කෝලි ශතකයකින් ඉන්දියාව ශක්තිමත් කරයි

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ ඉන්දෝර්හි ‘හොල්කර්’ ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පළමු දිනය සඳහා නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 267 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම තරගයේ වැඩි ගෞරව දිනා සිටියේය.

ඉන්දීය ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 167 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ නායක විරාට් කෝලි (නොදැවී 103) සහ අජින්ක්‍යා රහනේ (නොදැවී 79) ආරම්භක දිනයේදීම සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබූහ.

අද දිනයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 13 වැනි ශතකය ලබාගත් විරාට් කෝලි ඊට අලංකාර හතරේ පහර 10 ක් අන්තර්ගත කළේය. ඉන්දීය ඉනිම ගොඩනැගීම සඳහා කෝලිට අනගි සහයක් දුන් අජින්ක්‍යා රහනේගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 75 ක් ලබා සිටියද, විරාට් කෝලි සමග එක්ව ඉන්දීය ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් චෙතේෂ්වර් පුජාරාට (41) එක්කළ හැකිවූයේ ලකුණු 40 ක් පමණි. මිචෙල් සෑන්ට්නර්ගේ පන්දුවක් කෙළින්ම කඩුලලේ වැදීමෙන් දැවීයන විට පුජාරාගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබිණ.

වසර 2 කට පමණ පසු නැවතත් ජාතික කණ්ඩායමට කැඳවා සිටින ආරම්භක පිතිකරු ගෞතම් ගම්භීර්, දිවා ආහරයට පෙර ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ටේ‍රන්ට් බෝල්ට් සමත් වූයේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගමිනි. මුලු ලකුණු සංඛ්‍යාව 60 ක් වන විට ඉන්දීය ඉනිමේ 2 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගිය ගම්භීර් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 29 ක් ලබා සිටියේය. මැතිව් හෙන්රි යැවූ දෙවැනි ඕවරයේ තෙවැනි සහ සිව්වැනි පන්දු වලදී ගම්භීර් එම හයේ පහර දෙක ගැසීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණඩායමේ පළමු කඩුල්ල මුලු ලකුණු සංඛ්‍යාව 26 ක් වන විට බිඳවැටුණි. ලකුණු 10 ක් ලබා සිටි මුරලි විජේ ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ජීතන් පටේල්ගේ පන්දුවක් හමුවේ ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දෙමිනි.


ඉන්දියාව – පළමු ඉනිම කඩුලු 3 කට 267
(ගෞතම් ගම්භීර් 29, චෙතේෂ්වර් පුජාරා 41, විරාට් කෝලි නොදැවී 103, අජින්ක්‍යා රහනේ නොදැවී 79)


- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>