විලියම්සන්-ටේලර් තරගය කණපිට පෙරළති

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව වෙලින්ටංහිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම අද (16 වැනිදා) සමත් විය.

තරගයේ අවසන් දිනය වූ අද දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසු ජයග්‍රහණය සඳහා ලකුණු 217 ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයෝ, කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් නොදැවී 104 ක් රැස්කරමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 90 කදී වාර්තා වූ විලියම්සන්ගේ 15 වැනි ටෙස්ට් ශතකය හතරේ පහර 15 කින් සමන්විත විය.

රොස් ටේලර් (60) සමග එක්ව නවසීලන්ත කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 163 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද විලියම්සන් සමත් වූ අතර සුබාෂිස් රෝයිගේ පන්දුවක් හමුවේ මෙහෙදි හසන් අතට උඩ පන්දුවක් දෙමින් ටේලර් දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණ. දැවීයන විට ටේලර්ගේ 26 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබිණ. මුලු ලකුණු සංඛ්‍යාව 39 ක් වන විට නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ටොම් ලේතම් ලකුණු 16 කටත්, ජීත් රාවල් ලකුණු 13 කටත් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට මෙහෙදි හසන් සමත් විය.

තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (15 වැනිදා) ක්‍රීඩාව නරත කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 66 ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායමට අද දිනයේදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ තවත් ලකුණු 94 ක් පමණි. බංග්ලාදේශ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සබීර් රෙහෙමාන් (50) හතරේ පහර 9 ක් සමගින් සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළේය. පන්දුවට පහර දෙමින් සිටියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගිය ඉම්රුල් කේයස්, 7 වැනි කඩුල්ල බිඳවැටීමෙන් අනතුරුව නැවතත් පන්දුවට පහරදීම සඳහා පැමිණි අතර ඉනිම නිමා වන විට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 36 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 53 කට කඩුලු 3 ක් දවාගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් මිචෙල් සන්ට්නර් සහ නීල් වැන්ගර් කඩුලු 2 බැගින් දවාගත්හ. මෙම තිදෙනාගේ පන්දු යැවීම නිසා බංග්ලාදේශ ඉනිම ලකුණු 160 කට සීමා විය.


බංග්ලාදේශ පළමු ඉනිම – කඩුලු 8 ක් දැවී 595
(ටමීම් ඉක්බාල් 56, මොමිනුල් හක් 64, මහමදුල්ලා 26, සකීබ් අල් හසන් 217, මුෂ්ෆිකුර් රහීම් 159, සබීර් රෙහෙමාන් නොදැවී 54, නීල් වැන්ගර් 151/4, ටේ‍රන්ට් බෝල්ට් 131/2, ටිම් සවුති 158/2)

නවසීලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 539
(ජීත් රාවල් 27, ටොම් ලේතම් 173, කේන් විලියම්සන් 53, රොස් ටේලර් 40, හෙන්රි නිකලස් නොදැවී 53, බී. ජේ. වෙට්ලින් 49, මිචෙල් සන්ට්නර් 73, නීල් වෝග්නර් 18, කම්රුල් ඉස්ලාම් 87/3, මහමදුල්ලා 15/2, සකීබ් අල් හසන් 78/2, සුබාෂිස් රෝයි 89/2)

බංග්ලාදේශ දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 160  
(ටමීම් ඉක්බාල් 25, ඉම්රුල් කේයස් 36, මොමිනුල් හක් 23, සබීර් රොහෙමාන් 50, ටේ‍රන්ට් බෝල්ට් 53/3, මිචෙල් සන්ට්නර් 36/2, නීල් වැන්ගර් 37/2)

නවසීලන්ත දෙවැනි ඉනිම – කඩුලු 3 ක් දැවී 217  
(ටොම් ලේතම් 16, කේන් විලියම්සන් නොදැවී 104, රොස් ටේලර් 60, මෙහෙදි හසන් 66/2)


- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>