ඉන්දියාවෙන් ආරක්‍ෂාකාරී ආරම්භයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර චෙන්නාහියිදී පැවැත්වෙන 5 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 60 ක් ලබා සිටියේය.

ලෝකේෂ් රාහුල් ලකුණු 30 ක්ද, පාර්තිව් පතෙල් ලකුණු 28 ක්ද ලබා දිනය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර ඒ අනුව ඉන්දියානුවෝ කඩුලු 10 ම අතැතිව එංගලන්ත කණ්ඩායමට වඩා තවත් ලකුණු 417 ක් පසුපසින් සිටිති.

තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියයේ වියෝවෙන් චෙන්නායි ජනතාව තවමත් ශෝක වෙමින් සිටියද අද දිනයේදී චිදම්බරම් ක්‍රීඩාංගණයේ ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වයක් දක්නට ලැබුණ අතර එය 16,000 ඉක්මවූ බවද නිල වාර්තා වලින් කියැවිණ.

පළමු දිනය වූ ඊයේ (16 වැනිදා) කඩුලු 4 ක් දැවී ලකුණු 284 ක් ලබා සිටි එංගලන්ත ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 193 ක් එක්කරගත්හ.

රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ පාර්තිව් පතෙල් අතට උඩ පන්දුවක් දෙමින් දිනයේ පළමු කඩුල්ල ලෙස බෙන් ස්ටොක්ස් ලකුණු 6 කට දැවී ගියේය. ඉන් පසුව පිටියට පිවිසි ජොස් බට්ලර්ගේ ඉනිම ලකුණු 5 කට සීමා කිරීමට ඉෂාන්ත් ශර්මා සමත් වූයේ බට්ලර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි.

පළමු දිනය අවසන් වන විට නොදැවී ලකුණු 120 ක් ලබා සිටි මුයින් අලීට අද දිනයේ රැස්කළ හැකිවූයේ තවත් ලකුණු 26 ක් පමණි. උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ රවින්ද්‍ර ජදේජා අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 146 කට දැවීයන විට අලීගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 13 ක් අන්තර්ගත වී තිබිණ.

එතැන් සිට 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108 සම්බන්ධතාවක් ගොඩනැගූ ලියාම් ඬේව්සන් (නොදැවී 66) සහ අදිල් රෂීඞ් (60) එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 450 සීමාවෙන් ඔබ්බට රැගන ගියහ. එම සම්බන්ධතාව බිඳ දමමින් ආදිල් රෂීඞ් පිටියෙන් ඉවත් කිරීමට උමේෂ් යාදව් සමත් වූ අතර පාර්තිව් පතෙල් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට රෂීඞ්ගේ අර්ධ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත් වී තිබිණ.

ලකුණු 19 ක් ලබා සිටියදී ස්ටුවට් බ්‍රෝඞ් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ලෝකේෂ් රාහුල් සමත් වූ අතර අමීත් මිෂ්රාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 12 ක් ලබා සිටි ජේක් බෝල් එංගලන්ත කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙස දැවී ගියේය.

එංගලන්ත ඉනිම නිමා වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂාකර ගෙන පන්දුවට පහරදුන් ලියෑම් ඬේව්සන් සිය මංගල අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් අලංකාර කළේය.


එංගලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 477
(ජෝ රූට් 88, මුයින් අලී නොදැවී 146, ජොනී බෙයාස්ට්‍රෝ 49, ලියෑම් ඬේව්සන් නොදැවී 66, ආදිල් රෂීඞ් 60, ස්ටුවට් බ්‍රෝඞ් 19, රවින්ද්‍ර ජදේජා 106/3, ඉෂාන්ත් ශර්මා 42/2, උමේෂ් යාදව් 73/2)

ඉන්දීය පළමු ඉනිම – කිසිවකු නොදැවී 60  
(ලෝකේෂ් රාහුල් නොදැවී 30, පාර්තිව් පතෙල් නොදැවී 28)  

 

- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>