැවී ලකුණු 169
(අසාර් අලී නොදැවී 85, බාබර් අසාම් 55, යූනිස් ඛාන් නොදැවී 10, අල්සාරී ජෝශප් 39/1, රොස්ටන් චේස් 27/1)

- 077

ශ්‍රෙයාස් අයියර් දිල්ලි පිල දිනවයි

දහවැනි වරටත් පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ 50 වැනි තරගය ලෙස ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව කාන්පූර්හිදී අද (10 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කරගැනීමට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. වේගවත් පිතිහරඹයක නිතර වෙමින් පන්දු 57 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමග ලකුණු 96 ක් රැස්කළ ශ්‍රෙයාස් අයියර් දිල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

කරුන් නායර් (30) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අයියර්, ඉන් නොනැවතී පැට් කමින්ස් (24) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දිල්ලි කණ්ඩායමේ ජයග්‍රහණයට මඟ පෑදීය.

පන්දු 15 කදී වාර්තා වූ කරුන් නායර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 13 කදී වාර්තා වූ පැට් කමින්ස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නායක සාහිර් ඛාන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 195 ක් ලබාගත්තේය.

එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ඒරන් ෆින්ච් ලකුණු 69 ක් රැස්කළේ පන්දු 39 කිනි. ඔහුගේ අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

දිනේෂ් කාර්තික් (40) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ගුජරාට් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද ෆින්ච් සමත් විය. පන්දු 28 කදී වාර්තා වූ කාර්තික්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.

ගුජරාට් ලයන්ස් පිල – ඕවර 20 කදී කඩුලු 5 කට 195
(ඉෂාන් කිෂන් 34, දිනේෂ් කාර්තික් 40, ඒරන් ෆින්ච් 69, රවින්ද්‍ර ජදේජා නොදැවී 13, ජේම්ස් ෆෝක්නර් නොදැවී 14)

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල – ඕවර 20 කදී කඩුලු 5 කට 195
(කරුන් නායර් 30, ශ්‍රෙයාස් අයියර් 96, පැට් කමින්ස් 24, ජේම්ස් ෆෝක්නර් 39/2)

-036