ඕස්ට්‍රේලියානුවන් අගාධය අබියස

ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 5 ක එක්දින තරගාවලියක් එහෙම පිටින්ම ජයගන්නා පළමු කණ්ඩායම ලෙස ඉතිහාස ගතවීමට කුරුමානම් අල්ලන දකුණු අප්‍රිකාව අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00 ට කේප් ටවුන් හී නිව්ලෑන්ඞ්ස් ක්‍රීඩාංගණයේ දී ඇරැඹෙන පස්වැනි හා අවසන් එක්දින තරගයට සිය ශක්තිමත්ම කණ්ඩායම යොදවන බව නායක ෆෆ් ඩු ප්ලෙසිස් ඊයේ කීවේය.

දැනටමත් තරග 4-0 කින් එක්දින තරගාවලිය ජයගෙන සිටින සත්කාරක දකුණු අප්‍රිකාව සිය පිතිහරඹ අංශයේ ශක්තිමත් බව වැඩිකිරීම සඳහා ටෙම්බා බවුමා ද කැඳවාගෙන සිටී. ආරම්භක පිතිකරු රිලී රුසෝව් (ඇඟිල්ලක ආබාධයක්), ෆර්හාන් බෙහාර්ඩීන් (කලවේ නහරයක ආබාධයක්) සහ ඬේවිඞ් මිලර් (කටී පෙදෙසේ ආබාධයක්) ආබාධ වළාකුළකට වැසී සිටියත් මේ තිදෙනාම ඊයේ පැවැති ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වූහ.

“හැමෝම ශක්තිමත්ව සිටිනවා. ඒක තමා වැදගත්ම දේ…” ඩු ප්ලෙසිස් එසේ කීවේ ඊයේ නිව්ලෑන්ඞ්ස් පිටියේ පුහුණුවීම් අතරතුර දීය.

“අපේ ශක්තිමත්ම කණ්ඩායම ක්‍රීඩා කරවීමට ආපහු අවස්ථාවක් ලැබී තිබෙනවා. කයිල් (ඇබට්) කළින් තරගයේ දී හිතපු නැති විදිහට දස්කම් දැක්වුවා. ඒ වගේ හාදයෙක් එළියට දාන්නත් බෑ. ඇරත් හැමෝම වගේ යෝග්‍යතා පරීක්‍ෂණයෙන් සමත්වෙලයි ඉන්නේ. වැඩි හොඳට ටෙම්බාවත් ගෙනල්ලයි තියෙන්නේ. ඒ කියන්නේ තේරීම් කමිටුව එයා ගැනත් හිතලා තියෙනවා. මිනිහා අයර්ලන්තයට එරෙහිව හොඳ ශතකයක් ලබාගත්තා” යයි ඩු ප්ලෙසිස් කීවේය.

සිවුවැනි තරගයට ක්‍රීඩා නොකළ වේගපන්දු තුරුම්පුව ඬේල් ස්ටේන් සහ ඔහුගේ අලුත්ම සගයා වන කගීසෝ රබාඩා අද තරගයට කැඳවා තිබෙන්නේ සංචාරකයන් තවදුරටත් දුර්වල කර දැමීමේ අදිටනිනි.

ඕනෑවට වඩා ඉහළින් සිතාගෙන සිටි දුර්වල පන්දු යැවීමේ බලඈණියක් සමග පළමුවතාවට දකුණු අප්‍රිකාවට ගොඩ බට ඕස්ටේ්‍රලියානුවන් එහි පලවිපාක හොඳ හැටි භුක්ති විඳිමින් සිටී. ඕස්ටේ්‍රලියානු නායක ස්ටීවන් ස්මිත්ගේ දැන් කල්පනාව වී ඇත්තේ තරග 5-0 වේ සුද්දයෙන් ගැලවෙන පොටක් පාදා ගැනීමටය. එහෙත් ඔහුට එහා මෙහා ඇදීමට සිටින්නේ පළමු තරගයේ සිටම දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගෙන් හොඳ හැටි බැට කෑ තරුණ වේගපන්දු යවන්නන් කිහිපදෙනා පමණි.

ඒ අතරවාරයේ ෆෆ් ඩු ප්ලෙසි සමීපවෙමින් සිටින්නේ මීට කලින් කිසිම දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායකයකු ළඟා නොවූ ඉලක්කයක් වෙතය. එය ඕස්ටේ්‍රලියාවේ කීර්තියට කළු පැල්ලමක් එක් කරන වාර්තාවක් වුවත් දකුණු අප්‍රිකානුවන්ට ඉහටත් උඩින් ගිය වාර්තාවකි.

ඕස්ටේ්‍රලියාවට එරෙහිව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියක් එහෙම පිටින්ම සුද්ද කිරීම ලෙහෙසි පහසු වාර්තාවක් වන්නේ නැත. ඇරත් වර්තමානයේ ලෝක එක්දින ශ්‍රේණිගත කිරිම්වල නොම්මර එකේ කණ්ඩායම වන ඕස්ටේ්‍රලියාවට එවැනි පරාජයක් අත්කර දීමත් විස්මිත එකකි.

ටෙස්ට් ශ්‍රේණිගත අංක 1 ස්ථානය හිමිකරගෙන සිටි ඕස්ටේ්‍රලියාව ශ්‍රී ලංකාව හමුවේ 3-0 ට තරගාවලි පරාජයකට මුහුණ දුන්නේය. දැන් එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 1 හිමිකරගෙන සිටිමින්ම දකුණු අප්‍රිකානුවන් හමුවේ 5-0 පරාජයෙන් ගැලවීමට ඕස්ටේ්‍රලියානුවන්ට සිදුවී තිබේ.

“තරගාවලිය පුරාම හැමෝම ක්‍රීඩා කළේ විශ්වාසනීයත්වයෙනුයි”

“එකිනෙකාගේ දස්කම් ගැන හැමෝටම විශ්වාසයක් තිබුණා. ඔවුන් පිටියේ දී පැවැරෙන රාජකාරිය අකුරටම ඉටු කළා. එයාලා දස්කම් දැක්විමට අතිශයින්ම පිපාසයෙන් පෙලෙන බවක් මට දැනෙනවා. ඒක නායකයා හැටියටත් මට ලොකු සහනයක්” යයි ඩු ප්ලෙසිස් කීවේය.


- 077

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>