වේග පන්දු යවන්නන් පුහුණුවට ඇලන් ඩොනල්ඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සඳහා වන පුහුණු උපදේශකවරයා දකුණු අප්‍රිකානු පිලේ හිටපු විශිෂ්ටතම වේග පන්දු යවන්නකු වූ ඇලන් ඩොනල්ඞ් මහතා පත්කර තිබේ. ජූනි මස 1 වැනිදා ආරම්භ වන ශූරයන්ගේ කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් මාස දෙකක කාලයක් සඳහා එම පත්කිරීම කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම 1991 දී නැවතත් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පැමිණි දා සිටම දකුණු අප්‍රිකානු කණ්ඩායම ගොඩනැංවීම සඳහා වේග පන්දු යවන්නකු වශයෙන් අමිල මෙහෙවරක් කළ ඇලන් ඩොනල්ඞ් දකුණු අප්‍රිකානු, එංගලන්ත මෙන්ම ඕස්ටේ්‍රලියානු කණ්ඩායම් වලද වේග පන්දු යැවීමේ උපදේශකවරයා වශයෙන් කටයුතු කර තිබේ. ක්‍රීඩා කළ සමයේදී ‘සුදු විදුලිය’ යනුවෙන් හැඳින්වූ ඇලන් ඩොනල්ඞ් මේ මස 9 වැනිදා සිට 16 වැනිදා දක්වා පල්ලෙකැළේදී පැවැත්වෙන විශේෂ පුහුණු කඳවුරේදී ශ්‍රී ලංකා පිලට එක්වීමට නියමිතය.

මේ වන විට එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ සහාය පුහුණුකරුවකු වශයෙන් දැනටමත් කටයුතු කරමින් සිටින ඇලන් ඩොනල්ඞ් මාස දෙකක කාලයක් සඳහා නිදහස් කිරීමට කෙන්ට් බලධාරීන් එකඟ වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු යැවීමේ අංශයේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් චම්පක රාමනායක මහතා කටයුතු කරයි. 2014 – 2015 කාලසීමාවේදී ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වූයේ චමින්ද වාස් මහතාය. 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව චමින්ද වාස් සිය තනතුරෙන් ඉවත්ව යාමෙන් පසුව චම්පක රාමනායක මහතා නැවතත් එම තනතුරට පත්විය. චමින්ද වාස් නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් අතරට එක්වූ නමුත් මේ වන විට වාස්ගේ කාර්යභාරයන් අතර ඇත්තේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පන්දු යවන්නන් සහ කනිෂ්ඨ කණ්ඩායම් වල වේග පන්දු යවන්නන් පිළිබඳ අවධානයෙන් සිටීමයි.

ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයන් වන චමින්ද වාස්, චම්පක රාමනායක, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ නුවන් සොයිසා ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් පුහුණු කිරීමේ අංශයේ පුහුණුකරුවන් ලෙස දැනටත් කටයුතු කරති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>