ඕස්ට්‍රේලියානුවෝ විස්මිත ජයක් ලබති

මෑත කාලීන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඇදහිය නොහැකි දිනුමක් ක්‍රිකට් වාර්තා පොතට එක්කළ ස්ටීවන් ස්මිත් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවෝ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පාකිස්තානය පරදවා ඉනිමක සහ ලකුණු 18 ක අති විශිෂ්ට ජයක් ලබාගත්හ. පළමු ඉනිමේදී ලකුණු 443 ක් ලබාගත් පාකිස්තානු පිල දෙවැනි ඉනිමේදී ලකුණු 163 කට සීමා කළ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගවලියේදී 2-0 ක තරගාවලි ජයක් කරා තම පිල කල්වෙලා ඇතිවම කැඳවාගෙන ගියහ.

තරගයේ සිවුවැනි දිනය නිමා වන විටත් දෙපිලේම පළමු ඉනිම දෙක අවසන් වී නොතිබිණ. එහෙත් පස්වැනි දිනයේදී අධිවේගී ලකුණු රැස්කිරීමක නිරත වූ ඕස්ට්‍රේලියානුවෝ ඕවර 53.2 කදී පාකිස්තානු ඉනිම අහවර කළහ.

සිවුවැනි දිනයේ පස්වරුවේදී වර්ෂාව නිසා ක්‍රීඩාව නතර කරන විට කඩුලු 6 කට ලකුණු 465 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු පිල පාකිස්තානුවන්ට වඩා ඉදිරියෙන් සිටියේ ලකුණු 22 කින් පමණි. එහෙත් අද පෙරවරුවේ ඕවර 28 කින් ලකුණු 159 ක් උදුරාගත් ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ දිවා ආහාරටත් පෙර ඉනිම නතර කළේ හැකිනම් දිනයේ ඉතිරි කොටස් දෙක තුළදී (ඕවර 70 ක් ඇතුළත) කඩුලු රැකගනිමින් තරගය බේරා ගන්නා ලෙස පාකිස්තානුවන්ට අභියෝග කරමිනි. එහෙත් දිවා ආහාරය සඳහා තරගය නතර කරන විටත් පාකිස්තානු පිලේ කඩුල්ලක් ලකුණු 06 කට බිඳ වැටී තිබිණ.

නොදැවී ලකුණු 165 ක් ලබාගත් ස්ටීවන් ස්මිත් තරගයේ වීරයා සම්මානය දිනාගත් නමුත් පස්වැනි දිනයේදී පාකිස්තානු පිල විනාශ කළේ මිචෙල් ස්ටාක් සහ නේදන් ලයන් දෙදෙනාය. මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් ඉනිමකදී පිතිකරුවකු වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකරගත් මිචෙල් ස්ටාක්ගේ හයේ පහර 7 න් 5 ක් යසීර් ෂා එල්ලයේ විය. පන්දු 91 කින් ලකුණු 84 ක් ලබාගත් ස්ටාක්ගේ ඉනිමට හතරේ පහර 3 ක්ද ඇතුළත් විය.

නායක ස්ටීවන් ස්මිත් සහ මිචෙල් ස්ටාක් අතර 7 වැනි කඩුල්ල සඳහා සම්බන්ධතාව ලකුණු 154 කි. ස්මිත්ගේ ලකුණු 165 ට හතරෙ පහර 13 ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබුණ අතර ඔහු 2016 වසර නිමා කළේ ටෙස්ට් ලකුණු 1079 ක හිමිකරුවා වෙමිනි.

පාකිස්තානු දෙවැනි ඉනිමේ 20 වැනි ඕවරයේදී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2 කට 63 ක් ලෙසිනි. ඉතිරි ඕවර 50 තුළදී පාකිස්තානු පිලට කඩුලු 8 ක් ආරක්‍ෂා කරගත හැකිවූයේ නම් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත හැකිව තිබිණ. තත්ත්වය මෙසේ තිබියදී පන්දුව අතට ගත් නේදන් ලයන් ඕවර 5 ක් ඇතුළතදී යුනිස් ඛාන්, මිස්බා උල් හක් සහ අසාඞ් ශෆීක් තිදෙනාම පිටියෙන් ඉවත් කළ හෙයින් ලකුණු සංඛ්‍යාව 89 දී පස්වැනි කඩුල්ලත් බිඳ වැටිණ.

ඕවර 40 ක් තුළදී කඩුලු 5 ක් ආරක්‍ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දුන් පාකිස්තානු පිල අසරණ කර දැමූ මිචෙල් ස්ටාක් විසින් බාබර් අසාම්, සර්ෆ්‍රාස් අහමඞ්, වහබ් රියාස් සහ යසීර් ෂා පිටියෙන් ඉවත් කරන ලද්දේ ලකුණු 36 කට කඩුලු 4 ක් දවාගනිමිනි.

පළමු ඉනිමේදී කඩුල්ලක් පමණක් දවාගත් මිචෙල් ස්ටාක් දෙවැනි ඉනිම දෙකේදී පාකිස්තානුවන් උස්සා පොළොවේ ගැසීය.

“මම මේ තරගය ආරම්භ කළාට වඩා හොඳින් ඉවර කළා. තරගයේ මේ තීරණය ලබාගත්ත එක නම් ඉතාමත් හොඳයි…විශ්වාසය අපේ සිත් තුළ තිබුණා. ඒත් තරගය ඉවර කෙරුණ විදිහ නම් අලංකාරයි” යයි මිචෙල් ස්ටාක් පැවසීය.

මෙම පරාජය පාකිස්තානුවන් ඕස්ට්‍රේලියාවේදී එක දිගට ලැබූ 11 වැනි පරාජයයි. ඕස්ටේ්‍රලියාවේදී පාකිස්තානුවන්ගේ අවසන් ටෙස්ට් ජය වාර්තා වන්නේ 1995 සිඞ්නි හිදීය.

පාකිස්තානය – පළමු ඉනිම කඩුලු 9 ට 443
ඕස්ට්‍රේලියාව- පළමු ඉනිම කඩුලු 8 ට 624
පාකිස්තානය දෙවැනි ඉනිම – 163

(අසාර් අලි 43, යුනිස් ඛාන් 24, අසාඞ් ශෆීක් 16, සර්ෆ්‍රාස් අහමඞ් 43, මොහොමඞ් අමීර් 11, සොහේල් ඛාන් 10, මිචෙල් ස්ටාක් 36/4, ජොස් හේසල්වුඞ් 39/2, ජැක්සන් බර්ඞ් 46/1, නේතන් ලයන් 33/3)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>