පාකිස්තානුවෝ තවත් ජයකට මාවත සරසති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේ තණතීරුව පන්දු යවන්නන්ට කොහෙත්ම බුරුලක් නොපෙන්වූවත් හදිසි ආක්‍රමණයකින් මුල්පෙළ පිතිකරුවන් සිවුදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ පාකිස්තානු ක්‍රීඩකයෝ බටහිර ඉන්දීය කොදෙව් පිල ඇදගෙන යමින් සිටිති.


කඩුලු 2 ක් පමණක් බිඳ වැටී ලකුණු 227 ක් ලබා පළමු ඉනිමේ වාසියත් සමගින් ලකුණු 456 ක අසීරු ඉලක්කයක් සංචාරකයන්ට දුන් සත්කාරකයෝ දැන් කුරුමානම් අල්ලමින් සිටින්නේ තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගමාලාවේ ජය 2–0 ක් ලෙසින් වේලාසනින්ම අත්පත් කර ගැනීමටය.


ඊයේ උදෑසන සිටම ශෙයික් සයිඞ් තණතීරුවේ සැඟවී තිබූ ලකුණු මල්ල එළියට ඇද ගත් අසාර් අලී සහ අසාඞ් ශෆීක් දෙවැනි කඩුල්ලට ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහ. අසාර්ගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි නායක මිස්බා උල් හක් තරගයේ ප්‍රතිඵලයක් දැක බලා ගැනීමට ඇති තරම් කාලය ඉතිරි කරගනිමින් ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ශෆීක් සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 63 ක නොබිඳුණු සම්බන්ධතාවක් ද ගොඩ නැගීමෙන් පසුවය.


දිවා ආහාරයෙන් පසුව ඉනිම ආරම්භ කළ කොදෙව් පිලේ ආරම්භක පිතිකරු ක්‍රෙග් බ්‍රැත්වේට් සටන්කාමී අර්ධ ශතකයක් රැස් කිරිමට සමත්වූවත් දිනය හමාර වීමට පෙර ඔහු දවාලමින් කොදෙව් පිලට නොසිතූ පීඩනයක් ගෙනදීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත්වූහ. ඉතා විශ්වාසනීය අයුරින් පිත්ත හැසිර වූ බ්‍රැත්වේට් අලංකාර ඩ්‍රයිව් පහරවලින් මෙන්ම පන්දුව තල්ලු කර හරිමින්ද සත්කාරක පන්දු යවන්නන්ගේ ඉවසීම පරික්ෂා කර බැලුවේය.


ඔහු යසිර් ෂාට, මොහොමඞ් නවාස්ට සහ සුල්ෆිකාර් බාබර්ට මුහුණදුන් ආකාරය කොදෙව් කඳවුරේ විශ්වාසය ඉහළ දැමීමට තරම් සමත්වූ එකක් විය. එහෙත් පාකිස්තානු පිලේ එකිනෙකට වෙනස් ආකාරයේ පන්දු යැවීමේ අභියෝගය හමුවේ එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙද්දී බ්‍රැත්වේට් කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයකට ඇද වැටිණි.


කෙසේ වෙතත් තරගය ජයගැනීමට නම් පාකිස්තානු පිලට අවසන් දිනයේදී අවශ්‍ය වන්නේ කඩුලු 6 ක් පමණි. ඒ සඳහා ඕවර 90 ක් ඉතිරිව තිබේ. කොදෙව් පිල තරගය ජයගැනීමට නම් ඉතිරි කඩුලු 6 ත් පරෙස්සම් කරගනිමින් තවත් ලකුණු 285 ක් ලබාගත යුතුය. එය සුළුපටු අභියෝගයක් නොවේ.


පාකිස්තානය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 452 යි.

කොදෙව් පිල පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 224 යි.

පාකිස්තානය දෙවැනි ඉනිම – කඩුලු 2ක් දැවී ලකුණු 227 යි.
(සැමි අස්ලම් 50, අසාර් අලී 79, අසාඞ් ශෆීක් නොදැවි 58, මිස්බා උල් හක් නොදැවී 29, ෂැනොන් ගේබි්‍රයල් 36/1, මිගේල් කමින්ස් 26/1)

කොදෙව් පිල දෙවැනි ඉනිම – කඩුලු 4 ක් දැවී ලකුණු 171 යි
ක්‍රෙග් බ්‍රැත්වේට් 67, මාලන් සැමුවෙල්ස් 23, ජර්මේන් බ්ලැක්වුඞ් නොදැවී 41, රහත් අලි 40/1, යසීර් ෂා 60/2, මොහොමඞ් නවාස් 14/1)
    
-077

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>