එංගලන්තයෙන් සාර්ථක ආරම්භයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර චෙන්නායි නුවරදී අද (16 වැනිදා) ආරම්භ වූ පස්වැනි සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 284 ක් ලබා සිටි බැවින් සත්කාරක ඉන්දීය පිල එක්තරා ආකාරයකට විපිළිසරව සිටියේය.

මේ වන විටත් තරගාවලියේ ජයග‍්‍රහණය තමන් සතුකරගැනීමට සත්කාරක ඉන්දීය පිල සමත්ව සිටින නමුත් ඉන්දියානුවන්ගේ උත්සාහය වන්නේ එංගලන්තයට ජයග‍්‍රහණය කරා යාමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරා දැමීමයි.

දිනය ආරම්භයේදීම ලකුණු 21 කට එංගලන්ත කඩුලූ 2 ක් බිඳ වැටුණද ජෝ රූට් (88) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 146 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මුයින් අලී, ඉන් නොනැවතී ජොනී බෙයාස්ට්‍රෝ (49) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාව ආසන්නයට ගෙන ආවේය.  

”දිනුමකුත් එක්ක ගෙදර යන්න තියෙනවා නම් ඉතාමත් හොඳයි. අපි අද කිසියම් තරමකට හිස එසවූවා. දැන් තියෙන්නේ හෙට ඒ තත්ත්වය තවත් ඉදිරියට ගෙන යාමයි” යයි අද දිනයේ කී‍්‍රඩාවෙන් පසු ජෝ රූට් වාර්තාකරුවන්ට පැවසීය. මොහාලි ටෙස්ට් තරගයෙන් පසුව පිතිකරු ලයිස්තුවේ උසස් වීමක් ලද මුයින් අලී ඉතාමත් සාර්ථක ලෙස නව අභියෝගයට මුහුණ දෙමින් මෙම සංචාරයේදී අගනා ශතක දෙකක්ම ලබාගත්තේය.

ලකුණු ලබාගැනීමට පොරතුව දුන් උඩපන්දුවක් මිඞ් විකට් හි සිටි පන්දු රකින්නා වෙතින් ගිළිහී යාමෙන් අනගි ප‍්‍රයෝජන ලබාගත් රැවුල්කාරයා සිය 5 වැනි ටෙස්ට් ශතකය ලබාගත් අතර එය හතරේ පහර 12 කින් සැරසීය. මුයින් අලී ලකුණු 120 ක්ද, බෙන් ස්ටෝක්ස් ලකුණු 5 ක්ද ලබා දිනය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මෙම සංචාරයේදී ලබාගත හැකිව තිබූ දෙවැනි ශතකයට ලකුණු 12 ක් මෙපිටින් දැවී ගිය ජෝ රූට් වමතින් දග පන්දු යවන කී‍්‍රඩක රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක පාර්තිව් පතෙල් අතට උඩ පන්දුවක් දීමෙන් අනතුරුව කී‍්‍රඩාගාරයට ගියේය.

තමන් දැවී ගිය ආකාරය පිළිබඳ ජෝ රූට් නොසතුට පළකළ නමුත් රූපවාහිනී පුනරූපන වලින් තහවුරු වූයේ පන්දුව කඩුලූ රකින්නාගේ අතට යාමට පෙර එය රූට්ගේ පිත්තේ වැදුණු බවයි. රූට්ගේ ඉනිමට හතරේ පහර 10 ක් අන්තර්ගත වී තිබුණ අතර ජදේජාගේම පන්දුවක් හමුවේ ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට බෙයාස්ට්‍රෝගේ ඉනිම හයේ පහර 3 කින් සමන්විත වී තිබිණ.

එංගලන්ත ඉනිමේ ආරම්භක පිතිකරු සම්බන්ධතාව ලකුණු 7 කට සීමා කිරීමට ඉෂාන් ෂර්මා සමත් වූයේ කීටන් ජෙනින්ස් දවාගනිමිනි. නායක ඇලිස්ටෙයාර් කුක්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැුදී සිටීමට ඉඩක් නොලැබුණ අතර මුලූ ලකුණු සංඛ්‍යාව 21 ක් වන විට කුක් ලකුණු 10 කට දැවී ගිය නමුත් අද දිනයේ මුහුණ දුන් පළමු පන්දුවේදීම ටෙස්ට් ලකුණු 11,000 කඩයිම පසුකර යාමට එංගලන්ත නායකයා සමත් විය.

එංගලන්ත පළමු ඉනිම – කඩුලූ 4 කට 284
(ජෝ රූට් 88, මුයින් අලී නොදැවී 120, ජොනී බෙයාස්ට්‍රෝ 49, රවින්ද්‍ර ජදේජා 73/3)

 

-036

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>