කොදෙව්වන්ට සැනසුම් සුසුමක්

පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර සාජා ක්‍රීකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ට ජයක් අත්කර ගනිමින් සැනසුම් සුසුම් හෙළීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (03 වැනිදා) සමත්විය. තෙවැනි තරගය පරාජයට පත්වුවද තරගාවලිය 2–1 ක් ලෙස ජයගැනීමට පාකිස්තානය සමත්විය.


තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ ක්‍රීඩාව නතර කරනවිට කඩුලු 5 ක් දැවී ලකුණු 114 ක් රැස්කරගෙන සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරගය ජයගැනීම සදහා තවත් ලකුණු 39 ක් අවශ්‍ය විය. අද උදෑසන තරගය ආරම්භවී ඕවර 7.5 කදී ඉලක්කය සපුරා ගැනීමට ක්‍රෙග් බ්‍රැත්වේට් සහ ෂේන් ඩවුරිච් සමත්වූහ.


ලකුණු 67 කට කඩුලු 5 ක් දැවී අසීරු තත්වයක සිටි කොදෙව් පිල ජයග්‍රහණය දක්වා රැගෙනගිය ක්‍රෙග් බ්‍රැත්වේට් සහ ෂේන් ඩවුරිච් හයවැනි කඩුල්ල සදහා ලකුණු 87 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත් වූහ.


පළමු ඉනිමේදී නොදැවී ශතකයක් (142) ලබාගත් ක්‍රෙග් බ්‍රැත්වේට් දෙවැනි ඉනිමේදීද නොදැවී අර්ධ ශතකයක් (60) ලබාගත්තේය. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක පිතිකරුවකු ඉනිම දෙකෙහිදීම නොදැවී ඉනිම අවසන් වනතුරු රැදී සිටි පළමු ක්‍රීඩකයා වෙමින් නව ලෝක වාර්තාවක් පිහිටූවීමට ක්‍රෙග් බ්‍රැත්වේට් සමත්විය.


ක්‍රෙග් බ්‍රැත්වේට්ට අනගි සහයක් ලබාදුන් ෂේන් ඩවුරිච් තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් නොදැවී අර්ධ ශතකයක් (60) රැස්කිරීමට සමත්වූයේය.


2000 වසරෙන් පසුව තම රටෙන් පිටතදී ටෙස්ට් තරග 76 කට ක්‍රීඩා කර ඇති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග 56 ක් පරාජයට පත්වී ඇති අතර තරග 3 ක් පමණක් ජයගැනීමට සමත්වී ඇත. බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ පාකිස්තානයට එරෙහිව එම ජයග්‍රහණ වාර්තා වී තිබේ.


බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් තරග 12 කට නායකත්වයදී ඇති අතර ජයගත් පළමු තරගය ලෙස මෙම තරගය වාර්තා විය.


තරගයේ වීරයා සම්මානය කොදෙව් පිලේ ක්‍රෙග් බ්‍රැත්වේට්ට හිමිවූ අතර තරගාවලියේ වීරයාට හිමි සම්මානය කඩුලු 21 ක් දවාගත් පාකිස්තාන් පිලේ යසීර් ෂා විසින් හිමිකර ගන්නා ලදී.


පාකිස්තානය පළමු ඉනිම – සියලූදෙනා දැවී ලකුණු 281 යි.

කොදෙව් පිල පළමු ඉනිම – සියලූදෙනා දැවී ලකුණු 337 යි.

පාකිස්තානය දෙවැනි ඉනිම – සියලූදෙනා දැවී ලකුණු 208යි

කොදෙව් පිල දෙවැනි ඉනිම – කඩුලූ 5 ක් දැවී ලකුණු 154 යි
(ක්‍රෙග් බ්‍රැත්වේට් නොදැවි 60, ශේන් ඩවුරිච් නොදැවී 60, යසීර් ෂා 40/3, වහාබ් රියාස් 46/2)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>