ඉන්දියාව ටෙස්ට් තරගාවලිය ජය ගනියි

සංචාරක එංගලන්ත කණඩායමට එරෙහිව මුම්බායිහිදී පැවැති සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 36 ක ජයක් අත්කරගත් ඉන්දීය ක්‍රීඩකයෝ තවත් තරගයක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස තරග 5 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය ජයගැනීමට සමත් වූහ.

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 231 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් එංගලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 195 ක් පමණි.

තරගයේ අවසන් දිනය වූ අද (12 වැනිදා) තරගය ආරම්භ කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටි එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුලු 4 ලකුණු 13 ක් තුළ බිඳදැමීමට රවිචන්ද්‍රන් අෂ්වින් සමත් විය.

විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 55 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් වූ අතර පළමු ඉනිමේදී දවාගත් කඩුලු 6 ත් සමගින් ඔහු මෙම තරගයේදී දවාගත් මුලු කඩුලු සංඛ්‍යාව 12 ක් විය. අෂ්වින් ටෙස්ට් තරගයකදී කඩුලු 10 කට වඩා වැඩියෙන් දවාගත් 7 වැනි අවස්ථාව ලෙසද මෙය සටහන් විය.

සිව්වැනි දිනය වූ ඊයේ (11 වැනිදා) තරගය නතර කරන විට නොදැවී ලකුණු 50 ක් ලබා සිටි ජොනී බෙයාස්ටෝට අද දිනයේදී ලබාගත හැකිවූයේ එක් ලකුණක් පමණි. අද දිනයේදී ක්‍රියාත්මක වූ දෙවැනි ඕවරයේදීම රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසා බෙයාස්ටෝට ආපසු ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවිය.

ඉන් පසුව පිටියට පිවිසි ක්‍රිස් වෝක්ස්ද ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට අෂ්වින් සමත් වූ අතර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී යන විට වෝක්ස් මුහුණදී සිටියේ පන්දු 6 කට පමණි.

ආදිල් රෂීඞ්ගේ ඉනිම ලකුණු 2 කට සීමා කළ අෂ්වින්, ජේම්ස් ඇන්ඩසන්ද ලකුණු 2 කට දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. අෂ්වින්ගේ පන්දු හමුවේ ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් දෙමින් ආදිල් රෂීඞ් දැවීගිය අතර උමේෂ් යාදව් අතට උඩ පන්දුවක් දෙමින් ජේම්ස් ඇන්ඩසන් දැවී ගියේය.

ද්විත්ව ශතකයක් ලබාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 600 සීමාවෙන් ඔබ්බට රැගෙන ගිය නායක විරාට් කෝලි (235) තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.

එංගලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 400
(ඇලිස්ටෙයාර් කුක් 46, කේටන් ජෙනින්ස් 112, ජෝ රූට් 21, මුයින් අලී 50, බෙන් ස්ටොක්ස් 31, ජොස් බට්ලර් 76, ජේක් බෝල් 31, රවිචන්ද්‍රන් අෂ්වින් 112/6, රවින්ද්‍ර ජදේජා 109/4)

ඉන්දීය පළමු ඉනිම – සියලු දෙනා දැවී 631
(ලෝකේෂ් රාහුල් 24, මුරලි විජේ 136, චෙතේෂ්වර් පුජාරා 47, විරාට් කෝලි 235, රවින්ද්‍ර ජදේජා 25, ජයන්ත් යාදව් 104, ආදිල් රෂීඞ් 192/4 ජෝ රූට් 31/2, මුයින් අලී 174/2)

එංගලන්ත දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 195
(ඇලිස්ටෙයාර් කුක් 18, ජෝ රූට් 77, ජොනී බෙයාස්ට්‍රෝ 51, බෙන් ස්ටොක්ස් 18, රවිචන්ද්‍රන් අෂ්වින් 55/6, රවින්ද්‍ර ජදේජා 63/2)

 

- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>