පාකිස්තානය ඓතිහාසික ජයක් සොයා ඇදෙයි

 

අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් අද (14) සමුගන්නා නායක මිස්බා උල් හක්ට සහ ප්‍රවීණ පිතිකරු යූනිස් ඛාන්ට අමරණීය තෑග්ගක් දීමට බලා සිටින පාකිස්තානුවෝ කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වාගෙන සිටිති. ඩොමිනිකා රාජ්‍යයේ රොසියු නගරයේ වින්ඞ්සර් උද්‍යාන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (13) තරගය නවත්වනවිට ලකුණු 304ක ඉලක්කයක් හඹා යන බටහිර ඉන්දීය කොදෙව් පිලේ පළමු කඩුල්ල ලකුණු 7 දී බිඳ දමා බලාපොරොත්තු දල්වා ගත්හ. 

ඒ අනුව සත්කාරකයන් ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 297 ක් ලබාගත යුතු නමුත් ඔවුන් අත ඇත්තේ කඩුලු 9 ක් පමණි. කිරන් පවෙල් ලකුණු 4කට දවාලමින් පාකිස්තානුවන්ගේ එම බලාපොරොත්තුවේ පහන් දල්වනු ලැබුවේ යසීර් ෂා විසිනි. 

දශක 6 කට වඩා දිර්ඝ ඉතිහාසයක් ඇති කොදෙව් සංචාර තුළ පාකිස්තානය මෙතෙක් කිසිදිනෙක ටෙස්ට් තරගමාලාවක් ජයගෙන නොමැත. අද ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගන්නා නායක මිස්බාට ඒ උදාර ජයග්‍රහණය සඳහා කණ්ඩායම රැගෙන යා හැකිනම් සිය සගයා යූනිස් ඛාන් සමග එක්ව යළි යළිත් සිහිපත් කළ හැකි ස්වර්ණමය මතක සටහනක අයිතිකරුවන් විය හැකිය. 

දෙපිලටම එක ලෙස කෝඩුකාර වින්ඞ්සර් උද්‍යාන තණතීරුවේ පළමු දින 3 දීම බිඳ වැටී තිබුණේ කඩුලු 15 ක් වුවත් ඊයේ දිනයේ පමණක්ම කඩුලු 14 ක් බිඳ වැටීමෙන් දෙපිලම අන්ත අසරණ තත්ත්වයට පත්වූහ. ඊයේ බිඳ වැටුණු කඩුලු සංඛ්‍යාවෙන් 11 ක්ම වේගපන්දු යවන්නන් හමුවේය. 

වසර 2015 අවසන් වතාවට ඕස්ට්‍රේලියාව මේ ක්‍රීඩාංගණයේදී සත්කාරකයන් පරාජයට පත්කළ තරගයේදිත් ඔවුන්ගේ වේගපන්දු යවන්නෝ කඩුලු 16 ක්ම දවාගත්හ. එබැවින් මේ තරගයත් වේගපන්දු යවන්නන්ට වාසිදායක බවට තරගයට පෙර පළවූ අනාවැකි ඉටු වන බවක් පෙනී යන්නේ කොදෙව් පළමු ඉනිමේ දී කඩුලු 6 ක්ම පාකිස්තානු වේගපන්දු යවන්නන් හමුවේ බිඳ වැටීම නිසාය. 

පිතිකරුවාගේ පාදයේ ඇඟිලි තැලෙන යෝකර් පන්දු අකුණු වේගයෙන් ඇදී යාමට සැලැස්වූ මොහොමඞ් අබ්බාස් ඊයේ උදෑසන සිය ටෙස්ට් තරග දිවියේ මංගල කඩුලු 5 සම්පූර්ණ කිරීමට සමත්වීය. ඔහු මේ ක්‍රීඩා කරන්නේ සිය තුන්වැනි ටෙස්ට් තරගයටය. පෙර දින කඩුලු 5ක් දැවී ලකුණු 218 ක් ලබා සිටි සත්කාරකයන්ගේ ඉතිරි කඩුලු 5ම ලකුණු 29ක් තුළදී බිඳ වැටිණ. පෙරේදා දිනයේදී ලකුණු 43 කට කඩුල්ලක් පමණක් දවාගෙන සිටි අබ්බාස් ඊයේ ඉතිරි කඩුලු 4 ම බිඳ දැමීමට වැය කොට තිබුණේ තවත් ලකුණු 3ක් පමණි. 

මොහොමඞ් අමීර් යැවු දිනයේ පළමු ඕවරයේදීම ශේන් ඩවුරිච්ගේ කඩුල්ල බිඳ වැටුණු අතර ඊට කළින් දිනයේ ඔහුගේම පන්දුවක් වැදී වැලමිට තුවාල වී ලකුණු 60 දී පිටියෙන් ඉවත්වූ රොස්ටන් චේස්ට ඊයේ තවත් ලකුණු 9කට වඩා ගත නොහැකිවූයේ අබ්බාස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාය. නායක ජේසන් හෝල්ඩර් එක් අන්තයකින් කඩුල්ල බේරාගෙන සිටියදී අනිත් අන්තයෙන් කඩුලු දඩයම් කළ අබ්බාස් සත්කාරකයන්ගේ ඉනිම දිවා ආහාරයටත් පෙර නිමාවට පත් කළේය. 

