පීඩනයෙන් මිදෙන හැටි සංගක්කාර කියා දෙයි

‘ප්‍රීමා කුසලාන’ වයස 15 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින බස්නාහිර පළාත් දකුණ (පිටත) සහ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම් අද (27 වැනිදා) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණු සැසියට සහභාගි වූහ. එම අවස්ථාවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාද එක්ව සිටියේය.

එහිදී කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් ඇමතු සංගක්කාර මහතා ඔවුන්ට අවසන් මහ තරගයකදී පීඩනයෙන් මිදී ක්‍රීඩාවේ නිරත වන අයුරු පැහැදිළි කර දුන්නේය. තවද එහිදී ක්‍රීඩකයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේය අවසන් තරගයකදී පරාජයට පත්වන කණ්ඩායම කිසිසේත් කණගාටුවට පත්නොවිය යුතු බවත්, අවසන් තරගය දක්වා පැමිණීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත්විය යුතු බවත්ය.

අවසන් මහ තරගයකදී පීඩනයෙන් මිදී ක්‍රීඩාවේ නිරත වන අයුරු පිළිබඳව ක්‍රීඩකයන්ට උපදෙස් දෙමින් සංගක්කාර මහතා මෙසේ පැවසීය.

“අවසන් මහ තරගයක් වගේ විශේෂ තරගයකදී ක්‍රීඩකයන් පීඩනයට පත්වන එක සාමාන්‍ය දෙයක්. එත් ක්‍රීඩකයන් වශයෙන් අපි දැනගන්න ඕන කොහොමද ඒ පීඩනයෙන් මිදෙන්නෙ කියලා”

“ඒත් තණනිල්ල හැසිරෙන ආකාරය, අනිත් කණ්ඩායමේ ක්‍රීඩකයන් පන්දු රකින ආකාරය, පන්දුයවන්නන් පන්දු යවන ආකාරය විතරක් නෙමෙයි කොටින්ම තමන් සමග අනෙක් අන්තයේ පන්දුවට පහරදෙන ක්‍රීඩකයා පන්දුවට පහරදෙන ආකාරයවත් අපිට පාලනය කරන්න බෑ. අපිට පුළුවන් අපිව පාලනය කරන්න විතරයි. ඒ නිසා ක්‍රීඩාංගණය තුළදී තමන් අතින් පොඩිම වැරුද්දක්වන් නොවෙන්න තමන් වග බලාගන්න ඕන”

“ක්‍රීඩකයෙක් දැවී යන්න පුළුවන්, තවත් ක්‍රීඩකයෙක් අතින් උඩ පන්දුවක් ගිළිහෙන්න පුළුවන්. ඒත් ඒ වගේ දේවල් නිසා තමන් පීඩනයට ලක්වෙන්න නරකයි.”

“මගේ අවසන් එංගලන්ත සංචාරය වෙනකන්ම මට ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ ශතකයක් ලබාගන්න බැරිවෙලයි තිබුණෙ. ඒත් ඒ සංචාරයේ ලෝඞ්ස් ටෙස්ට් තරගයට කළින් තිබුණ මාධ්‍ය සාකච්ඡාවෙදි මාධ්‍යවේදීන් මගෙන් අහුවා ඔයා මේ පාරවත් ලෝඞ්ස්වලදි ශතකයක් ලබාගන්න සූදානමින්ද ආවෙ කියලා”

“ඒ මොහොතෙ මගෙ හිතට ආපු උත්තරේ ඔව් කියන එක. ඒත් මං ඒ අයට කිව්වා ශතකයක් ලබාගන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා, බැරි වෙන්නත් ඉඩ තියෙනවා කියලා. මට අවශය ලෝඞ්ස්වල සෙල්ලම් කරන අවසන් තරගය කොහොම හරි ජයගන්නයි කියලත් මං ඒ අයට කිව්වා.”

