කෝලි – රහනේ වාර්තාගත සම්බන්ධතාවක

සිය දෙවැනි ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගත් විරාට් කෝලි (211) සහ ද්විත්ව ශතකය පෙනි පෙනී දැවී ගිය අජින්ක්‍යා රහනේ (188) නිසා නවසීලන්තයට එරෙහිව ඉන්දෝර්හිදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 557 ක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඊට පිළිතුරු වශයෙන් දිනය නිමා වන විට නවසීලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 28 ක් ලබා සිටියේය.

ලකුණු 267 කට කඩුලු 3 ක් දැවී තිබියදී අද (9 වැනිදා) පෙරවරුවේ ක්‍රීඩාව ආරම්භ කළ ඉන්දීය නායකයා සහ අජින්ක්‍යා රහනේ ජීවයකින් තොර තණතීරුවේ උපරිම ප්‍රයෝජන උකහා ගනිමින් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 365 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. සචින් තෙන්ඩුල්කාර් සහ වී.වී.එස්. ලක්‍ෂමන් එක්ව වසර 2004 දී ඕස්ටේ්‍රලියානු පිලට එරෙහින සිඞ්නි නුවරදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 353 වාර්තාව කෝලි සහ රහනේ විසින් අද බිඳ දමන ලදි.

“මේ සම්බන්ධතාව ඉතාමත් වැදගත්”
“තරගයේ එක වෙලාවක අපි ලකුණු 100 කට කඩුලු 3 ක් අහිමි කරගෙන තිබුණා. ඒත් එතැන ඉඳලා ලකුණු 365 ක් ලබාගත්ත එක නම් හොඳ දෙයක් තමයි” යයි තරගයෙන් අනතුරුව රහනේ පැවසීය.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පසුගිය ජූලි මාසයේදී සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය (200) ලබා සිටි ඉන්දීය නායකයා අද වාර්තා කළේ ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිමයි. අද පෙරවරුවේදී තරගය ආරම්භ කරන විට නොදැවී ලකුණු 103 ක් ලබා සිටි කෝලි, පිටියේ සෑම කොණකටම පන්දුව යවමින් හතරේ පහර 20 කින් සිය ඉනිම අලංකාර කළේය.

සිය 8 වැනි ටෙස්ට් ශතකය ලබාගත් රහනේ අද පෙරවරුවේ සිටම බවුන්සර් පන්දු වරුසාවකට මුහුණ දුන් අතර ඉන් එකක් ඔහුගේ හිස් ආවරණයේද වැදිණ. ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිමද මෙය වන අතර එය හතරේ පහර 18 කින් සමන්විත විය.


ඉන්දියාව -පළමු ඉනිම – කඩුලු 5 ට 557
(මුරලි විජේ 10, ගෞතම් ගම්භීර් 29, චෙටේස්වාර් පුජාරා 41, විරාට් කෝලි 211, අජින්ක්‍යා රහනේ 188, රෝහිත් ෂර්මා නොදැවී 51, රවීන්ද්‍ර ජදේජා නොදැවී 17, ටේ‍රන්ට් බෝල්ට් 113/2, ජීටන් පතෙල් 120/2)

නවසීලන්තය පළමු ඉනිම – කිසිවකු නොදැවී 28
(මාටින් ගප්ටිල් නොදැවී 17, ටොම් ලෙතම් නොදැවී 06)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>