පුජාරා – රහනේ ඉන්දියාව ඔසවා තබති

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (30 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 239 ක් ලබා සිටියේය.

දිනය නිමාවන විට රිධිමන් සාහ නොදැවී ලකුණු 14 ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර රවින්ද්‍ර ජදේජා ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියේය.

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගළය වූ ශිකර් ධවාන් (01) සහ මුරලි විජේ (09) ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට මැට් හෙන්රි සමත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 46 ක් වන විට ටේ‍රන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 9 ක් ලබා සිටි නායක විරාට් කෝලිද දැවීයෑම නිසා ඉන්දීය කණ්ඩායම තරමක් අසීරු තත්ත්වයකට පත් විය.

කෙසේ වුවත් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 141 ක සම්බන්ධතාවක් ගොඩනැගූ චෙතේෂ්වර් පුජාරා (87) සහ අජින්ක්‍යා රහනේ (77) ඉන්දීය කණ්ඩායම ස්ථාවර මට්ටමකට රැගෙන ආහ. පුජාරාගේ අර්ධ ශතකයට හතරේ පහර 17 ක් ඇතුළත් වූ අතර රහනේගේ අර්ධ ශතකයට හතරේ පහර 11 ක් ඇතුළත් විය.

නීල් වෝග්නර්ගේ පන්දුවක් හමුවේ මාටින් ගප්ටිල් අතට උඩපන්දුවක් දෙමින් පුජාරා දැවී ගියේය. රහනේ දැවී ගියේ ජීතන් පටේල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

පුජාරාගේ දැවීයෑමෙන් අනතුරුව පිටියට පිවිසි රෝහිත් ශර්මාටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදීසිටීමට ජීතන් පටේල් ඉඩ දුන්නේ නැත. ලකුණු 2 ක් ලබා සිටියදී පටේල්ගේ පන්දුවක් හමුවේ ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දෙමින් ශර්මා දැවී ගියේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි ලකුණු 35 කට කඩුලු 3 ක් දවාගත් අතර ඔහුට අනගි සහයක් දුන් ජීතන් පටේල් ලකුණු 66 කට කඩුලු 2 ක් දවාගත්තේය.


ඉන්දියාව පළමු ඉනිම – කඩුලු 7 කට 239
(චෙතේෂ්වර් පුජාරා 87, අජින්ක්‍යා රහනේ 77, රවිචන්ද්‍රන් අෂ්වින් 26, රිධිමන් සාහ නොදැවී 14, මැට් හෙන්රි 35/3, ජීතන් පටේල් 66/2)


- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>