නයර්ගේ ත්‍රිත්ව ශතකයෙන් ඉන්දියාව 750 න් ඔබ්බට

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව චෙන්නාහියිදී පැවැත්වෙන 5 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි වැනි දිනය වූ අද (19 වැනිදා) කරුන් නයර්ගේ අගනා ත්‍රිත්ව ශතකය (නොදැවී 303) නිසා පළමු ඉනිම වෙනුවෙන් ලකුණු කඩුලු 7 ක් දැවී ලකුණු 759 ක් රැස්කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ටෙස්ට් තරගයකදී එංගලන්ත කණ්ඩායමකට එරෙහිව කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මෙම ලකුණු 759 සටහන් වන අතර ඉන්දීය කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී ලකුණු 700 සීමාව ඉක්මවා ගිය සිව්වැනි අවස්ථාව ලෙසද එය වාර්තා අතරට එක්විය.

තෙවැනි දිනය වූ ඊයේ (18 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 391 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම, අද දිනයේදී සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 368 ක් එක්කර ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා එංලගන්ත කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.

ඒ අනුව සිව්වැනි දිනය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 12 ක් ලබා සිටියේය. ඒ වන විට ඇලිස්ටොර් කුක් ලකුණු 3 ක්ද, කීටන් ජෙනින්ස් ලකුණු 9 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර එංගලන්ත කණ්ඩායම කඩුලු 10 ම අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා තවත් ලකුණු 270 ක් පසුපසින් සිටී.

අද දිනය ආරම්භ වන විට ලකුණු නොදැවී ලකුණු 71 ක් ලබාසිටි කරුන් නයර් දිවා ආහාරයට පෙර ලබාගත් සිය මංගල ශතකය, දිනය නිමා වීමට පැයකට පමණ පෙර පිටියෙන් ඉවත්ව යන විට ත්‍රිත්ව ශතකයක් බවට පත්කර ගැනීමට සමත්ව සිටියේය.

මේ වන විට ටෙස්ට් තරග 3 කට සහභාගි වී ඇති කරුන් නායර්ගේ පළමු සහ දෙවැනි ටෙස්ට් ඉනිම් පිළිවෙළින් ලකුණු 4 කට සහ 13 කට සීමා වුවද, තෙවැනි ඉනිමේදී ඔහු හයේ පහර 4 ක් සහ හතරේ පහර 32 ක් සමගින් නොදැවී ලකුණු 303 ක් රැස්කළේ ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරගයකද ත්‍රිත්ව ශතකයක් ලබාගත් දෙවැනි ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

මින් පෙර විරේන්ද්‍ර ෂෙවැග් දකුණු අප්‍රිකාවට එරෙහිව චෙන්නාහිදී ලකුණු 319 ක්ද, පාකිස්තානයට එරෙහිව මුල්ටාන්හිදී ලකුණු 309 ක්ද රැස්කරමින් ඉන්දියාව වෙනුවෙන් ත්‍රිත්ව ශතක ලබාගත් එකම පිතිකරුවා බවට පත්ව සිටියේය. කරුන් නායර් මෙම ත්‍රිත්ව ශතකය ලබාගන්නා විට ඔහුගේ වයස අවරුදු 25 යි දින 13 ක් වූ අතර ඔහු ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් ලබාගත් ලාබාලතම පිතිකරුවන් අතර 6 වැනි ස්ථානයටද පත් විය.

රවිචන්ද්‍රන් අෂ්වින් (67) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 181 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කරුන් නායර්, ඉන් නොනැවතී රවින්ද්‍ර ජදේජා (51) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 750 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.

ස්ටුවට් බ්‍රෝඞ්ගේ පන්දුවක් හමුවේ ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට අෂ්වින්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබූ අතර ලයාම් ඬේව්සන්ගේ පන්දුවක් හමුවේ ජේක් බෝල් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ජදේජාගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සමත්විත වී තිබිණ.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලයාම් ඬේව්සන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරටද හසුවෙමින් දැවීයන විට හතරේ පහර 4 ක් සමගින් මුරලි විජේ ලබා සිටියේ ලකුණු 29 ක් පමණි.

 

එංගලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 477


ඉන්දීය පළමු ඉනිම – කඩුලු 7 ක් දැවී 759
(ලෝකේෂ් රාහුල් 199, පාර්තිව් පතෙල් 71, කරුන් නායර් නොදැවී 303, මුරලි විජේ 29, රවිචන්ද්‍රන් අෂ්වින් 67, රවින්ද්‍ර ජදේජා 51, ස්ටුවට් බ්‍රෝඞ් 80/2, ලියෑම් ඬේව්සන් 129/2)

එංගලන්ත දෙවැනි ඉනිම – කිසිවකු නොදැවී 12


 

- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>