මුම්බායි ක්‍රීඩකයෝ තුන්වැනි කිරුළ සොයා යති

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේදී තෙවැනි වරටත් කිරුළ හිමිකර ගැනීම සදහා මුම්බායි ඉන්දියන්ස් පිලත් පළමු වරට කිරුළ හිමිකර ගැනීම සදහා රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලත් හයිද්‍රාබාද්හී රාජිව් ගාන්ධී ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) මුණගැසෙති. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 තරගය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරුවා වන අතර ලසිත් මාලිංගද මුම්බායි පිල වෙනුවෙන් ක්‍රීඩා කරයි. ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් පූනේ සුපර්ජයන්ට්ස් පිලේ නායකයා වන අතර පුහුණුකරුවා වන්නේ නවසීලන්ත පිලේ හිටපු නායක ස්ටීවන් ෆ්ලෙමින්ය.

මෙවර තරගාවලියේදී මෙම කණ්ඩායම දෙක තෙවරක් මුණගැසී ඇති අතර තරග තුනේදීම ජය හිමිකර ගැනීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල සමත්විය.

අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කළ රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. ඉවත්වීමේ තරගයේදී සන්රයිස් හයිද්‍රාබාද් පිලට එරෙහිව ජය හිමිකරගත් මුම්බායි ඉන්දියන්ස් පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවන තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරාජයට පත්කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයේ රැඳී සිටින ස්ටීවන් ස්මිත් තරග 14 කට ක්‍රීඩාකරමින් අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 421 ක් රැස්කර ඇති අතර තරග 15 කදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 391 ක් රැස්කර සිටින පාර්තිව් පතෙල් මුම්බායි ඉන්දියන්ස් පිලේ පිතිකරුවන් අතර පෙරමුණේ පසුවන්නේය.

තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් පන්දුයවන්නන් අතර ජෙයිදේව් උනද්කට් තරග 11 කදී කඩුලු 22 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන අතර තරග 12 කදී කඩුලු 18 ක් ලබාගත් ඉම්රාන් තහීර් සිවුවැනි ස්ථානයේ පසුවන්නේය. නමත් ඉම්රාන් තහීර් මේ වනවිටත් අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්ව මව්රට බලාගොස් ඇත. තරග 14 කදී කඩුලු 19 ක් ලබාගනිමින් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතරින් තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට මිචෙල් මැක්ලෙනගන් සමත්වී ඇති අතර ජස්ප්‍රීට් බුම්රා තරග 15 කදී කඩුලු 18 ක් හිමිකර ගනිමින් පස්වැනි ස්ථානයේ පසුවන්නේය.

ආබාධයකට ලක්වීම හේතුවෙන් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගයට ක්‍රීඩා නොකළ මිචෙල් මැක්ලෙනගන් අවසන් තරගයේදීද ක්‍රීඩා කිරීම අවිනිෂ්චිත තත්වයක ඇත.

මුම්බායි ඉන්දියන්ස් පිලේ පාර්තිව් පතෙල් (391), කරන් පොලාඞ් (378), නිතිෂ් රානා (333) සහ රෝහිත් ශර්මා (309) පිත්තෙන් දස්කම් දක්වන අතර මිචෙල් මැක්ලෙනගන් (19), ජස්ප්‍රීට් බුම්රා (18), කාන් ශර්මා (13) සහ ලසිත් මාලිංග (11) පන්දුවෙන් දස්කම් දක්වති.

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලේ ස්ටීවන් ස්මිත් (421), රාහුල් ත්‍රීපාති (388), අජින්ක්‍යා රහනේ (338) සහ මනෝජ් තිවාරී (317) පිතිකරණ අංශය ශක්තිමත් කරන අතර ජෙයිදේව් උනද්කට් (22), ශර්දුල් ඨාකූර් (11) සහ ඩැනියෙල් ක්‍රිස්ටියන් (9) පන්දුකරණ අංශය ශක්තිමත් කරති. පිත්තේ මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ බෙන් ස්ටෝක්ස්ට සහ පන්දුවෙන් දස්කම් දැක්වූ ඉම්රාන් තහීර්ට මව්රට බලායෑමට සිදුවීම රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලට සිදුවූ බලවත් පාඩුවකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>