කෝලිගේ ශතකයෙන් ඉන්දියාව ඉදිරියට

සංචාරක එංගලන්ත කණඩායමට එරෙහිව මුම්බායිහිදී වැන්කඬේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (10 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 451 ක් ලබා සිටියේය.

ඒ අනුව ඔවුන් තවත් කඩුලු 3 ක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 51 ක් ඉදිරියෙන් සිටින අතර දිනය නිමා වන විට විරාට් කෝලි ලකුණු 147 ක්ද, ජයන්ත් යාදව් ලකුණු 30 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මෙම තරගාවලියේදී ටෙස්ට් තරග 4 කදී විරාට් කෝලි මෙතෙක් ලබාගත් ලකුණු සංඛ්‍යාව 552 කි. මීට පෙර ටෙස්ට් තරගාවලියකදී වැඩිම ලකුණු ලබාගත පිතිකරුවා වී සිටියේ සුනිල් ගවස්කාර්ය. සුනිල් ගවස්කාර් 1978-79 තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කැරීබියන් දූපත් සමූහයේදී ලකුණු 732 ක් ලබාගත් අතර 1981-82 තරගවාරයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 500 ක් ලබාගත්තේය.

අද දිනයේදී තමාගේ 15 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට නායක විරාට් කෝලි සමත් වූ අතර ඊට හතරේ පහර 17 ක් ඇතුළත් විය. යාදව්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. මේ වන විට ඔවුන් දෙදෙනා එක්ව අටවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා ඇති නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 87 කි. ඊයේ (8 වැනිදා) දිනය නිමාවන විට කඩුල්ලක් දැවී ලකුණු 146 ක් ලබා සිටි ඉන්දීය කණඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 305 ක් එක්කර ගත්තේය.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 47 ක් ලබා සිටි චෙටේෂ්වර් පුජාරා පිටියෙන් ඉවත් කිරීමට ජේක් බෝල් සමත් වූ අතර අර්ධ ශතකය පෙනි පෙනී දැවීයන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබිණ.

අද දිනයේදී සිය ටෙස්ට් දිවියේ 8 වැනි ටෙස්ට් ශතකය ලබාගත් මුරලි විජේ එය හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් සැරසීය. පුජාරාගේ දැවීයාමෙන් අනතුරුව විරාට් කෝලි සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මුරලි විජේ සමත් විය. මුලු ලකුණු සංඛ්‍යාව 262 ක් වන විට තෙවැනි කඩුල්ල ලෙස මුරලි විජේ පිටියෙන් ඉවත් කිරීමට ආදිල් රෂීඞ් සමත් වූයේ ඔහුගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබාගනිමිනි.

ඉන් පසුව පිටියට පිවිසි කරුන් නායර්ටද වැඩි වේලාවක් පිටියේ රැදීසිටීමට ඉඩ ලබානොදුන් මුයින් අලී, කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමින් ලකුණු 13 ක් ලබා සිටියදී ඔහුව ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීය.

පිට පිට යවන ලද ඕවර 2 කදී පාර්තිව් පතෙල්ගේ ඉනිම ලකුණු 15 කට සීමා කිරීමට සහ රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට ජෝ රූට් සමත් විය. රූට්ගේ පන්දු හමුවේ කඩුලු රකින ක්‍රීඩක ජෙනී බෙයාස්ට්‍රෝ අතට උඩ පන්දුවක් දෙමින් පතෙල් දැවීගිය අතර කීටන් ජෙනින්ස් අතට උඩ පන්දුවක් දෙමින් අෂ්වින් දැවී ගියේය.

රවින්ද්‍ර ජදේජා (25) සහ විරාට් කෝලි අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණ සම්බන්ධතාව ලකුණු 57 කට සීමා කිරීමට ආදිල් රෂීඞ් සමත් විය. ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් දිනයේ අවසන් කඩුල්ල ලෙස දැවීයන විට ජදේජාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.


එංගලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 400
(ඇලිස්ටෙයාර් කුක් 46, කේටන් ජෙනින්ස් 112, ජෝ රූට් 21, මුයින් අලී 50, බෙන් ස්ටොක්ස් 31, ජොස් බට්ලර් 76, ජේක් බෝල් 31, රවිචන්ද්‍රන් අෂ්වින් 112/6, රවින්ද්‍ර ජදේජා 109/4)

ඉන්දීය පළමු ඉනිම – කඩුලු 7 ක් දැවී 451
(ලෝකේෂ් රාහුල් 24, මුරලි විජේ 136, චෙතේෂ්වර් පුජාරා 47, විරාට් කෝලි නොදැවී 147, රවින්ද්‍ර ජදේජා 25, ජයන්ත් යාදව් නොදැවී 30, ජෝ රූට් 18/2, මුයින් අලී 139/2, ආදිල් රෂීඞ් 152/2)

 
- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>