සුපිරි ඕවරයේ ජය මුම්බායි පිලට

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ලයන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර රාජ්කොට් හිදී පැවැති 35 වන තරගයේදී ලකුණු සමවීම හේතුවෙන් යැවූ සුපිරි ඕවරයේදී ජය හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල අද (29 වැනිදා) සමත්විය.


සුපිරි ඕවරයේදී ගුජරාට් ලයන්ස් පිලට ජයග්‍රහණය සදහා ලකුණු 12 ක් ලබාගැනීමට අවශ්‍ය වුවද ජස්ප්‍රීට් බුම්රාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලබාගැනීමට හැකිවූයේ ලකුණු හයක් පමණි. පළමු පන්දුව නිපන්දුවක්වූ අතර ඊළඟ පන්දුවේදී පාදයේ වැදිගිය ලකුණක් ලෙස පැති මාරු කරගැනිමට ඒරන් ෆින්ච්ට සිදුවිය. දෙවැනි පන්දුව වයිඞ් පන්දුවක් ලෙස විනිසුරු විසින් සටහන් කරනු ලැබූ අතර ඊළඟ පන්දුවේදී ලකුණක් ලබාගැනීමට බ්‍රෙන්ඩන් මැකලම්ට අවස්ථාවක් හිමි නොවීය. තෙවැනි පන්දුව කඩුලු රකින්නා විසින් අතහැරීම හේතුවෙන් ලකුණක් සදහා පිතිකරුවන් පැති මාරු කරගත් අතර සිවුවැනි පන්දුවේදී ලකුණක් ලබාගැනීමට ඒරන් ෆින්ච්ට අවස්ථාවක් හිමිනොවීය. අවසන් පන්දු දෙකේදී ඒරන් ෆින්ච්ට සහ බ්‍රෙන්ඩන් මැකලම්ට ලබාගැනීමට හැකිවූයේ එක් ලකුණ බැගින් පමණි.


සුපිරි ඕවරයේදී පළමුවෙන් පන්දුවට පහරදීම සදහා මුම්බායි ඉන්දියන්ස් පිල පිටියට පිවිසි අතර ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 11 ක් පමණි. ජේම්ස් ෆෝක්නර් යැවූ පළමු පන්දුවට ලකුණක් ලබාගනිමින් ජොස් බට්ලර් පැති මාරු කරගත් අතර දෙවැනි පන්දුවට හතරේ පහරක් සහ තෙවැනි පන්දුවට හයේ පහරක් ගැසීමට කරන් පොලාඞ් සමත්විය. සිවුවැනි පන්දුවේදී කරන් පොලාඞ් දැවී ගිය අතර පස්වැනි පන්දුවේදී ජොස් බට්ලර් දැවීයාමත් සමගින් එක් පන්දුවක් ඉතිරිව තිබියදීම මුම්බායි ඉන්දියන්ස් ඉනිම අවසන්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිලට ඕවර 20 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 153 ක් පමණි. ලකුණු සමවීම හේතුවෙන් ජයග්‍රහණය තීරණය කිරීම සදහා මෙවර තරගාවලියේදී පළමු වරට සුපිරි ඕවරයේ පිහිට පැතීමට සිදුවිය.


අවසන් ඕවරයේදී ජයග්‍රහණය සදහා මුම්බායි ඉන්දියන්ස් පිලට ලකුණු 11 ක් ලබාගැනීමට අවශ්‍ය වුවද ලකුණු 10 කට සීමා කිරීමට ඉර්ෆාන් පතාන් සමත්විය. මුම්බායි ඉන්දියන්ස් පිලේ අවසන් ඕවර දෙකෙහිදී ලකුණු 14 කට කඩුලු පහක් දවාගැනීමට ගුජරාට් ලයන්ස් පන්දු යවන්නෝ සමත්වූහ.


වේගවත් පිතිහරඹයක නිරතවූ පාර්තිව් පතෙල් පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 70 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය. බැසිල් තම්පි ලකුණු 29 කට කඩුලු තුනක් දවාගත් අතර ජේම්ස් ෆෝක්නර් ලකුණු 34 කට කඩුලු දෙකක් දවාගැනීමට සමත්විය.


කාසියේ වාසිය දිනූ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ලයන්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 153 ක් රැස්කිරීමට සමත්විය. ගුජරාට් ලයන්ස් පිලේ වැඩිම ලකුණු ලාභියාවූ ඉෂාන් කිෂාන් පන්දු 35 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් සමගින් ලකුණු 48 ක් රැස්කිරීමට සමත් වූයේය.


ලකුණු 101 කට කඩලු 7 ක් දැවී තිබියදී අටවැනි කඩුල්ල සදහා පන්දු 19 කදී ලකුණු 43 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඇන්ඩෲ ටේ සහ ජේම්ස් ෆෝක්නර් සමත්වූහ.


විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ කෘනල් පාණ්ඩ්‍යා ඕවර 4 ක් යවමින් ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

ගුජරාට් ලයන්ස් – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 153
(ඉෂාන් කිෂාන් 48, රවින්ද්‍ර ජදේජා 28, ජේම්ස් ෆෝක්නර් 21, ඇන්ඩෲ ටේ 25, කෘනල් පාණ්ඩ්‍යා 14/3, ජස්ප්‍රීට් බුම්රා 32/2, ලසිත් මාලිංග 33/2)

මුම්බායි ඉන්දියන්ස් – ඕවර 20 කදී සියලුදෙනා දැවී ලකුණු 153
(පාර්තිව් පතෙල් 70, කෘනල් පාණ්ඩ්‍යා 29, බැසිල් තම්පි 29/3, ජේම්ස් ෆෝක්නර් 34/2)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>