බ්‍රැත්වෙයිට් කොදෙව් සටනට පණපොවයි

ක්‍රෙග් බ්‍රැත්වේට්ගේ ධෛර්යවත් ක්‍රීඩා විලාසය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත් වන විට පාකිස්තානුවන්ගේ නළළත රැළි නැංවීමට කොදෙව්වෝ සමත් වූහ. පාකිස්තානු පිල මුල් ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 281 ක් වූවත් දෙවැනි දින ක්‍රීඩාව නතර කරන විට කොදෙව් පිල කඩුලු 6 ක් දැවී ලකුණු 244 ක්  ලබා සිටියේය.


තවමත් 24 හැවිරිදි කොදෙව් ආරම්භක පිතිකරුවා සිය පස්වැනි ටෙස්ට් ශතකය පෙනෙන තෙක් මානයට සේන්දු වීමට ද සමත්විය.


එක් අන්තයකින් පිතිකරුවන් දඩයම් කිරීමට පටන් ගත් පාකිස්තානු පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් වූ බ්‍රැත්වේට් අනික් අන්තයෙන් සිය කඩුල්ල රැක ගනිමින් නිරත වූ අගනා ඉනිම කාගෙත් පැසසුමට ලක්වූ එකකි.


පෙරේදා දිනය නිමාවනවිට කඩුලු 8 ක් දැවී ලකුණු 255ක් ලබා සිටි පාකිස්තානු ඉනිම ඊයේ උදෑසන ඕවර 7 ක් ඇතුළත නිමාවට පත් කිරීමට කොදෙව්වෝ සමත් වූහ.


කොදෙව් පිතිකරුවන් සිවුදෙනකුම ලකුණු 68 ක් තුල ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට පාකිස්තානුවන් සමත්වූවත් අංක 6 න් පිටියට පැමිණි රොස්ටන් චේස් සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 83 ක සැනසිලිදායක සම්බන්ධතාවක් ගොඩනැගීමට බ්‍රැත්වේට් සමත්විය. ඔහුට අගනා සහයක් දුන් චේස් ඉතා නිර්භිතව පාකිස්තානු පන්දු යවන්නන්ට මුහුණදුන් අතර මොහොමඞ් ආමීර්ගේ පන්දුවක් හමුවේ දැවීයද්දී සිය අර්ධ ශතකය සම්පූර්ණ කොට තිබිණි.


කඩුලු රකින පිතිකරු ශේන් ඩවුරිච් හා එක්ව 6 වැනි කඩුල්ලටත් ලකුණු 83 ක් එක් කරමින් මුලු ලකුණු සංඛ්‍යාව 234 දක්වා ඉහළ දැමුවේය. ඊට පන්දු ඕවර 4 කට පසුව දිනය හමාර වනවිට නායක ජේසන් හෝල්ඩර් හා එක්වෙමින් ඉනිම නැවතත් පිළිසකර කිරීමේ රාජකාරියට උරදෙමින් සිටියේය.


දෙවැනි දින ක්‍රීඩාව නතර කරන විට කොදෙව්වන් පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 37 කින් පසුපසින් සිටියද පාකිස්තානයට අභියෝග කළ හැකි ඉනිමක් කරා යාමට තවත් කඩුලු 4ක් ඔවුන් සතුව තිබිණ.


පාකිස්තානය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 281යි.
(සමි අස්ලම් 74, යූනිස් ඛාන් 51, මිස්බා උල් හක් 53, සර්ෆ්‍රාස් අහමඞ් 51, ෂැනොන් ගේබි්‍රයල් 67/3, දේවේන්ද්‍ර බිෂූ 77/4)


කොදෙව් පිල පළමු ඉනිම – කඩුලු 6ක් දැවී ලකුණු 244යි.
(ක්‍රෙග් බ්‍රැත්වේට් නොදැවී 95, රොස්ටන් චේස් 50, ශේන් ඩවුරිච් 47, මොහොමඞ් ආමීර් 44/2, වහාබ් රියාස් 65/2, යසිර් ෂා 56/1, සුල්ෆිකාර් බාබර් 45/1)

 

-077

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>