ස්ටාක් ඕස්ට්‍රේලියාවේ නම රැකගනී

කටමැත දෙඩීමට මෙන්ම වැඩටත් දක්‍ෂයකු වන මිචෙල් ස්ටාක්ගේ සටන්කාමී පන්දු යැවීම නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව හොබාර්ට්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී යන්තම් හිස් ඔසවාගැනීමට ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ. තරගයේ පළමුවැනි දිනය වන අද (12 වැනිදා) තේ පානයට පසුව පන්දු 10 ක් ඇතුළතදී කඩුලු 3 ක් බිම දැමූ මිචෙල් ස්ටාක්ගේ පන්දු යැවීම නිසා සංචාරකයන්ගේ මුල් කඩුලු තුනම ලකුණු 46 කට ඇද වැටුණද දිනය අවසන් වන විට දකුණු අප්‍රිකානු පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලු 5 ක් දැවී 171 ක් දක්වා ඉහළ දැමීමට ටෙම්බා බවුමා සහ ක්වින්ටින් ඩි කොක් සමත් වූහ.

බවුමා ලකුණු 38 ක් ලබා නොදැවී සිටි අතර ක්වින්ටින් ඩි කොක් නොදැවී ලකුණු 28 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම තෝරාගත් දකුණු අප්‍රිකානුවන් විසින් සත්කාරක ඕස්ට්‍රේලියානුවන්ගේ පළමු ඉනිම ලකුණු 85 කට සීමාකර තිබූ හෙයින් දිනය අවසන් වන විට සංචාරකයෝ ලකුණු 86 ක වාසියක් ලබා සිටියහ.

සත්කාරකයන්ගේ ඉනිම ඕවර 32.5 කදී අවසන් වූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව මවුබිමෙදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා පොතට එක්කරමිනි. තස්මේනියාවේ පැවැති මන්දාරම් අහස යට අද දිනය තුළදී ලකුණු 256 කට කඩුලු 15 ක් බිඳ වැටිණ.

ආරම්භයේ සිටම දකුණු අප්‍රිකානුවන්ට තරගයේ වාසිය අත්කර දුන් වර්නන් පිලැන්ඩර්  ලකුණු 21 කට කඩුලු 5 ක් දවාගනිද්දී ඔහුට කදිම සහයෝගයක් දුන් කයිල් ඇබට් ලකුණු 41 කට කඩුලු 3 ක් දවාගත්තේ ඕස්ට්‍රේලියානු පිලේ 8 වැනි කඩුල්ලත් ලකුණු 66 දී බිම දමමිනි. කවදත් ධෛර්වන්තයකු වන ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් පසුපෙළ පිතිකරුවන් සමග ඉදිරියට යමින් නොදැවී ලකුණු 48 ක් ලබාගත් නමුත් ඔහුට අර්ධ ශතකය කරා යාමට තරම් පිතිකරුවෝ ඉතිරි වී නොසිටියහ.

මෑත කාලයේදී ඕස්ටේ්‍රලියානු පිතිකරුවන් අසාර්ථක වූයේ වරක් දෙවරක් නොවේ. ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින් පරාජය වූ ඕස්ට්‍රේලියානුවෝ 2011 දී කේප් ටවුන්හිදී පැවැති තරගයකදී 47 කට දැවී ගිය අතර පසුගිය වසරේදී අළු බඳුන තරගාවලියේ ටේ‍රන්ට්බි්‍රජ්හිදී පැවැති තරගයකදී ලකුණු 60 කට දැවී ගියහ. දකුණු අප්‍රිකානුවන් සමග පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය පර්ත් නුවරදී පැවැති අතර එහිදීත් ඕස්ට්‍රේලියානුවන්ට හිමිවූයේ ලකුණු 177 ක දැවැන්ත පරාජයකි.


ඕස්ට්‍රේලියාව- පළමු ඉනිම 85 යි
(ස්ටීවන් ස්මිත් නොදැවී 48 යි, ජෝ මෙනී 10, වර්නන් පිලැන්ඩර් 21/5, කයිල් ඇබට් 41/3)

දකුණු අප්‍රිකාව – කඩුලු 5 ට 171 යි
(ස්ටීවන් කුක් 23, ඩීන් එල්ගා 17, හසිම් අම්ලා 47, ටෙම්බා බවුමා නොදැවී 38, ක්වින්ටින් ඩි කොක් නොදැවී 28)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>