ඉන්දියාව 2-1 කින් එංගලන්තය පරදවයි

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් අත්කරගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (22 වැනිදා) සමත් විය. කෙසේ වුවත් තරගාවලියේ මුල් තරග 2 ජයගැනීම නිසා තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

තෙවැනි තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 322 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 316 ක් පමණි. වේගවත් පිතිහරඹයක නිතර වූ කේදාර් ජාදව් පන්දු 75 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 90 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට මහත් උත්සාහයක් දැරුවද, ක්‍රිස් වෝක්ස් යැවූ ඉන්දීය ඉනිමේ අවසන් ඕවරයේ 5 වැනි පන්දුවේදී සෑම් බිලින්ග්ස් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යාමත් සමග ඔහුගේ උත්සාහය අසාර්ථක විය.

මුලු ලකුණු සංඛ්‍යාව 173 ක් වන විට ඉන්දීය ඉනිමේ 5 වැනි කඩුල්ලත් බිඳ වැටුණ අතර හර්දීක් පාණ්ඩ්‍යා (56) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 83 කදී ලකුණු 104 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට කේදාර් ජාදව් සමත් වුවද, ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය.

සිය 39 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් නායක විරාට් කෝලි එය හතරේ පහර 8 කින් අලංකාර කළ අතර යුවරාජ් සිං ලකුණු 45 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

එංගලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ බෙන් ස්ටොක්ස් ලකුණු 63 කට කඩුලු 3 ක් දවාගත් අතර ක්‍රිස් වෝක්ස් සහ ජේක් බෝල් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජේසන් රෝයි (65) සහ සෑම් බිලින්ග්ස් (35) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 104 කදී ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 65 කදී වාර්තා වූ රෝයිගේ 8 වැනි එක්දින අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් අන්තර්ගත වූ අතර බිලින්ග්ස්ගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය.

පන්දු 64 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් සිය 14 වැනි එක්දින අර්ධ ශතකය ලබාගැනීමට සමත් වූ ජොනී බෙයාස්ට්‍රෝ, නායක ඔයින් මෝගන් (43) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 84 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය. අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය මෝගන්, සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් අලංකාර කළේය.

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ බෙන් ස්ටොක්ස් (නොදැවී 57) සහ ක්‍රිස් වොක්ස් (34), 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. ස්ටොක්ස් සිය 8 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සැරසූ අතර වොක්ස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පිටියෙන් ඉවත් කිරීමට රවින්ද්‍ර ජදේජා සමත් වූ අතර ලකුණු 49 කට කඩුලු 3 ක් දවාගනිමින් එංගලන්ත ඉනිමේ මැද පෙළ සුනුවිසුණු කර දැමීමට හර්දීක් පාණ්ඩ්‍යා සමත් විය.

 

එංගලන්තය – ඕවර 50 කදී කඩුලු 8 කට 321
(ජේසන් රෝයි 65, සෑම් බිලින්ග්ස් 35, ජොනී බෙයාස්ට්‍රෝ 56, ඔයින් මෝගන් 43, බෙන් ස්ටොක්ස් නොදැවී 57, ක්‍රිස් වෝක්ස් 34, හර්දීක් පාණ්ඩ්‍යා 49/3, රවින්ද්‍ර ජදේජා 62/2)

ඉන්දියාව – ඕවර 50 කදී කඩුලු 9 කට 316
(විරාට් කෝලි 55, යුවරාජ් සිං 45, මහේන්ද්‍ර සිං දෝනි 25, කේදාර් ජාදව් 90, හර්දීක් පාණ්ඩ්‍යා 56, බෙන් ස්ටොක්ස් 63/3, ජේක් බෝල් 56/2, ක්‍රිස් වොක්ස් 75/2)

 

- 036

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>