ඕස්ට්‍රේලියාව නූලෙන් බේරෙයි

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව බ්‍රිස්බේන්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දැවැන්ත ජයග්‍රහණයක් බලාපොරොත්තු වුවද, පාකිස්තානු ක්‍රීඩකයන්ගේ වාර්තාගත හඹායාම හමුවේ ලකුණු 39 ක ජයකින් සෑහීමකට පත්වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිදු විය.

තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (18 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 382 ලබා සිටි පාකිස්තාන කණ්ඩායමට අවසන් දිනය වූ අද (19 වැනිදා) ජයග්‍රහණ සඳහා තවත් ලකුණු 108 ක් රැස්කිරීමට සිදු විය. කෙසේ වුවත් ඉතිරි කඩුලු 2 ලකුණු 68 ක් තුළ දවාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය සඳහා තබා තිබූ බලාපොරොත්තු සුනුවිසුණු කර දැමූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 490 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාව 220 ක් වන විට 6 වැනි කඩුල්ලත් බිඳ වැටුණ අතර ඒ වන විට පිතිකරුවකු වශයෙන් බලාපොරොත්තු තැබිය හැකි අයෙකු ලෙස කඩුල්ලේ රැදී සිටියේ අසාද් ෂෆීක් පමණි.

ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූ අසාද් ෂෆීක් (137), හත්වැනි කඩුල්ල සඳහා මොහොමඞ් අමීර් (48) සමග එක්ව ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගෙන ගියද ලකුණු සංඛ්‍යාව 312 ක් වන විට ජැක්සන් බර්ඞ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඞ් අතට උඩ පන්දුවක් දෙමින් මොහොමඞ් අමීර් දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණ.

සිය මංගල අර්ධ ශතකය ලබාගැනීමට ලකුණු 2 ක් මෙපිටින් සිටියදී පාකිස්තාන කණ්ඩායමේ 7 වැනි කඩුල්ල ලෙස දැවීයන විට අමීර්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ. මේ වන විට ටෙස්ට් තරග 23 කට සහභාගි වී ඇති 24 හැවිරිදි අමීර්ගේ ඉහළම ටෙස්ට් ඉනිම ලෙසද එය සටහන් විය.

අමීර්ගේ දැවීයාමෙන් අනතුරුව වහබ් රියාස් (30) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක්ද, යසීර් ෂා (33) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක්ද වශයෙන් සම්බන්ධතා ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට අසාද් ෂෆීක් මහත් උත්සහායක් දැරීය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධානම පන්දුයවන්නා වන මිචෙල් ස්ටාක්ගේ ගොදුරක් බවට පත්වෙමින් අසාද් ෂෆීක් ලකුණු 137 කට දැවීයාමත් සමග එම උත්සාහය ව්‍යර්ථ වී ගියේය. ස්ටාක් විසින් යවන ලද බවුන්සර් පන්දුවක් නිදැල්ලේ යැවීමට තැත් කිරීමේදී, එය අත් ආවරණයේ සහ පිත්තේ ඉහළ දාරයේ වැදී ගලී කළාපයේ පන්දු රකිමින් සිටි ඬේවිඞ් වෝනර්ගේ දෑත් අතර සිරවීම නිසා අසාද් ෂෆීක්ට පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

අසාද් ෂෆීක් පිටියෙන් ඉවත් වීමත් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයත් අතර පරතරය පන්දු 4 ක් පමණි. ෂෆීක් දැවී යාමෙන් පන්දු 4 කට පසුව ස්ටීවන් ස්මිත් පන්දුව කඩුල්ලට දමාගැසීම නිසා යසීර් ෂා ලකුණු 33 කට දැවී ගියේ පරාජයේ භීතියෙන් වෙළී සිටි ඕස්ට්‍රේලියානුවන්ට සැනසුම ගෙන දෙමිනි.

පාකිස්තාන කණ්ඩායමට ලකුණු අවශ්‍යම අවස්ථාවකදී සාර්ථක වෙමින් අසාද් ෂෆීක් ලබාගත් මෙම ශතකය ඔහුගේ 10 වැනි ටෙස්ට් ශතකය වූ අතර එය හයේ පහරකින් සහ හතරේ පහර 13 කින් අලංකාර විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායන ස්ටීවන් ස්මිත් මෙම තරගායේදී ශතකයක් (130) සහ අර්ධ ශතකයක් (63) සමග ලකුණු 193 ක් රැස්කරමින් දස්කම් දැක්වුද, ෂෆීක්ගේ ධෛර්යවන්ත පිතිහරඹයක නිසා ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.

මෙම තරගයේදී පාකිස්තාන කණ්ඩායම හඹාගිය ලකුණු 490 ක ඉලක්කය, ටෙස්ට් තරගයකදී කණ්ඩායමක් හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාවන් අතර සිව්වැනි ස්ථානයට පත්විය.

මින් පෙර එංගලන්තය (1939 වසරේදී) ලකුණු 696 ක්ද, නවසීලන්තය (2002 වසරේදී) ලකුණු 550 ක්ද, දකුණු අප්‍රිකාව (2013 වසරේදී) ලකුණු 458 ක්ද හඹාගියද ඒ සෑම අවස්ථාවකදීම ඉලක්කය හඹා ගිය කණ්ඩායම පරාජයට පත්වී ඇත. එම තරග වලදී එංගලන්තයට, නවසීලන්තයට සහ දකුණු අප්‍රිකාවට පිළිවෙළින් ලබාගත හැකිව ඇත්තේ ලකුණු 654 ක්, 451 ක් සහ 450 ක් පමණි.


ඕස්ට්‍රේලියා පළමු ඉනිම – සියලු දෙනා දැවී 429


පාකිස්තාන පළමු ඉනිම – සියලු දෙනා දැවී 142


ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිම – කඩුලු 5 ක් දැවී 202


පාකිස්තාන දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 450
(අසාර් අලී 71, යුනිස් ඛාන් 65, අසාද් ෂෆීක් 137, සෆ්රාස් අහමඞ් 24, මොහොමඞ් අමීර් 48, වහබ් රියාස් 30, යසීර් ෂා 33, මිචෙල් ස්ටාක් 119/4, ජැක්සන් බර්ඞ් 110/3, නේතන් ලයන් 108/2)

 

- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>