කුසල් බේරාගැනීමේ කි‍්‍රයාදාමය ඇරඹෙයි

තහනම් උත්තේජක ලබාගත්තේය යන චෝදනාවට ලක්වීම නිසා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා යොවුන් ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා නිදහස් කර ගැනීමේ කටයුතු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ආරම්භ කර ඇති බව එහි උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසීය.

 

ශ්‍රී ලංකාවේදී පසුගිය වසරේ ඔක්තෝබර් මස පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය අතරතුරදී තහනම් උත්තේජක කුසල්ගේ ශරීරගතව තිබූ බවට තහවුරු වීමෙන් පසුගිය නොවැම්බර් මස අගදී කුසල්ට තහනමක් පැනවීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පියවර ගත්තේය.

 

මෙම තහනම හේතුවෙන් කුසල්ට එළඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම ද හිමිවී තිබේ. එය ශ්‍රී ලංකාවට දරාගත නොහැකි පාඩුවක් බවට පත්ව තිබේ.

 

කුසල්ගේ තහනම පිළිබඳව නව ක‍්‍රිකට් පරිපාලනය ගෙන ඇති පියවර පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා මෙසේ ද පැවසීය.

 

‘‘කුසල් බේරා ගැනීම ඉතාමත් විශාල ක‍්‍රියාදාමයක්, අපි මේ වන විට ඒ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. කුසල්ව ගලවා ගැනීමට අපි උපරිමයෙන් කටයුතු කරනවා’’

 

‘‘කුසල් මේ වන විට ඔහුගේ නීතිඥයින් සමඟ කටයුතු කරමින් ඉන්නවා. අපි ඔහුට කථා කරලා කිව්වා අපි මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලූම සහයෝගය දෙනවා කියලා. ඒ වගේම අපේ සභාපතිතුමා මේ ප‍්‍රශ්නය පිළිබඳව අයි.සී.සී. එකක් එක්කත් කථා කළා’’ යැයි ධර්මදාස මහතා වැඩි දුරටත් පැවසීය.

 

මුදලට තරග පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධියටද කුසල් මේ වන විට සාක්‍ෂි ලබාදී තිබෙන අතර මෙම සිද්ධියට සම්බන්ධ යැයි කියන පුහුණුවීම්වලදී පන්දු යවන්නකු වන ගයාන් නැමැති පුද්ගලයා කුසල් සමඟ කිට්ටුවෙන් ඇසුරු කර ඇති බව ද වාර්තා වේ.

 

තහනම් උතේජක පරීක්‍ෂණයට මුත‍්‍රා නියැදි ලබාගත් දිනට පෙර දින රාත‍්‍රී කුසල් පානය කළ දොඩම් යුෂ වීදුරුවට තහනම් උත්තේජක මුසු කළේ ද යන්න සැකයක්ද මීට පෙර මතුවී තිබුණි. ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පසුගිය ඔක්තෝබර් මස පැවැති ටෙස්ට් තරගයේදී මුදලට තරග පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධිය වාර්තා වී තිබේ.

 

එම තරගයේදී කුසල්ට ලකුණු 20 කට අඩුවෙන් දැවී යෑමට රුපියල් කෝටියක මුදලක් ලබාදීමට යෝජනා කර ඇතැයි ද වාර්තා විය. කෙසේ වෙතත් කුසල් එහිදී ලකුණු 23 ක් රැස් කළේය.  

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>