නවසීලන්තයට ලකුණු 77 ක ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව නවසීලන්තයේ ක්‍රියිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 77 ක ජයක් අත්කරගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 342 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 264 ක් පමණි. ලොකී ෆර්ගසන් සහ ජේම්ස් නීෂම් කඩුලු 3 බැගින් බිඳහෙළමින් බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කර දැමූහ.

බංග්ලාදේශ ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි මොසද්දික් හුසේන් පන්දු 44 කදී නොදැවී ලකුණු 50 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක්ද සමගිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 81 ක් වන විට බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 4 ම බිඳ වැටුණ අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සකීබ් අල් හසන් (59) සහ මුෂ්ෆිකුර් රහීම් (42) සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට මහත් පරිශ්‍රමයක් දැරූහ.

පන්දු 54 කදී වාර්තා වූ සකීබ් අල් හසන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 48 කදී වාර්තා වූ මුෂ්ෆිකුර් රහීම්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට ටොම් ලේතම් (137) සමත් වූ අතර පන්දු 121 කදී වාර්තා වූ ලේතම්ගේ දෙවැනි එක්දින ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 7 කින් සමත්විත විය. මුස්තෆිසුර් රෙහෙමාන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් අතට උඩ පන්දුවක් දෙමින් ලේතම් දැවී ගියේය.

කොලින් මුන්රෝ (87) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 107 කදී ලකුණු 158 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමටද ලේතම් සමත් විය. වේගවත් පිතිහරඹයක නිරත වූ මුන්රෝ, පන්දු 61 කදි වාර්තා වූ සිය අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 8 කින් අලංකාර කළේය.

බංග්ලාදේශ පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ දැඩි ලෙස නවසීලන්ත පිතිකරුවන්ගේ පහර කෑමකට ලක් වූ අතර යම් තරමක හෝ සාර්ථකත්වයක් පෙන්නුම් කළ සකීබ් අල් හසන් ලකුණු 69 කට කඩුලු 3 ක් දවාගත්තේය.


නවසීලන්තය – ඕවර 50 කදී කඩුලු 7 කට 341
(මාටින් ගප්ටිල් 15, ටොම් ලේතම් 137, කේන් විලියම්සන් 37, නීල් බෲම් 22, කොලින් මුන්රෝ 87, සකීබ් අල් හසන් 69/3, මුස්තෆිසුර් රෙහෙමාන් 62/2, ටස්කින් අහමඞ් 70/2)

බංග්ලාදේශය – ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 264
(තමීම් ඉක්බාල් 38, ඉම්රුල් කේයස් 16, සකීබ් අල් හසන් 59, මුෂ්ෆිකුර් රහීම් 42, සබීර් රෙහෙමාන් 16, මොසද්දික් හුසේන් නොදැවී 50, ජේම්ස් නීෂම් 36/3, ලොකී ෆර්ගියුසන් 54/3, ටිම් සවුති 63/2)


- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>