ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 72 ක වාසියක්

අගනා ශතකයක් ලබාගත් දිමුත් කරුණාරත්න (131) සහ කුසල් ජනිත් පෙරේරාගේ (87) සාර්ථක සම්බන්ධතාව නිසා කොදෙව්වන්ට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී ලකුණු 72 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.

තරගයේ දෙවැනි දිනය වන අද (5 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 348 ක් ලබා සිටියේය. පළමු දිනය වූ ඊයේ කොදෙව් ‘ඒ’ පිල සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 276 ක් ලබාගත් අතර තරගයේ සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල තරගයේ ඉදිරියට පැමිණ සිටී.

දිවා ආහාරයත් තේ පානයත් අතර කඩුලු 4 ක් දැවී ගිය නමුත් නිරෝෂන් දික්වැල්ල සමග පස්වැනි කඩුල්ලට ලකුණු 85 ක් එක්කළ දිමුත් කරුණාරත්න විනාඩි 312 ක් පිටියේ රැඳෙමින් ලකුණු 131 ක් ලබාගත්තේ හතරේ පහර 15 කින් සිය ඉනිම සරසමිනි. නැවත වතාවක් ලකුණු අතරට පිවිසි දික්වැල්ල කිසිදු අපහසුතාවකින් තොරව ලකුණු 59 ක් ලබාගන්නා අතරේ ජාතික කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් මහතා පිටියේ ඈත කෙළවරක තිබූ ගල්රෝලක් මත වාඩිවී නිහඬව එදෙස බලා සිටියේය.

යෝධයකුට මෙන් දැවැන්ත සිරුරක් හිමි රකීම් කෝන්වෝල් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ බිඳවැටුණු කඩුලු 8 න් හයකම හිමිකරුවා විය. ඉතා කෙටි දිවයාමකින් පන්දු යැවීමේ රිද්මය ලබාගන්නා රකීම් සිය උස මනාව ප්‍රයෝජනයට ගනිමින් ඕවර 32 කදී ලකුණු 87 කට කඩුලු 6 ක් දවාගත්තේය.

පළමු කඩුල්ල වෙනුවෙන් අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ නායක කරුණාරත්න සහ කුසල් පෙරේරා කොදෙව්වන්ගේ දුර්වල පන්දු යැවීම හමුවේ නිසි පිළිතුරු දෙමින් විනාඩි 144 කදී ලකුණු 167 ක් එක් කළහ. කරුණාරත්න සුපුදුරුදු තැන්පත් විලාසයෙන් ලකුණු ලබාගන්නා අතරේ පන්දු 50 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ කුසල් පෙරේරා ඊට හතරේ පහර 6 ක් සහ හයේ පහරක් ඇතුළත් කළේය.

පළමු පෙළ තරගයක විවේක කාල දෙකක් අතරේ රැස්කරනු ලබන ලකුණු සංඛ්‍යාව සාමාන්‍යයෙන් 90 ත් 110 ත් අතර පැවැතියත් අද දින දිවා ආහාරය වන විට ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව කිසිවකු නොදැවී 150 ක් වී තිබිණ. ඒ අතරවාරයේදී කඩුල්ලක් දවාගැනීමේ කිසිම අවස්ථාවක් කොදෙව් ‘ඒ’ පිලට නොලැබිණ.

දිවා ආහාරයට පෙර එක්වූ ලකුණු 150 න් ලකුණු 80 ක හිමිකාරයා වූ කුසල් පෙරේරා වේග පන්දු යවන්නකු වූ රේනාඞ් ලෙව්රිජ්ගේ දෙවැනි ඕවරයේදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 15 ක් උදුරා ගත්තේ කොදෙව් ‘ඒ’ පිලේ පන්දු යැවීම පිළිබඳ නිසි තක්සේරුවක් ලබාගනිමිනි. දිවා ආහාරයෙන් පසුව සිය ශතකය කරා යාමට ඉක්මන් වූ කුසල් පෙරේරා දැවී යන විට පන්දු 105 කට මුහුණ දෙමින් හතරේ පහර 7 කින් සහ හයේ පහර 3 කින් ඉනිම අලංකාරවත් කර තිබිණ.

