පළමු දිනයට වැස්සෙන් බාධා

නවසීලන්තය සහ පකිස්තානය අතර හැමිල්ටන් හිදී ආරම්භවූ දෙවැනි තරගයේ පළමු දිනයවූ අද (25 වැනිදා) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 77 ක් රැස්කිරීමට සමත්වීය.


ජීත් රාවල් සමගින් එක්ව රොස් ටේලර් තෙවැනි කඩුල්ල සදහා සම්බන්ධතාවයක් ගොඩනගමින් සිටිනවිට වර්ෂාවෙන් බාධා ඇතිවී තරගය පළමු දිනට නිමාකිරීමට සිදුවිය.


කේන් විලියම්සන්ගේ උඩපන්දුවක් අතහැරීම නිසා කඩුල්ලේ රැදී සිටීම වාසනාව හිමිවුවද එයින් නිසි ප්‍රයෝජන ගැනීමට අපොහොසත්වූ නවසීලන්ත නායකයා සොහෙල් ඛාන්ගේ පන්දුවකට කඩුලු රකින සර්ෆ්‍රාස් අහමඞ් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 13 කට දැවී ගියේය. තරගයේ යවන පද පස්වැනි ඕවරයේ අවසන් පන්දුවේදී පන්දුයැවූ මොහොමඞ් අමීර් අතටම කේන් විලියම්සන් දුන් උඩපන්දුව වමත් පන්දු යවන්නාට රැකගත නොහැකි විය.


මොහොමඞ් අමීර් යවනලද පළමු ඕවරයේදීම නවසීලන්ත පිතිකරුවන්ට පීඩනයක් එල්ල කළ අතර තෙවැනි පන්දුවේදී ජීත් රාවල් දුන් උඩපන්දුව පළමු ස්ලිප්හී පන්දු රකිමින් සිටි සාමී අස්ලම් විසින් අතහරින ලදී. නැවතත් එම ඕවරයේ අවසන් පන්දුවේදී පළමු ස්ලිප්හී පන්දු රකිමින් සිටි සාමී අස්ලම්ට දුන් උඩපන්දුව රැකගැනීමත් සමගින් නවසීලන්ත පිලේ පළමු කඩුල්ල ලකුණු පහකදී බිඳවැටුණේය.


පාකිස්තාන ටෙස්ට් පිලේ නායක මිස්බා උල් හක් සිය මාමණ්ඩියගේ අභාවය හේතුවෙන් මව්රට බලායෑම නිසා උපනායක අසාර් අලීට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිවිය. පාකිස්තාන පිලේ නායකත්වයට පත්වූ 31 වැනියා වශයෙන් අසාර් අලී වාර්තා පොත් අතරට එක්වූයේය.


අයහපත් කාලගුණ තත්වය හේතුවෙත් කාසියේ වාසිය උරගා බැලීමද ප්‍රමාදවූ නමුත් නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට විනිසුරුවරුන්ට හැකිවිණ. කාසියේ වාසිය දිනගත් පාකිස්තාන පිලේ නායක අසාර් අලී පළමුව පන්දුවට පහරදීම සදහා නවසීලන්ත පිලට ආරාධනා කළේය.

 

නවසීලන්තය – පළමු ඉනිම – ඕවර 21 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 77
(ජීත් රාවල් නොදැවී 35, රොස් ටේලර් නොදැවී 29)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>