වේඩ්ගේ මංගල ශතකය ඕස්ට්‍රේලියාවට ජයගෙනේ

මැතිව් වේඞ්ගේ ශතකය සහ ජේම්ස් ෆෝක්නර්ගේ දක්ෂ පන්දු යැවීම නිසා සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී ඊයේ (13 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 92 ක පහසු ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 269 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානු කණ්ඩායම ඕවර 42.4 ක් අවසානයේ ලකුණු 176 කට සීමා කිරීමට ජේම්ස් ෆෝක්නර් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ෆෝක්නර්, ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගනිමින් පාකිස්තාන කණ්ඩායමේ මුල් පෙළ සුනුවිසුණු කර දැමීය. පැට් කමින්ස් ලකුණු 33 කට කඩුලු 3 ක්ද, මිචෙල් ස්ටාර්ක් ලකුණු 34 කට කඩුලු 2 ක්ද දවාගනිමින් පාකිස්තාන කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ෆෝක්නර්ට අනගි සහයක් දුන්හ.

පාකිස්තානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බාබර් අසාම් පන්දු 46 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 33 ක් රැස්කළ අතර ඉම්ඩාඞ් වසීම් පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 29 ක් රැස්කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඞ් (නොදැවී 100) සිය මංගල එක්දින ශතකය ලබා ගත්තේය. පන්දු 100 කට මුහුණ දෙමින් ලබාගත් එම ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් අලංකාර කිරීමටද වේඞ් සමත් විය.

තම එක්දින ක්‍රිකට් දිවියේදී අර්ධ ශතක 10 ක් ලබා සිටින වේඞ්ට ශතකයක් ලබාගැනීම සඳහා තරග 83 කට ක්‍රීඩා කිරීමට සිදුවීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ලකුණු 78 කට කඩුලු 5 දැවී ගොස් තිබූ අවස්ථාවේ ග්ලේන් මැක්ස්වෙල් (60) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඔස්ටේ්‍රලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද වේඞ් සමත් විය. පන්දු 60 කදී වාර්තා වූ මැක්ස්වෙල්ගේ 14 වැනි එක්දින අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් විය.


ඕස්ට්‍රේලියාව – ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 268
(ට්‍රේවිස් හෙඞ් 39, ක්‍රිස් ලයන් 16, ග්ලේන් මැක්ස්වෙල් 60, මැතිව් වේඞ් නොදැවී 100, පැට් කමින්ස් 15, හසන් අලී 65/3, ඉම්ඩාඞ් වසීම් 35/2, මොහොමඞ් අමීර් 54/2)

පාකිස්තානය – ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 176
(අසාර් අලී 24, සර්ජීල් ඛාන් 18, බාබර් අසාම් 33, උමාර් අක්මාල් 17, මොහොමඞ් රිස්වාන් 21, ඉම්ඩාඞ් වසීම් 29, ජේම්ස් ෆෝක්නර් 32/4, පැට් කමින්ස් 33/3, මිචෙල් ස්ටාර්ක් 34/2)


- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>