අසාර්ථකත්වය නිසාම ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමි කරගත් ළහිරු තිරිමාන්න මෙවන් දුර්වල කණ්ඩායමක් හමුවේ වුවත් තමන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට අපොහොසත් විය. විනාඩි 7 ක් පමණක් පිටියේ රැඳුණු තිරිමාන්න ලකුණු 2 කට දැවී ගියේ පිට දඟ පන්දු යවන්නා වූ රකීම් කොන්වෙල්ගේ පන්දුවක් හමුවේ ස්ලිප් හි සිටි සමාරා බෲක්ස්ට උඩපන්දුවක් දීමෙනි.

අපරීක්‍ෂාකාරී පහරක් ගැසීමට ගිය රොෂ්න් සිල්වාත් පන්දුව පැමිණෙන රේඛාවෙන් ඉවත්ව ඊට පිත්ත දැමූ චරිත් අසලංකත් ලකුණු 31 ක් ඇතුළත දැවී ගියද ඔවුන් දෙදෙනාටම ඉතාමත් පහසුවෙන් ඊට වඩා දුර යා හැකිව තිබිණ.

හෙට (6 වැනිදා) තරගයේ තුන්වැනි දිනයයි.


ලකුණු පුවරුව

කොදෙව් ’ඒ’ පළමු ඉනිම 276
(සමාරා බෲක්ස් 65, විෂෝල් සිං 96, කෙමාර් රෝච් නොදැවී    45, අසිත ප්‍රනාන්දු 35/2, අසේල ගුණරත්න 27/3, චරිත් අසලංක 53/2)

ශ්‍රී ලංකා ‘ඒ’ – පළමු ඉනිම

දිමුත් කරුණාරත්න – ඇ.හැමිල්ටන් ප.මෝටි කන්හායි    131
කුසල් පෙරේරා – ප.කෝන්වෙල්    87
ළහිරු තිරිමාන්න – ඇ.බෲක්ස් ප.කෝන්වෙල්    2
රොෂ්න් සිල්වා – ඇ.විෂෝල් සිං ප.කෝන්වෙල්    17
චරිත් අසලංක – ඇ.බෲක්ස් ප.රෝච්    18
නිරෝෂන් දික්වැල්ල – ඇ.බෲක්ස් ප.කෝන්වෙල්    59
අසේල ගුණරත්න – නොදැවී     15
අනුක් ප්‍රනාන්දු – ඇ.පවෙල් ප.කෝන්වෙල්    0
ලක්ෂාන් සඳකැන් – ක.මු.කළා ප.කෝන්වෙල්    0
ළහිරු කුමාර – නොදැවී    2
අතිරේක    17
එකතුව ඕවර 93 කදී කඩුලු 8 ක් දැවී     348

කඩුලු වැටීම :
1-167(කුසල් පෙරේරා), 2-171(තිරිමාන්න), 3-201(රොෂේන්), 4-232(අසලංක), 5-317(කරුණාරත්න), 6-337(දික්වැල්ල), 7-337(අනුක් ප්‍රනාන්දු), 8-337(සඳකැන්)

පන්දුවට පහර දීමට සිටින පිතිකරු
අසිත ප්‍රනාන්දු

පන්දු යැවීම :
රකීම් කෝන්වෙල් : 32.1-7-87-6, කෙමර් රෝච් : 12-1-62-1, රේනාඞ් ලෙව්රිජ් : 3.5-1-25-0, කියොන් ජෝෂප් : 9-0-63-0, මොටී කන්හායි : 32-5-98-1, ජෝන් කැම්බෙල් : 4-0-07-0

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>