පාකිස්තානුවෝ ලකුණු 342 ක් ඉදිරියෙන්

ලකුණු ගලා ඒම බෙහෙවින් මන්දගාමී වූවත් පිත්ත සහ පන්දුව අතර කදිම පොරයක් නිර්මාණය කළ පාකිස්තානු – බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය පුරා දෙපිලටම රැස් කිරීමට හැකිවූයේ ලකුණු 232 ක් පමණි. ඒ අතරතුර කාලයේ දෙපාර්ශවයෙන්ම කඩුලු 5 කුත් බිඳ වැටිණි.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ශේක් සයිඞ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයත් ජයගැනීම සඳහා කොදෙව්වන්ට ඉලක්කයක් දීමේ අරමුණ ඇතිව පිති අතට ගත් පාකිස්තානුවෝ තුන්වැනි දිනය නිමා වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 114 ක් ලබා සිටියහ.

ඊයේ උදෑසන සිටම පාකිස්තානු පන්දු යවන්නන්ගේ විවිධාකාර පන්දු හමුවේ දුෂ්කරතා රැසකට මුහුණ දුන් කොදෙව් ක්‍රීඩකයෝ දිවා ආහාරය වෙද්දී කඩුලු 6 කට ලකුණු 151 ක් ලබා සිටියත් ඕවර 80 න් පසුව නව පන්දුව ලබාගත් පාකිස්තානුවන් තවත් ඕවර 14 කදී කොදෙව්වන්ගේ ඉතිරි කඩුලු 4 ම බිඳ දැමුවේ ලකුණු 75 ක් ඇතුළතදීය.

පාකිස්තානුවන්ගේ පන්දු යැවීමේ ගුණදොස් විවරණයක යෙදෙන්නට සිදුවූ කොදෙව් පිලට හරහට හිටියේ සොහේල් ඛාන්, යසීර් ෂා සහ රහත් අලීය. මේ තිදෙනා එක්ව කොදෙව්වන් සිරකොට තැබුවා පමණක් නොව ඔවුන් අතර කඩුලු 9 ක් ද බෙදා ගත්හ. ඉන් හතරක්ම අත්පත්කරගනු ලැබුවේ යසීර් ෂා විසිනි.

කඩුලු අතර සම්බන්ධතා ඇති කරගැනීමට ප්‍රතිවාදීන්ට කිසිදු අවස්ථාවක් නොදුන් පාකිස්තානුවන් එවැනි උත්සාහයක් දැරූ සෑම අවස්ථාවකදීම ආපසු ක්‍රීඩාගාරයට යන්නට පිතිකරුවකුට සිදුවිය.

තේ පානයට පෙර සිය දෙවැනි ඉනිම ආරම්භ කළ පාකිස්තානුවන් දිනය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී පළමු කඩුල්ල බිඳ දමා ගත්තේ නිරපරාදේය. ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අර්ධ ශතක රැස් කිරීමට සමත්වූ අතර පළමු කඩුල්ලට ලකූණු 93 ක් ද එකතු කළහ. දවසේ තුන්වැනි භාගය වෙද්දී තණතීරුව ඉතාමත් මන්දගාමී වූ අතර ලකුණු රැස් කිරීමට අසාර් අලීටත්, සමි අස්ලාම්ටත් සෑහෙන සටනක් දීමට සිදුවී තිබිණි.

අර්ධ ශතකය රැස් කිරිමෙන් පසුව ෂැනොන් ගේබි්‍රයල්ගේ පන්දුවක් හමුවේ සමී අස්ලාම් දැවීයාමෙන් පසුව අසාර් අලී ද සිය අර්ධ ශතකය රැස් කිරීමට සමත්වූ අතර  නොදැවී කඩුල්ල රැකගැනීමටත් සමත්විය. යූනිස් ඛාන් වෙනුවට අංක 3 න් ඊයේ පිටියට ආවේ අසාඞ් ශෆීක්ය.

ඉරිදා තේ පානයට පෙර පන්දුවෙන් දස්කම් පෑ පාකිස්තානුවෝ දිනයේ අවසන් භාගයේ දී පිත්තෙන් ද ඉහළ දස්කම් පෙන්වීමට සමත් වූහ. දිනය නිමා වන විට පාකිස්තානුවන් තවත් කඩුලු 9 ක්ම අතැතිව ලකුණු 342 ක්ම ඉදිරියෙන් පසුවෙති.


පාකිස්තානය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 452 යි.
(අසාඞ් ශෆීක් 68, යූනිස් ඛාන් 127, මිස්බා උල් හක් 96, සර්ෆ්‍රාස් අහමඞ් 56, මොහොමඞ් නවාස් 25, සොහේල් ඛාන් 26, ෂැනොන් ගේබි්‍රයල් 96/5, ජේසන් හෝල්ඩර් 47/3)

කොදෙව් පිල පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 224 යි.
(ඩැරන් බ්‍රාවෝ 43, මාලන් සැමුවෙල්ස් 30, ජේසන් හෝල්ඩර් නොදැවී 31, රහත් අලී 45/3, සොහේල් ඛාන් 35/2, යසීර් ෂා 86/4)

පාකිස්තානය දෙවැනි ඉනිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 114 යි.
(සමි අස්ලම් 50, අසාර් අලී නොදැවි 52, ෂැනොන් ගේබි්‍රයල් 21/1)


- 077

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>