නවසීලන්තයත් සාර්ථක පිළිතුරකට සැරසෙයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව වෙලින්ටංහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (14 වැනිදා) ක්‍රීඩාව නරත කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 292 ක් ලබා සිටියේය. දිනය නිමා වන විට නවසීලන්ත කණ්ඩායම බංග්ලාදේශයට වඩා තවත් ලකණු 303 ක් පසුපසින් සිටි අතර ටොම් ලේතම් ලකුණු 119 ක්ද, හෙන්රි නිකල්ස් ලකුණු 35 ක්ද ලබා නොදැවී කඩුල්ලේ සිටියහ.

තමන්ගේ 6 වැනි ටෙස්ට් ශතකය අද දිනයේදී ලබාගැනීමට සමත් වූ ටොම් ලේතම් (119), එය හතරේ පහර 13 කින් සැරසීය. නායක කේන් විලියම්සන් (53) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලේතම්, ඉන් නොනැවතී රොස් ටේලර් (40) සමග එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 74 ක්ද, හෙන්රි නිකල්ස් (නොදැවී 35) සිව්වැනි කඩුල්ලට ලකුණු 87 ක්ද එක් කරමින් නවසීලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

පන්දු 55 කදී වාර්තා වූ විලියම්සන්ගේ 25 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර පන්දු 51 කදී වාර්තා වූ රොස් ටේලර්ගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත විය.

පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 54 කට සීමා කරමින් ආරම්භක පිතිකරු ජීත් රාවල් පිටියෙන් ඉවත් කිරීමට කම්රුල් ඉස්ලාම් සමත් විය. ඉම්රුල් කේයස් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ජීත් රාවල් හතරේ පහර 3 ක් සමගින් ලකුණු 27 ක් ලබා සිටියේය. මුලු ලකුණු සංඛ්‍යාව 131 ක් වන විට නවසීලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ඉම්රුල් කේයස් අතට උඩ පන්දුවක් දෙමින් කේන් විලියම්සන් දැවී ගියේ ටස්කින් අහමඞ්ගේ පළමු ටෙස්ට් කඩුල්ල බවට පත්වෙමිනි.

දිනයේ අවසන් කඩුල්ල ලෙස කම්රුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මහමදුල්ලා අතට උඩ පන්දුවක් දෙමින් රොස් ටේලර් දැවීයන විට ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 205 ක් ලෙස සටහන් විය.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (13 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 542 ක් ලබා සිටි අතර අද දිනයේදී තවත් කඩුල්ලක් දැවී ලකුණු 53 ක් ලබා ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවීමට ඔවුහු තීරණය කළහ.

බංග්ලාදේශ කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි. 2013 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 638 ක් ලබාගැනීම ඔවුන්ගේ ඉහළම ටෙස්ට් ඉනිම ලෙස සටහන් වේ. අද පෙරවරුවේදී සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට සබීර් රෙහෙමාන් (නොදැවී 54) සමත් වූ අතර ඊට හතරේ පහර 7 ක් අන්තර්ගත විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නීල් වෝග්නර්ගේ පන්දුවක් හමුවේ ටිම් සවුති අතට උඩ පන්දුවක් දෙමින් දිනයේ පළමු කඩුල්ල ලෙස ටස්කින් අඩමඞ් ලකුණු 3 කට දැවී ගියේය.


බංග්ලාදේශ පළමු ඉනිම – කඩුලු 8 කට 595
(ටමීම් ඉක්බාල් 56, මොමිනුල් හක් 64, මහමදුල්ලා 26, සකීබ් අල් හසන් 217, මුෂ්ෆිකුර් රහීම් 159, සබීර් රෙහෙමාන් නොදැවී 54, නීල් වෝග්නර් 151/4, ටේ‍රන්ට් බෝල්ට් 131/2, ටිම් සවුති 158/2)

නවසීලන්තය පළමු ඉනිම – කඩුලු 3 කට 292
(ජීත් රාවල් 27, ටොම් ලේතම් නොදැවී 119, කේන් විලියම්සන් 53, රොස් ටේලර් 40, හෙන්රි නිකලස් නොදැවී 35, කම්රුල් ඉස්ලාම් 52/2)


- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>