නවසීලන්තය 3-0 කින් තරගාවලිය ජයගනී

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 27 කින් ජයගත් නවසීලන්ත කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත ඕවර 20 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167 ක් පමණි.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සෞම්‍ය සාර්කර් පන්දු 28 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 42 ක් රැස්කළ අතර සකීබ් අල් හසන් හතරේ පහර 4 ක් සමගින් ලකුණු 41 ක් රැස්කළේ පන්දු 34 කිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ටමීම් ඉක්බාල් (24) සහ සෞම්‍ය සාර්කර් සමත් වුවද, ඉන් අනතුරුව සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමට සෙසු පිතිකරුවන් අසමත්වීම බංග්ලාදේශ කණ්ඩායමේ පරාජයට බෙහෙවින්ම බලපෑවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කෝරි ඇන්ඩසන් පන්දු 41 කදී නොදැවී ලකුණු 94 ක් රැස්කළේ හයේ පහර 10 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

නායක කේන් විලියම්සන් (60) සමග එක්ව නවසීලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී ලකුණු 124 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඇන්ඩසන් සමත් වූ අතර රුබෙල් හුසේන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් විලියම්සන් දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳවැටිණ. පන්දු 57 කදී වාර්තා වූ විලියම්සන්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ රුබෙල් හුසේන් ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගනිමින් බංග්ලාදේශ කණ්ඩායමේ වඩාත් සාර්ථක පන්දුයවන්නා බවට පත්විය.


නවසීලන්තය – ඕවර 20 කදී කඩුලු 4 කට 194
(කේන් විලියම්සන් 60, ජේම්ස් නීෂම් 15, කෝරි ඇන්ඩසන් නොදැවී 94, රුබෙල් හුසේන් 31/3)

බංග්ලාදේශය – ඕවර 20 කදී කඩුලු 6 කට 167
(ටමීම් ඉක්බාල් 24, සෞම්‍ය සර්කාර් 42, සබීර් රෙහෙමාන් 18, සකීබ් අල් හසන් 41, මහමදුල්ලා 18, ඉෂ් සෝධි 22/2, ටේ‍රන්ට් බෝල්ට් 48/2)

 

විස්සයි20 ඉනිමකදී වැඩිම හයේ පහර ගණනක් එල්ල කළ ක්‍රීඩකයෝ
හයේ පහර ක්‍රීඩකයා රට  තරගය
14 ඒරන් ෆින්ච්  ඕස්ට්‍රේලියාව එංගල්තයට එරෙහිව 
13 රිචඩ් ලෙවී දකුණු අප්‍රිකාව නවසීලන්තයට එරෙහිව
11 ක්‍රිස් ගේල්  බ.ඉ. කොදෙව් එංගල්තයට එරෙහිව 
10 ක්‍රිස් ගේල්  බ.ඉ. කොදෙව් දකුණු අප්‍රිකාවට එරෙහිව
10 කෝරි ඇන්ඩසන්  නවසීලන්තය බංගලාදේශයට එරෙහිව


- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>