පන්දු යවන්නෝ පූනේ පිලට ජය ගෙනෙති

 

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ පූනේ හිදී පැවැති 34 වන තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහින ලකුණු 61 ක ජයක් හිමිකර ගැනීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අද (29 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 96 ක් පමණි. තනි සටනක නිරතවූ විරාට් කෝලී පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 55 ක් රැස්කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. විරාට් කෝලී හැර කිසිදු පිතිකරුවකුට ලකුණු දහයේ සීමාව පසුකිරීමට අවස්ථාවක් පූනේ සුපර්ජයන්ට්ස් පන්දු යවන්නෝ ලබානොදුන්හ.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ලොකී ෆර්ගියුෂන් ඕවර හතරක් යවමින් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 7 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ලොකීට අනගි සහයක් ලබාදුන් ඉම්රාන් තහීර් ඕවර හතරක් යවමින් ලකුණු 18 කට කඩුලු තුනක් දවාගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 157 ක් රැස්කිරීමට සමත්විය.

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලේ වැඩිම ලකුණු ලාභියාවූ ස්ටීවන් ස්මිත් පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 45 ක් රැස්කළ අතර මනෝජ් තිවාරී පන්දු 35 කදි හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 44 ක් ලබාගත්තේය. ස්ටීවන් ස්මිත් සමගින් තෙවැනි කඩුල්ල සදහා පන්දු 33 කදී ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මනෝජ් තිවාරී සිවුවැනි කඩුල්ල සදහා මහේන්ද්‍ර සිං දෝණි සමගින් එක්වද පන්දු 37 කදී නොබිඳුණු ලකුණු 49 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ පවන් නෙගී ඕවර හතරක් හවමින් ලකුණු 18 කට කඩුල්ලක් දවාගනිමින් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්විය.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ වෙනස්කම් තුනක් සිදුකරමින් ක්‍රිස් ගේල්, මන්දීප් සිං සහ අනිකෙට් චෞද්ද්‍රී ඉවත්කර ඇඩම් මිල්නේ, සචින් බේබී සහ ස්ටුවර්ට් බිනී කණ්ඩායමට කැඳවා තිබූ අතර රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලේ වෙනස්කම් දෙකක් සිදුකරමින් ශාර්දුල් ඨාකූර් සහ ෆැෆ් ඩූ’ප්ලේසී වෙනුවට දීපක් චහාර් සහ ලොකී ෆර්ගියුෂන් කණ්ඩායමට කැඳවූහ.

කාසියේ වාසිය ලැබූ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ නායක විරාට් කෝලී පළමුව පන්දු රැකීමට තීරණය කළේය.


රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් – ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 157
(රාහුල් ත්‍රීපති 37, ස්ටීවන් ස්මිත් 45, මනෝජ් තිවාරී නොදැවී 44, මහේන්ද්‍ර සිං දෝණි නොදැවී 21)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 96
(විරාට් කෝලී 55, ඉම්රාන් තහීර් 18/3, ලොකී ෆර්ගියුෂන් 07/2)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>