දකුණු අප්‍රිකානුවන්ට අම්ලාත් එක්වෙයි

ක්වින්ටන් ඩි‘ කොක්ගේ අනපේක්‍ෂිත ප්‍රහාරයෙන් දකුණු අප්‍රිකාව හමුවේ පළමු එක්දින තරගයෙන් අන්ත පරාජයක් ලැබූ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (2) ජොහැනස්බර්ග් හී නිව් වොන්ඩර්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සත්කාරකයන් සමග දෙවැනි එක්දින තරගයට එක්වන්නේ දෙගිඩියාව මුසු හැඟුම් සමුදායක් තුරුළු කරගනිමිනි.


දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවාගේ බලාපොරොත්තු රහිත නැගී සිටීමෙන් විපිලිසර වූ සිය කණ්ඩායමට හෙට දිනයේ දී හිස ඔසවා එකිනෙකා දෙස උජාරුවෙන් බැලීමට හැකිවනු ඇතැයි ඔවුන් අතරම විශ්වාසයකි.

එසේ වුවත් අද පැවැත්වෙන දෙවැනි තරගයේදී ප්‍රහාරයට සූදානම් වන්නේ ක්වින්ටින් ඩි’කොක්ද නැතිනම් වෙනත් අයකුද යන්න පිළිබඳ කැන්ගරුවන් සිටින්නේ දෙගිඩියාවෙනි.


ජයග්‍රාහී මනසකින් යුතුව  සිටිමින්  ප්‍රතිවාදීන්ට දමන පීඩනය ලිහිල් නොකර සිටීමේ අදිටනින් දකුණු අප්‍රිකානු පිල ශක්තිමත් කිරීමට ජ්‍යෙෂ්ඨ පිතිකරු හෂීම් අම්ලාත් කණ්ඩායමට එක්වී සිටී. වයිරස් ආසාදනයක් නිසා පළමු එක්දින තරගයට ක්‍රිඩා නොකළ මේ පළපුරුදු පිතිකරුවා අද තරගයේ දී ක්‍රීඩා කිරීමේ අභිලාෂයෙන් ඊයේ පුහුණුවීම්වලටත් එක්විය.


හසිම් අම්ලා යනු එක්දින තරග 137 ක අත්දැකීම් ඇති, ශතක 10 ක් සමගින් එක්දින ලකුණු 4500 කට ආසන්න සංඛ්‍යාවක් රැස්කර ඇති ක්‍රීඩකයෙකි.


පිතිහරඹයටම නම ගිය සෙන්චූරියන් තණතීරුව තමාට නිදහසේ සුපුරුදු පහරවල් කරා යාමට ඉඩ දුන් බවත්. නිසැකවම තවත් තණතීරු එකක් හෝ දෙකක් එවැනි ආකාරයට හැඩ ගැසෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් තරගයෙන් පසුව ක්වින්ටන් ඩි’කොක් කීවේය.


“එදා මගේ දවස..කොහොමවුණත් මම නිදහසේ පිත්ත හැසිරවූවා”


“නිසැකවම තවත් එවැනි තණතිරු කිහිපයක් ඉදිරියේ දී ලැබේවි. එවිට අපිට නැවත විනෝද විය හැකියි.” යයි ක්වින්ටින් ඩි’කොක් පැවසීය.


ඔහුගේ මේ ප්‍රකාශය ඕස්ටේ්‍රලියානුවන්ගේ හිසදරය වැඩි කිරීමට සමත්වී ඇත්තේ එවැනි පෙරළි කළ හැකි වර්ගයේ පිතිකරුවන් තවත් කිහිපදෙනකුම දකුණු අප්‍රිකානුවන් සතු වන බැවිනි.


කවදාවත් නොමැති ලෙස දුර්වල පන්දු යැවීමේ බලඈණියක් කැටුව දකුණු අප්‍රිකාවට පැමිණි ඕස්ට්‍රේලියානුවන්ට එහි ප්‍රතිවිපාක ඇස් පනාපිටම පෙනෙන්නට වීමෙන් පසුවන්නේ දැඩි කනස්සල්ලෙන් යුතුවය. එකම පළපුරුදු පන්දු යවන්නා වූ ජෝන් හේස්ටිංග්ස් හැරුණුවිට අත්දැකීම් නැති සෙසු සියලුම පන්දුයවන්නෝ පළමු තරගයේදී දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ නොමඳ සංග්‍රහයට පාත්‍ර වූහ. එබැවින් දැන් ඔවුන්ගේ සිදුවී ඇත්තේ සිය පන්දු යවන්නන්ගේ වැඩි බරත් කරමත පටවාගෙන පිතිහරඹයේ යෙදීමය.


 – 077

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>