පාකිස්තානුවෝ ඓතිහාසික ජයක් සොයති

මේ වනවිටත් කොදෙව්වන්ට එරෙහිව තරග 1-0 කින් ටෙස්ට් තරගමාලාවේ පෙරමුණ ගෙන සිටින සංචාරක පාකිස්තානු පිල  බාබඩෝස් හී බ්‍රිජ්ටවුන් නුවර කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා – ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට) ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගයට පිවිසෙන්නේ බටහිර ඉන්දීය දූපත් සමූහයේදී  ටෙස්ට් තරගමාලාවක් ජයගත් පළමු පාකිස්තානු කණ්ඩායම වීමේ සිහිනයට පණ පෙවීමේ ඒකායන අරමුණ ඇතිවය.

එතෙක් මෙතෙක් පාකිස්තානයෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් රැසකගේ නායකත්වයෙන් යුත් පාකිස්තානු කණ්ඩායම් පවා මීට පෙර අට වතාවකදීම බටහිර ඉන්දීය දූපත් සමූහය කරා ගිය නමුත් ටෙස්ට් තරගමාලාවක් ජයගැනීමට අපොහොසත් විය. මෙවර ටෙස්ට් තරගමාලාවෙන් පසුව  ටෙස්ට් පිටිියෙන් සමුගැනීමට බලා සිටින පාකිස්තානු පිලේ නායක මිස්බා උල් හක්ට සිය ජීවිතයට අමරණීය සිහිවටනයක් එකතු කරගැනීමේ කදිම අවස්ථාවක් මෙවර ලැබී තිබේ.

ජැමෙයිකාවේ සබීනා උද්‍යාන පිටියේදී පසුගියදා පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 7 කින් ජයගැනීමට පාකිස්තානු පිල සමත්වූ අතර එම තමාට ඒ ජයග්‍රහණයේ ත්‍යාගය දුන් සිය ක්‍රීඩකයන්ට මිස්බා නොසෑහෙන්න ස්තූති කළේය.

“ක්‍රීඩාවේ නිරතවීමෙන් ඔබට සතුටක් ලැබෙන්නේ නැතිනම් ක්‍රීඩා කිරීමේ කිසිම ඵලයක් නෑ”
“සතුටක් නැතිනම් මමත් මේ ක්‍රීඩාවේ එල්ලිලා ඉන්නෙ නෑ. මේ ජයග්‍රහණය මගේ කණ්ඩායම මට දුන් තවත් තෑග්ගක්
.” මිස්බා එසේ කීවේය.

වසර 1957- 58 කාලයේ පළමුවරට බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරය කළ පාකිස්තානු පිල ආපසු ගියේ තරගයක් පරාජයෙන් බේරාගත් හනීෆ් මොහොමඞ් ලකුණු 337 ක් රැස් කරමින් ලෝක වාර්තාවක් තැබීමෙන් පසුවය. මිනිත්තු 970 ක් පිටියේ රැඳී සිටි හනීෆ් මොහොමඞ් දීර්ඝතම ටෙස්ට් ඉනිමට හිමිකම් කීවේය.

කොදෙව් දේශයේ සිය පළමු ටෙස්ට් තරගමාලා ජයග්‍රහණය වාර්තා කිරීමේ අනගි අවස්ථාවක් පාකිස්තානුවන්ට ලැබුණේ අසහාය ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් 1987-88 කාලයේ පැවැති ඔවුන්ගේ කොදෙව් සංචාරයේදීය. එවකට බටහිර ඉන්දීය කොදෙව් පිල නොම්මර එකේ කණ්ඩායම බවට පත්වී සිටියේය. 
පළමු ටෙස්ට් තරගය ජයගත්  පාකිස්තානු පිල දෙවැනි ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව බේරා ගත්තේය. තීරණාත්මක තුන්වැනි ටෙස්ට් තරගයේදී පාකිස්තානුවන් කොදෙව් පිලට දුන් ඉලක්කය ලකුණු 266 ක් විය. එක් අවස්ථාවක කොදෙව් පිල ලකුණු 207 කට කඩුලු 8 ක්ම බිඳ වැටෙද්දී පාකිස්තානුවන් සිටියේ කොදෙව් දේශයේ පළමු ටෙස්ට් තරගමාලා ජය අත්කරගෙන ඉතිහාසයට එක්වීමේ එළිපත්තේය. නමුත් 9 වැනි කඩුල්ලට ලකුණු 61 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නැගූ ජෙෆ්රි ඩුජෝන් සහ වින්ස්ටන් බෙන්ජමින් තරගය දිනා කොදෙව්වන්ට තරගමාලාව සමකර දුන්නේය.

මෑත කාලයේ කොදෙව් පිල එවැනි ප්‍රබලත්වයක් පෙන්නුම් කළ කණ්ඩායමක් නොවූවත් සටන්කාමීත්වය අතින් අවතක්සේරු කළ නොහැකි ජවසම්පන්න යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත එකකි. 2015 දී එංගලන්තයට දෙවැනි ටෙස්ට් තරගය පරාජය වුවත් තරගමාලා ජයග්‍රහණය නොදී තුන්වැනි ටෙස්ට් තරගය විිශිෂ්ට අයුරින් ජයගත්තේ තරගමාලාව සමකරමිනි.

පළමු ටෙස්ට් තරගයේදී කොදෙව් පිලේ දෙවැනි ඉනිම අනපේක්ෂිත ලෙස බිඳ වැටුණේ යසිර් ෂාගේ විස්මිත පන්දු යැවීම හමුවේය. තරගය පරාජයෙන් බේරාගැනීමට වලිකෑ කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සෙසු ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසය හොඳ නැති බව කියමින් තරගයෙන් පසුව සිය ක්‍රීඩකයන්ට හොඳටෝම දෙහි කැපුවේය. එබැවින් අද ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පාකිස්තානුවන්ට දිනුම දී කරබාගෙන යාමේ සූදානමක් නම් කොදෙව් පිලට කොහෙත්ම නැති බව පෙනේ. 

මිස්බා සමග ඔවුන්ගේ තවත් ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන යූනිස් ඛාන් ද මේ ටෙස්ට් තරගමාලාවෙන් පසුව ටෙස්ට් පිටියට සමුදීමේ බලාපොරොත්තුවෙන් පසුවන බැවින් පාකිස්තානුවන් අද ඇරැඹෙන ටෙස්ට් තරගයේදී පිටියට බසින්නේ පාකිස්තානු ඉතිහාසයට නව පිටුවක් එක් කිරීමේ බලාපොරොත්තුව කරපින්නාගෙනය. 

මීට පෙර දශක 6ක් පුරා සිය භූමියේදී පාකිස්තානුවන් හමුවේ දණ නොනැමූ කොදෙව් පිල අද තරගයට එක්වන්නේ  සංචාරකයන්ගේ බලාපොරොත්තු තවත් කාලයකට තල්ලු කර හැරීමේ අරමුණ පෙරදැරිවය.

 

- 077

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>