එංගලන්තය පරාජයේ දොරටුව අභියස

ඉන්දීය කණඩායමට එරෙහිව මුම්බායිහිදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (11 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් ලබා අසීරු තත්ත්වයකට සිටියේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ඉනිමක පරාජයකින් ගැලවීම සඳහා ලකුණු 49 ක් රැස්කළ යුතු අතර ඒ සඳහා ඔවුන් සතුව ඇත්තේ තවත් කඩුලු 4 ක් පමණි. දිනය නිමා වන විට පන්දුවට පහරදෙමින් සිටි ජොනී බෙයාර්ස්ට්‍රෝ ලකුණු 50 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.  

ලකුණු 231 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් කේටන් ජෙනින්ස් පිටියෙන් ඉවත් කිරීමට බුවනේෂ්වර් කුමාර් සමත් විය. මුහුණදුන් පළමු පන්දුවේදීම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ජෙනින්ස්ට ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම ආපසු ක්‍රීඩාගාරය වෙත යෑමට සිදුවිය.

නායක ඇලිස්ටෙයාර් කුක්ටද වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර හතරේ පහර 3 ක් සමගින් ලකුණු 18 ක් ලබා සිටියදී ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමට රවින්ද්‍ර ජදේජා සමත් විය.

සිව්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මුයින් අලීටද ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූ අතර රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ මුරලි විජේ අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට අලී මුහුණදී සිටියේ පන්දු 3 කට පමණි.

එතැන් සිට ජොනී බෙයාර්ස්ට්‍රෝ (නොදැවී 50) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජෝ රූට් (77)  එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීය. ජෝ රූට් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමට ජයන්ත් යාදව් සමත් වීමත් සමග රූට් සහ බෙයාර්ස්ට්‍රෝ අතර ඇතිව තිබූ සම්බන්ධතාව බිඳ වැටිණ. ජෝ රූට්ගේ අර්ධ ශතකය හතරේ පහර 11 කින් සමන්විත වූ අතර ජොනී බෙයාර්ස්ට්‍රෝගේ අර්ධ ශතකය හතරේ පහර 2 කින් සමන්විත විය.

බෙන් ස්ටොක්ස්ක්ගේ ඉනිම ලකුණු 18 කට සීමා කළ රවිචන්ද්‍රන් අෂ්වින්, ඉන් නොනැවතී රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි ජේක් බෝල්වද ලකුණු 02 කට දවාගනිමින් දිනය නිමා වන විට ඉන්දීය කණ්ඩායම අසීරු තත්ත්වයකට ඇද දැමුවේය. අෂ්වින්ගේ පන්දු හමුවේ මුරලි විජේ අතට උඩ පන්දුවක් දෙමින් බෙන් ස්ටොක්ස් දැවීගිය අතර කඩුලු රකින ක්‍රීඩක පාර්තිව් පතෙල් අතට උඩ පන්දුවක් දෙමින් ජේක් බෝල් දැවී ගියේය.

තෙවැනි දිනය සඳහා ඊයේ (10 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 451 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 180 ක් එක්කර ගැනීමට සමත් විය. එහිදී 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 241 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගූ වූ විරාට් කෝලි (235) සහ ජයන්ත් යාදව් (104) ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගෙනයෑමට දායක වූහ.

අද දිනයේදී සිය ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව මෙන්ම තෙවැනි ද්විත්ව ශතකයද ලබාගත් කෝලි, එය හයේ පහරකින් සහ හතරේ පහර 25 කින් අලංකාර කළේය. ක්‍රිස් වෝස්ක්ගේ පන්දුවක් හමුවේ ජෙම්ස් ඇන්ඩසන් අතට උඩ පන්දුවක් දෙමින් ඉන්දීය ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස කෝලි දැවී ගියේය. කෝලි මේ වන විට ලබාගෙන ඇති ද්විත්ව ශතක 3 ම මෙම වසරේදී (2016) ලබාගත් ඒවා වීමද සුවිශේෂී සිදුවීමකි.

සහභාගි වූ දෙවැනි ටෙස්ට් තරගයේදීම සිය මංගල ශතකය ලබාගැනීමට ජයන්ත් යාදව් සමත් වූ අතර ආදිල් රෂීඞ්ගේ පන්දුවක් හමුවේ ජොනී බෙයාර්ස්ට්‍රෝගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් දැවී යන විට යාදව්ගේ ශතකයට හතරේ පහර 15 ක් ඇතුළත් වී තිබිණ.  


එංගලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 400
(ඇලිස්ටෙයාර් කුක් 46, කේටන් ජෙනින්ස් 112, ජෝ රූට් 21, මුයින් අලී 50, බෙන් ස්ටොක්ස් 31, ජොස් බට්ලර් 76, ජේක් බෝල් 31, රවිචන්ද්‍රන් අෂ්වින් 112/6, රවින්ද්‍ර ජදේජා 109/4)

ඉන්දීය පළමු ඉනිම – සියලු දෙනා දැවී 631
(ලෝකේෂ් රාහුල් 24, මුරලි විජේ 136, චෙතේෂ්වර් පුජාරා 47, විරාට් කෝලි 235, රවින්ද්‍ර ජදේජා 25, ජයන්ත් යාදව් 104, ආදිල් රෂීඞ් 192/4 ජෝ රූට් 31/2, මුයින් අලී 174/2)

එංගලන්ත දෙවැනි ඉනිම – කඩුලු 6 ක් දැවී 182
(ඇලිස්ටෙයාර් කුක් 18, ජෝ රූට් 77, ජොනී බෙයාස්ට්‍රෝ නොදැවී 50, රවිචන්ද්‍රන් අෂ්වින් 49/2, රවින්ද්‍ර ජදේජා 58/2)


- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>