ඕස්ට්‍රේලියාව ලකුණු 86 කින් පකිස්තානය පරදවයි

සංචාරක පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ (22 වැනිදා) පැවැති සිව්වැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 86 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 3-1 ක් ලෙස ජයගැනීමටද ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 354 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ඕවර 43.5 ක් අවසානයේ ලකුණු 267 කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූ අතර ජොෂ් හෙසල්වුඞ් සහ ඇඩම් සම්පා කඩුලු 3 බැගින් දවාගනිමින් පාකිස්තාන ඉනිම අඩපණ කළහ.

වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු සර්ජීල් ඛාන්, පන්දු 47 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 74 ක් රැස්කරමින් පාකිස්තානයට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. බාබර් අසාම් (31) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී ලකුණු 73 ක සම්බන්ධයක් ගොඩනැගීමට සර්ජීල් ඛාන් සමත් වුවද, පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් (130) සමත් විය. පන්දු 119 කදී වාර්තා වූ වෝනර්ගේ 12 වැනි එක්දින ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් අන්තර්ගත විය.

පළමු කඩුල්ල වෙනුවෙන් උස්මාන් කවාජා (30) සමග එක්ව පන්දු 104 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගූ වෝනර්, ඉන් නොනැවතී නායක ස්ටීවන් ස්මිත් (49) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 120 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

අවසන් ඕවර කිහිපයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ග්ලේන් මැක්ස්වෙල් (78) සහ ට්‍රැවීස් හෙඞ් (51) සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 64 කදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ටේ්‍රලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 350 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. පන්දු 44 කදී වාර්තා වූ මැක්ස්වෙල්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් වූ අතර පන්දු පන්දු 36 කදී වාර්තා වූ හෙඞ්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

ඕස්ට්‍රේලියානු ඉනිමේ බිඳ වැටුණ කඩුලු 6 න් 5 කටම හිමිකම් කීමට දක්ෂ පන්දු යැවීමක නිරත වූ හසන් අලී සමත් විය.


ඕස්ට්‍රේලියාව – ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 353
(උස්මාන් කවාජා 30, ඬේවිඞ් වෝනර් 130, ස්ටීවන් ස්මිත් 49, ට්‍රැවිස් හෙඞ් 51, ග්ලේන් මැක්ස්වෙල් 78, හසන් අලී 52/5)

පාකිස්තානය – ඕවර 43.5 කදී සියලු දෙනා දැවී 267
(සර්ජීල් ඛාන් 74, බාබර් අසාම් 31, මොහොමඞ් හෆීස් 40, ෂොයිබ් මලික් 47, ඉම්ඩාඞ් වසීම් 25, ජොස් හෙසල්වුඞ් 54/3, ඇඩම් සම්පා 55/3)


- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>