අනතුරුව ලකුණු 129 ක වාසියකුත් සමග සිය දෙවැනි ඉනිම ආරම්භ කළද පාකිස්තානුවන්ටත් වැඩි යමක් කළ නොහැකි විය. අනපේක්ෂිත ලෙස ඉනිම කඩා වැටෙන්නට පටන් ගත් අතර කොදෙව් පිලේ වේගපන්දු යවන්නන් හමුවේ දැඩි පසුබෑමකට ලක්වූ සංචාරකයන්ගේ දෙවැනි ඉනිම දිවා ආහාරය වෙද්දි සටහන් වූයේ ලකුණු 8 කට කඩුලු 2 ක් ලෙසිනි. 

දිවා ආහාරයෙන් පසුව ෂාන් මසූඞ් සහ යූනිස් ඛාන් එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 49 ක් එක් කිරීමට සමත්වූවත් ෂැනොන් ගේබි්‍රයෙල්ගේ පන්දුවකින් මසූඞ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර නායක මිස්බා උල් හක්ට සිය අවසන් ටෙස්ට් ඉනිමේ දී ලබාගත හැකිවූයේ ලකුණු 2 ක් පමණි. මිස්බා සහ යූනිස් දෙදෙනාම පිටියෙන් ඉවත්වූයේ දෙපිලේහිම ක්‍රීඩකයන්ගේ ආචාරය මධ්‍යයේය. පස්වරු තේ පානයට තරගය නතර කරද්දී ලකුණු 75 කට පාකිස්තානුවන්ගේ කඩුලු 5 ක්ම උදුරා ගැනීමට සත්කාරයෝ සමත්වූහ.

පාකිස්තානු පිලේ නමගිය අන්තිම පිතිකරුවා වූ අසාඞ් ෂෆික් ද මුලු ලකුණු සංඛ්‍යාව 90 ක් වෙද්දී 7 වැනි කඩුල්ල ලෙස ආපසු  ක්‍රීඩාගාරයට ගියේ තරගයේ වාසිය හැම අතින්ම කොදෙව් පිල දෙසට හරවමිනි. එහෙත් විස්මිත පිතිහරඹයක නිරතවූ පාකිස්තානු පිලේ දඟපන්දු යවන ක්‍රීඩක යසිර් ෂා අගපෙළ පිතිකරුවන් සමග එක්ව බිඳ වැටුණු ඉනිම පිළිසකර කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්වෙමිනි. 

යසීර් ෂා තවත් වේග පන්දු යවන්නකු වන මොහොමඞ් අමිර් සමග එක්ව අටවැනි කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 61 කි. මිස්බා ඉනිම අතරමග නැවැත්වීමට තීරණය කළේ යසීර් ෂා විසින් කඩුලු 8 කට ලකුණු 151 ක් වු පාකිස්තානු දෙවැනි ඉනිම හසන් අලි සමග එක්ව ලකුණු 174 දක්වා ඉහළ දමමින් සිටියදීය. ඒ වන විට කොදෙව් පිලට ලකුණු 304 ක ඉලක්කයක් හිමිවී තිබිණ. 

පාකිස්තානය පළමු ඉනිම – ඕවර 146.3කදී සියලුදෙනා දැවී ලකුණු 376

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම – ඕවර 115කදී සියලු දෙනා දැවී ලකුණු 247

(ක්‍රෙග් බ්‍රැත්වේට් 29, කීරොන් පවෙල් 31, ෂායි හෝප් 29, රොස්ටන් චේස් 69, ශේන් ඩවුරිච් 20, ජේසන් හෝල්ඩර් නොදැවී 30, මොහොමඞ් අමීර් 32/1, මොහොමඞ් අබ්බාස් 46/5, යසීර් ෂා 126/3, අසාර් අලී 15/1)

පාකිස්තානය දෙවැනි ඉනිම – ඕවර 57කදී කඩුලු 8ක් දැවී ලකුණු 174

(ෂාන් මසූඞ් 21, යූනිස් ඛාන් 35, මොහොමඞ් අමීර් 27, යසීර් ෂා නොදැවී 38, ෂැනොන් ගේබි්‍රයෙල් 24/2, අල්සාරී ජෝශප් 53/3, රොස්ටන් චේස් 31/1, දේවේන්ද්‍ර බිෂූ 54/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම – ඕවර 6.3කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 7
(ක්‍රෙග් බ්‍රැත්වේට් නොදැවී 3, කීරන් පවෙල් 4, යසීර් ෂා 2/1)

 

- 077

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>