ජදේජා එංගලන්ත පිල කරකවා අතහරී


රවින්ද්‍ර ජදේජාගේ විශිෂ්ට පන්දු යැවීම නිසා සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව අතර චෙන්නාහියිදී පැවැති 5 වැනි සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 75 ක පහසු ජයක් අත්කර ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම අද (20 වැනිදා) සමත් විය. ඒ අනුව තරග 5 කින් සමන්විත වූ මෙම තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමට 4-0 ක දැවැන්ත පරාජයකට මුහුණදීමට සිදුවිය.

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 282 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණ දී සිටි එංගලන්ත කණ්ඩායමට තරගයේ අවසන් දිනය වූ අද සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 207 ක් පමණි.  

එංගලන්ත පිතිකරුවන් අන්ද මන්ද කරමින් ලකුණු 48 කට කඩුලූ 7 ක් දවාගත් රවින්ද්‍ර ජදේජා ඉන්දීය කණ්ඩායමේ ජයග‍්‍රහණය පහසු කළේය. පළමු ඉනිමේදී දවාගත් කඩුලූ 3 ත් සමගින් ජදේජා මෙම තරගයේදී දවාගත් මුලූ කඩුලූ සංඛ්‍යාව 10 කි. ජදේජා ටෙස්ට් තරගයකදී කඩුලූ 10 ක් දවාගත් පළමු අවස්ථාව මෙය වන අතර ලකුණු 48 කට කඩුලූ 7 ක් දවාගැනීම ඉනිමකදී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසද සටහන් විය.

එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක ඇලිස්ටෙයාර් කුක් (49) සහ කේට්න් ජෙනින්ස් (54) සමත් වූවද සෙසු පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීම නිසා එංගලන්ත කණ්ඩායමට බලාපොරොත්තු නොවූ අන්දමේ පරාජයක් අත්විදීමට සිදුවිය.

පළමු කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දමමින් සිය 54 වැනි ටෙස්ට් අර්ධ ශතකයට ලකුණක් මෙපිටින් සිටි ඇලිස්ටෙයාර් කුක් පිටියෙන් ඉවත් කිරීමට රවින්ද්‍ර ජදේජා සමත් විය. ජදේජාගේ පන්දුවක් හමුවේ පිත්තේ පිටත දාරයේ වැදී ගිය පන්දුව ලෙග් ස්ලිප්හි පන්දු රකිමින් සිටි ලෝකේෂ් රාහුල්ගේ දැත් අතර සිරවන විට ඇලිස්ටෙයාර් කුක්ගේ ඉනිමට හතරෙ පහර 4 ක් ඇතුළත් වී තිබිණ.

කුක්ගේ දැවීයාමෙන් අනතුරුව ලකුණු පුවරුවට තවත් ලකුණු 7 ක් එක්වන විට කේට්න් ජෙනින්ස්වද ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට රවින්ද්‍ර ජදේජා සමත් වූයේ ඔහුගේ පන්දුවක් හමුවේ ඔහු අතටම ලැබුණ උඩ පන්දුවක් රැුකගනිමිනි. ඒ වන විට ජෙනින්ස්ගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත වී තිබිණ.

ආරම්භක පිතිකරුවන්ගේ දැවීයාම් වලින් අනතුරුව ලකුණු 19 ක් තුළ එංගලන්ත ඉනිමේ තෙවැනි සහ සිව්වැනි කඩුලූද බිඳවැටුණ අතර එහිදී ජදේජාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ජෝ රූට් ලකුණු 6 කටද, ඉෂාන්ත් ශර්මාගේ පන්දුවක් හමුවේ රවිචන්ද්‍රන් අෂ්වින් අතට උඩ පන්දුවක් දෙමින් ජොනී බෙයාස්ට්‍රෝ එක් ලකුණකටද පිටියෙන් ඉවත්ව ගියහ.

ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට මුයින් අලී (44) සහ බෙන් ස්ටොක්ස් (23) සමත් වූවද, එංගලන්ත කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය. ජදේජාගේ පන්දුවක් හමුවේ අෂ්වින් අතට උඩ පන්දුවක් දෙමින් මුයින් අලී දැවීයාමත් සමග එම සම්බන්ධතාවද බිඳවැටිණ.  

මුලූ ලකුණු සංඛ්‍යාව 192 ක් වන විට එංගලන්ත ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස අලී දැවීගිය අතර ඔහුගේ දැවීයාමෙන් අනතුරුව ලකුණු පුවරුවට තවත් එක් ලකුණක් එක්වන විට බෙන් ස්ටොක්ස්ද ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට ජදේජා සමත් විය. කරුන් නයර් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ස්ටොක්ස්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වි තිබිණ.

ලකුණු ලබාගැනීමට පෙර ලියෑම් ඬේව්සන්ගේ කඩුල්ල බිඳදැමීමට අමීත් මිෂ්රා සමත් වූ අතර උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ ජදේජා අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ආදිල් රෂීඞ් ලබා සිටියේ ලකුණු 2 ක් පමණි.

ඔවුන් දෙදෙනාගේ දැවීයාම් වලින් අනතුරුව ස්ටුවට් බ්‍රොඞ් එක් ලකුණකටද, ජේක් බෝල් ලකුණු ලබාගැනීමට පෙරද දවාගත් ජදේජා එංගලන්ත කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය. චෙතේෂ්වර් පුජාරා අතට උඩ පන්දුවක් දෙමින් ස්ටුවට් බ්‍රොඞ් දැවීගිය අතර ජේක් බෝල් දැවීගියේ කරුන් නයර් අතට උඩ පන්දුවක් දෙමිනි.

එංගලන්ත පළමු ඉනිම – සියලූ දෙනා දැවී 477

ඉන්දීය පළමු ඉනිම – කඩුලූ 7 ක් දැවී 759

එංගලන්ත දෙවැනි ඉනිම – සියලූ දෙනා දැවී 207
(ඇලිස්ටෙයාර් කුක් 49, කේට්න් ජෙනින්ස් 54, මුයින් අලී 44, බෙන් ස්ටොක්ස් 23, රවින්ද්‍ර ජදේජා 48/7)

- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>