“ඒත් මගේ යටි හිතේ හැම තිස්සෙම තිබුණේ මං මේ තරගයේදී කොහොම හරි 100 ක් ගහනවා කියලා. පළමු පන්දුවේදීම ලකුණු ලබාගන්න කළින්ම දැවී යයිද කියලත් බයක් මගෙ හිතේ තිබුණා. කොටින්ම කියනවා නම් හතරේ සීමාවෙන් ඇතුළට යනකන්ම මගේ හිතේ ලොකු දෙගිඩියාවක් තිබුණ ලැබෙන අවසන් අවස්ථාවේදිත් මට 100 ක් ගහන්න බැරි වෙයි කියලා”

“පිතිකරුවාගේ සීමා ඉර ලඟට ගිහින් විනිසුරුවරයාගෙන් මැද ඉන්න සහ පා ඉන්න ලබාගත් පසු මං ටිකක් වටපිට බැලුවා. ඒ මොහොතේ මගේ හිතේ තිබුණ බය සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. මට හිතුණා වටපිටාව මට හොඳට හුරු පුරුදුයි කියලා. ඒ නිසා මට එහිදී පහසුවෙන්ම පහර කරා ගිහින් ශතකයක් ලබාගන්න පුළුවන් වුණා.”

පුහුණුවීම් තුළින් ක්‍රීඩකයකු පරිණත වන අකාරය පිළිබඳව ක්‍රීඩකයන් දැනුවත් කළ සංගක්කාර මහතා මුත්තයියා මුරලිදරන් ඇසුරින් උදාහරණයක්ද ගෙනහැර දැක්වීය. දිනක් පුහුණු සැසියකදී මුත්තයියා මුරලිදරන් සමග ඇතිවූ කතා බහක් පිළිබඳව ඔහු මෙලෙස කියා සිටියේය.

“මුරලි කියන්නේ අනිත් පන්දුයවන්නන්ට වඩා ටිකක් වෙනස් කෙනෙක්. එයා සාමාන්‍යයෙන් පුහුණුවීම් වලදී දැළ ඇතුලෙ පැයක්, දෙකක් විතර බෝල් කරනවා. දවසක් මං ඇහුවා ඇයි මුරලි අයියේ ඔයා කඩුලු 600 ගානක් අරගෙන තියෙද්දිත් ඔච්චර වෙලා දැළ ඇතුලෙ බෝල් කරන්නෙ කියලා”

“එතකොට එයා කියපු දේ තමයි කොච්චර කඩුලු ගානක් අරගෙන තිබුණත් මට වැඩක් නෑ, මං ඇස්දෙක වහගෙන ගිහින් බෝල් කළාමත් මං ඕන තැනට බෝලේ වැටෙනවා නම් මට ඒ ඇති කියලා. ඒ කියන්නේ එයා අනිත් පන්දුයවන්නන්ට වඩා වැඩි වෙලාවක් පුහුණුවීම් කරලා බලාපොරොත්තු වෙන්නේ යවන හැම පන්දුවක්ම එයාට ඕන තැනට පතිත කරගන්නයි කියන එකනේ. එයා ඒක ලබාගන්න හදන්නේ පුහුණුවීම් තුළින්.”

ඒ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රීඩකයන්ට දැනමුතුකම් දුන් සංගක්කාර චමින්ද වාස් උදාහරණයට ගනිමින් කියා සිටියේ වාස් හැරුණුකොට යවන පළමු පන්දුවේ සිටම කඩුල්ල වෙත එක් එල්ලයේ පන්දුයවන තවත් ක්‍රීඩකයකු තමන් කොහේදි හෝ දැක නොමැති බවයි. එතරම් දෝලනයක් හෝ ඉපිලීමක් නොමැති ශ්‍රී ලංකාවේ තණතීරු මතදී පවා වාස්ට එලෙස මැද ඉන්න එල්ලයේ පන්දු යැවීමටත් දෙපසටම එකසේ පන්දුව දෝලනය කිරීමටත් හැකිවූයේ ඔහු පුහුණුවීම් වලදී දැක්වූ කැපවීම නිසා බවත් සංගක්කාර මහතා කියා සිටියේය.


 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>