අශ්වින් නවසීලන්තයට විනාශය ගෙනෙයි


පිතිකරුවන්ගේ භීතිකාව බවට පත්ව සිටින රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දු යැවීම හමුවේ නැවත වරක් අසරණ වූ නවසීලන්ත කණ්ඩායම ලකුණු 299 කට සීමා කළ ඉන්දියානුවෝ ඉන්දෝර්හිදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලකුණු 258 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගත්හ.

තරගයේ තුන්වැනි දිනය වූ අද (10 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 18 ක් ලබා සිටි ඉන්දිය කණ්ඩායම දින දෙකක් ඉතිරිව තිබියදී ලකුණු 276 කින් ඉදිරියට ගොස් සිටියේය.

මුල් ඉනිමේදී ලකුණු 200 ඉක්මවන වාසියක් තිබුණ නමුත් නවසීලන්ත පිතිකරුවන් තවදුරටත් අසරණ කරමින් තරගයේ අවසන් ඉනිමට තල්ලු කර දැමූ ඉන්දීය නායකයා දෙවැනි ඉනිම ආරම්භ කළේය.

ඉන්දීය ඉනිම ආරම්භ කළ ගෞතම් ගම්භීර් උරහිසේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගියේය. පන්දු රැකීමේදී උරහිසේ ආබාධයකට මුහුණ දුන් ගම්භීර් දෙවැනි ඉනිමේදී ලකුණක් කරා දිවයමින් සිටියදී සිය සීමාව සලකුණු කිරීම සඳහා ඉදිරියට පැන්නේය. එහිදී උරහිසේ ආබාධය නැවතත් මතුවූයෙන් පන්දුවට පහර දීම නවතා ආපසු ක්‍රීඩාගාරයට යෑමට ගම්භීර්ට සිදුවිය.

ඉන්දු – නවසීලන්ත තරගාවලියේදී මේ වනවිට කඩුලු 20 ක් දවාගනිමින් පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටින අශ්වින් අදත් ලකුණු 81 කට කඩුලු 6 ක් දවාගත්තේය. එය අශ්වින් විසින් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් 20 වැනි අවස්ථාව විය.

නවසීලන්ත පිල වෙනුවෙන් මාටින් ගප්ටිල් (72) සහ ජේම්ස් නීෂම් (71) තරමක් ධෛර්වත් පිතිහරඹයක නිරත වූ නමුත් සෙසු පිතිකරුවෝ අශ්වින් හමුවේ අසාර්ථක වූහ.

ආරම්භක පිතිකරුවන් වූ ගප්ටිල් සහ ටොම් ලේතම් දෙදෙනාම අර්ධ ශතක ලබාගත් හෙයින් නවසීලන්ත ලකුණු පුවරුව වරෙක කිසිවකු නොදැවී ලකුණු 118 ක් සේ දිස්වූවද ලකුණු 30 ක් ඇතුළතදී කඩුලු 5 ක් බිඳවැටීමෙන් සංචාරකයෝ නොසිතූ අමාරුවක වැටුණහ. එම කඩුලු 5 ම හිමිකරගත් අශ්වින් විසින් මාටින් ගප්ටිල් දුවද්දී දවාගන්නා ලද්දේ පන්දුව කඩුල්ලට දමා ගැසීමෙනි.

ටෙස්ට් තරගාවලියේදී මේ වන විටත් 2-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටින ඉන්දියානුවන්ගේ සූදානම පිට පිට දෙවැනි වතාවටත් නවසීලන්තයට 3-0 ක සුද්දයක් දීමයි.


ඉන්දියාව පළමු ඉනිම – කඩුලු 5 ට 557
(මුරලි විජේ 10, ගෞතම් ගම්භීර් 29, චෙටේස්වාර් පුජාරා 41, විරාට් කෝලි 211, අජින්ක්‍යා රහනේ 188, රෝහිත් ෂර්මා නොදැවී 51, රවීන්ද්‍ර ජදේජා නොදැවී 17, ටේ‍රන්ට් බෝල්ට් 113/2, ජීටන් පතෙල් 120/2)

නවසීලන්තය පළමු ඉනිම – 299
(මාටින් ගප්ටිල් 72, ටොම් ලෙතම් 53, ජේම්ස් නීෂම් 71, බී. ජේ. වොට්ලිං 23, මිචෙල් සෑන්ට්නර් 22, ජීතන් පතෙල් 18, මැතිව් හෙන්රි 15, රවිචන්ද්‍රන් අශ්වින් 81/6, රවීන්ද්‍ර ජදේජා 80/2)

ඉන්දියාව දෙවැනි ඉනිම – කිසිවකු නොදැවී 18

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>