බංග්ලාදේශයෙන් දැවැන්ත ඉනිමක්

නායක මුෂ්ෆිකුර් රහීම් (159) සහ සකීබ් අල් හසන් (217) එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 359 ක වාර්තාගත සම්බන්ධතාව නිසා නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වෙලින්ටංහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 500 සීමාව ඉක්මවා යෑමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

දෙවැනි දිනය වූ අද (13 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 542 ක් ලබා සිටියේය.

බංග්ලාදේශ කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී රැස්කළ සිව්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර මින් පෙර ශ්‍රී ලංකාවට එරෙහිව (2013 දී) ලකුණු 638 ක්ද, බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට එරෙහිව (2012 දී) ලකුණු 556 ක්ද, පාකිස්තානයට එරෙහිව (2015 දී) කඩුලු 6 කට ලකුණු 555 ක්ද රැස්කර තිබේ. ඒ අනුව ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අභිබවා යෑම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට මෙම තරගයේදී තවත් ලකුණු 96 ක් අවශ්‍ය වේ. කෙසේ වුවත් ඒ සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ තවත් කඩුලු 3 ක් පමණි.

වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය (12 වැනිදා) ඕවර 40.2 කට සීමා වුණ අතර දෙවැනි දිනය ආරම්භ වන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 154 ක් ලබා සිටියේය.

අද දිනයේදී ද්විත්ව ශතකයක් ලබාගැනීමට සකීබ් අල් හසන් සමත් වූ අතර එය ඔහුගේ ඉහළම ටෙස්ට් ඉනිමද විය. නීල් වැග්නර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට සකීබ්ගේ ද්විත්ව ශතකයට හතරේ පහර 31 ක් අන්තර්ගත වී තිබිණ.

බංග්ලාදේශය වෙනුවෙන් ද්විත්ව ශතකයක් ලබාගත් තෙවැනි ක්‍රීඩකයා සකීබ් අල් හසන් වන අතර මින් පෙර ටමීම් ඉක්බාල් (206) සහ මුෂ්ෆිකුරු රහීම් (200) ද බංග්ලාදේශය වෙනුවෙන් ශතකයක් ද්විත්ව ශතක ලබාගෙන තිබේ. ඒ අනුව බංග්ලාදේශ ක්‍රීඩකයෙක් ටෙස්ට් තරගයකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද සකීබ්ගේ ඉනිම වාර්තා අතරට එක් විය.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 64 ක් ලබා සිටි මොමිනුල් හක් පිටියෙන් ඉවත් කිරීමට ටිම් සවුති සමත් වූ අතර කඩුලු රකින ක්‍රීඩක බී. ජේ. වොට්ලිං අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඔහුගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් වී තිබිණ.

මොමිනුල් හක්ගේ (159) දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි නායක මුෂ්ෆිකුර් රහීම් සමග එක්ව බංග්ලාදේශ ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 359 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සකීබ් අල් හසන් සමත් විය.

ටේ‍රන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ බී. ජේ. වොට්ලිං අතට උඩ පන්දුවක් දෙමින් රහීම් දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණ. පැය 4 කට වැඩි කාලයක් කඩුල්ලේ රැදී සිටි රහීම්, සිය සිව්වැනි ටෙස්ට් ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 23 කින් සැරසුවේය.

බංග්ලාදේශ කණ්ඩායමේ ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ ඉහළම සම්බන්ධතාවේ වාර්තාව බිඳ දැමීමට සකීබ්ගේ සහ රහීම්ගේ මෙම සම්බන්ධතාව සමත් වූ අතර මින් පෙර 2015 වසරේදී ඉම්රුල් කේයස් සහ ටමීම් ඉක්බාල් එක්ව පාකිස්තානයට එරෙහිව ලකුණු 312 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එම වාර්තාව පිහිටුවා තිබිණ.


බංග්ලාදේශ පළමු ඉනිම – කඩුලු 7 කට 542
(ටමීම් ඉක්බාල් 56, මොමිනුල් හක් 64, මහමදුල්ලා 26, සකීබ් අල් හසන් 217, මුෂ්ෆිකුර් රහීම් 159, නීල් වෝග්නර් 124/3, ටේ‍රන්ට් බෝල්ට් 121/2, ටිම් සවුති 144/2)


- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>