ඕස්ට්‍රේලියානුවෝ දැවැන්ත ජයක් සොයා යති

පාකිස්තානුවන්ට කිසිදු ආකාරයේ අනුකම්පාවක් නොපෙන්වූ ඕස්ට්‍රේලියානුවෝ බි්‍රස්බේන්හිදී පැවැත්වෙන පළමු වැනි (දිවා/රාත්‍රී) ටෙස්ට් තරගයේදී දැවැන්ත ජයග්‍රහණයක් කරා ඇදෙමින් සිටිති. තරගයේ තුන්වැනි දිනය වන අද (17 වැනිදා) රාත්‍රියේ ක්‍රීඩාව නතර කරන විට ලකුණු 490 ක ඉලක්කයක් කරා යමින් සිටි පාකිස්තානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 70 ක් ලබා සිටියේය.

තරගය ජයගැනීමට නම් පාකිස්තානු පිලට තවත් ලකුණු 420 ක් අවශ්‍ය වන නමුත් ඔවුන් සතුව ඇත්තේ කඩුලු 8 ක් පමණි. අසාර් අලි ඒ වන විට නොදැවී ලකුණු 41 ක් ලබා සිටි අතර ලකුණු අතරට ඒමට දැඩි උත්සාහයක නිරතව සිටින යුනිස් ඛාන් පන්දු 19 කට මුහුණ දුන්නද ඔහුට එකම ලකුණක් හෝ ලබාගත නොහැකි විය.

උස්මන් කවාජා

පාකිස්තානු මුල් ඉනිම ලකුණු 142 කට සීමා කළ ඕස්ට්‍රේලියානුවෝ සංචාරක කණ්ඩායමට වඩා ලකුණු 287 ක මුල් ඉනිමේ වාසියක් ලබාගත්හ. එහෙත් තණතීරුවෙන් වැඩි ප්‍රයෝජන ගැනීමේ අරමුණ ඇතිව නැවතත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් ලබාගත්තේ ලකුණු 490 ක ඉලක්කයක් පාකිස්තානුවන් වෙත වීසි කරමිනි.

කෙසේ වෙතත් අද දිනයේදී පාකිස්තානු දෙවැනි ඉනිමේදී දවාගත් කඩුලු සංඛ්‍යාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු නායකයා සතුටට පත්ව නැති සෙයකි.

“තවත් කඩුල්ලක් හෝ දෙකක් දවාගන්න තිබුණා නම් වඩාත් හොඳයි. ඒත් මා හිතන්නේ අද දවසේ අපි ගොඩාක් වෙහෙස වෙලා තරගයේ ඉස්සරහට ඇවිත් තියෙනවා”

“පාකිස්තානයත් තමන්ගේ අභියෝගයට හොඳින් මුහුණ දුන්නා. ඒ කොහොම වුණත් හෙට දවසේ මේ තණතීරුවෙන් ප්‍රයෝජන ගන්න අපි බලා ඉන්නවා” යයි ස්ටීවන් ස්මිත් පැවසීය.

ටෙස්ට් තරගයක සිවුවැනි ඉනිමේදී සාර්ථකව හඹා ගොස් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ වසර 2003 දී කොදෙව් පිල හමුවේ ඕස්ට්‍රේලියානුවන් ලබාගත් ලකුණු 418 යි. ඊට අමතරව සිවුවැනි ඉනිමේදී සාර්ථකව ලකුණු 400 හඹාගොස් ඇත්තේ තවත් තෙවතාවක් පමණි.


ඕස්ට්‍රේලියාව – පළමු ඉනිම 429 යි
පාකිස්තානය – පළමු ඉනිම 142 යි

(සමී අස්ලාම් 22 යි, බාබර් අසාම් 19, සෆ්රාස් අහමඞ් නොදැවී 59, මොහොමඞ් අමීර් 21, මිචෙල් ස්ටාක් 63/3, ජොස් හේසල්වුඞ් 22/3, ජැක්සන් බර්ඞ් 23/3)

ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම – කඩුලු 5 ක් දැවී 202
(ඬේවිඞ් වෝනර් 12, උස්මන් කවාජා 74, ස්ටීවන් ස්මිත් 63, පීටර් හැන්ස්කොම්බ් නොදැවී 35, රහත් අලි 40/2)

පාකිස්තානය – දෙවැනි ඉනිම කඩුලු 2 ක් දැවී 70
(සමී අස්ලාම් 15, අසාර් අලි නොදැවී 41, බාබර් අසාම් 14)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>